2026 වසරේ පළමු රග්බි සතිය අදින් ඇරැඹේ

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ 8වැනි සතිය සඳහා වන තරග අද (2 වැනිදා) සිට ඇරැඹීමට නියමිත අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී, හැව්ලොක්, යුද හමුදා සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අද තරග බිමට පිවිසීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථානය හිමිකරගෙන සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ තෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක් කණ්ඩායම අද සී.ආර්. පිටියේදී තරග වදිනු ඇත. සී.ආර්. ක්‍රීඩකයෝ මේ වන විට තරග 5කදී ජයග්‍රහණ 4ක් සහ එකපරාජයක් ලබා ප්‍රසාද ලකුණු 25ක් හිමිකරගෙන ඇති අතර තරග 4කදී ජයග්‍රහණ 3ක් හා එක් ජය පරාජයෙන් තොර ප්‍රතිඵලයක් සහිත හැව්ලොක් පිල සතු ප්‍රසාද ලකුණු ගණන 21කි.

අද දෙවැනි තරගය පනාගොඩ යුද හමුදා පිටියේදී, යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත. තරග 4කදී එක් ජයක් පමණක් ලැබූ යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 7ක් සමගින් ලකුණු සටහනෙහි 6වැනි ස්ථානයට පත්ව ඇත. අපරාජිත සී.එච්. කණ්ඩායම ජයග්‍රහණ 3ක් සමගින් එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා කිරීමට සමත්ව ඇති අතර ප්‍රසාද ලකුණු 21ක් සමග සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

සතියේ තෙවැනි තරගය හෙට (3 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාව සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන අතර අවසන් තරගය අනිද්දා (4 වැනිදා) පොලිස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පොලිස් පාක් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. තරග 4කදී ජයග්‍රහණ 3ක් හිමිකරගනිමින් එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිම කළ මහනුවර පිල ප්‍රසාද ලකුණු 22ක් ලබා ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානයේ පසුවේ. ජයග්‍රහණ 3ක් හා එක් පරාජයක් හිමි ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු සටහනෙහි 5වැනි ස්ථානය හිමිව ඇති අතර පොලිස් සහ නාවික හමුදා කණ්ඩායම් පිළිවෙළින් 7 සහ 8 යන ස්ථානවල පසු වෙති.

ලකුණු සටහනෙහි අවසන් ස්ථානයේ පසුවන සිරි ලයන්ස් කණ්ඩායමට මෙම සතිය විවේකී සතියක් වේ.

කාලීන පුවත්