21 වෙනි සංශෝධන සටනින්”කලු කුරුල්ලාගේ”පිලට දිනුම හිමි වේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් වේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු කීවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළි ඉදිරිපත් කරන බවකි. ඒ වෙනුවෙන් 21 වෙනි සංශෝධනය ගෙනෙන බවත් ඔහු කීය. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළාක් මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ඇතුලු සංශෝධන ගෙන එමින් පාර්ලිමේන්තුවේ බලය ද ශක්තිමත් කෙරිණ.

නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සියල්ල ඉවත් කොට ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරනු ලැබීය.සමහරුන් පවසනුයේ ඒ ව්‍යවස්ථාව තුළ පවුල් කේන්ද්‍රීය ලක්ෂණ ඇතුළත් බව ය. මේ නිසා නැවත 19 ගෙන ආ යුතු බවට සමාජයේ කතිකාවත් ආරම්භ විය. එහි ප්‍රතිඵලය ලෙස 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් නැවත 19 බලගැන්විය යුතු බවට කතා බහක් ඇති විය.
රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික පරිහානිය ද මෙයට හේතුවක් විය.නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටවල්, ක්‍රීඩා තරඟ නැති ක්‍රීඩාංගන,වවුලන්ගේ සම්මන්ත්‍රණ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා,නෙළුම් කුළුණු ආදී සියල්ලේ බර අන්තිමේ පැටවුණේ රටේ පොදු මහ ජනතාවගේ කර මතටය.

අවසානයේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළී අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් විය.. ඔහු හා ජනාධිපතිවරයා අතර ඇතිවූ කතා බහේ දී ප්‍රමුඛතම කාරණය වූයේ ජනාධිපති බලතල සීමා කිරීම ය. පිටිය සකස් නොකොට මැච් ගහන්නට බැරි බව ඔහු කීය.ජනාධිපති වරයා ඊට එකඟ වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් මේ වන විට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත කොට පමණක් නොව එය පක්ෂ නායකයන් වෙත පිළිගන්වා අවසන් ය. නමුත් මෙම සංශෝධනයට කිහිප දෙනෙකු විරුද්ධ බව ඔවුන් පළ කරන අදහස් වලින් පැහැදිලි වේ.

මුලින්ම මෙය ඇමති මණ්ඩලය වෙත ගෙන ඒමට පෙර පරාජය කිරීමට උත්සාහයක නිරත විය. එහි දි ඔවුන් කාරණා තුනට විරුද්ධ බවට මත පළ විය. එනම් ජනාධිපතිවරයාට අගමැති පත් කිරීමට හා ඉවත් කිරීමට ඇති බලය ඉවත් කොට එය පාර්ලිමේන්තුවට පැවරීම ය.දෙවැන්න නම් ජනාධිපතිවරයාට ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඇති බලය ඉවත් කොට එය ව්‍යවස්ථාදායක සභාවකට පැවරීම. තුන්වැන්න වනුයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව හා ජනාධිපතිධූරයට ඉදිරිපත් වීමට පවතින හැකියාව අවසන් කිරීම ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම ද්විත්ව පුරවැසියා වන්නේ බැසිල් රෝහණ රාජපක්ෂය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ය. එසේම පාර්ලිමේන්තුවේ මේ වන විට වැඩිම බලයක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය. එසේ බලන කල 21 වෙනි සංශෝධනය සම්මත වෙනවා ද? නැති ද? යන කාරණය ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුව අනුව ය.
පසුගිය දා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා තිබුණේ ව්‍යවස්ථා සංශෝධනවලට ප්‍රථම රටේ කළ යුතු බොහෝ දේ ඇති බව ය.

අගමැතිවරයාට සිය පක්ෂය සහාය දුන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මිසක ව්‍යවස්ථා සංශෝධනවල නොවන බවද ඔහු කියා තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ පොදුජන පෙරමුණ 21 වෙනි සංශෝධනයට එකඟ නැති බව ය. කෙසේ නමුත් මේ වන විට පොදුජන පෙරමුණ ද පාර්ශව කිහිපයකට වෙන්ව ඇති බව පැහැදිලි වන්නේ පසුගිය දා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ සාකච්ඡාවට පැමිණි පිරිස දෙස බැලූ විටය. මාධ්‍ය වාර්තා කර තිබුණේ එයට පැමිණියේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණක් බව ය. ඒ බැසිල්ට හිතවත් කණ්ඩායම ය.

එයින් බලන කල පැහැදිලි වන්නේ ඉතිරි කණ්ඩායම සිටින්නේ ජනාධිපතිවරයා සමඟ බව ය. මේ අතර අගමැති වරයාට සහාය දක්වන කණ්ඩායමක් ද පොහොට්ටුව තුළින් පිටතට පැමිණ තිබේ. ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 10 දෙනාට අමතර තරුණ මන්ත්‍රීවරු කණ්ඩායමක් ද ඒ අතර සිටින බව පැහැදිලිය. කෙසේ නමුත් නියෝජ්‍ය කතා නායක තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පරාජය වූ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රී වරිය කී “කළු කුරුල්ලා” ගේ බලපෑම වැඩි බැවින් අගමැතිවරයා ඊයේ (29) ව්‍යවස්ථා සංශෝධනය ගැන විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.

එහිදි ඔහු කරුණු කාරණා ගණනාවක් ගැන පැහැදිලි කර දුන්නේය. නව සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක් බිහිවෙන බවත් ඊට අමතරව පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ශක්තිමත් වන බවත් ඔහු කරුණු කාරණ සහිතව පෙන්වා දුන්නේය.මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කුරිරු ප්‍රහාරයට එල්ල වූ තරුණ අරගල කරුවන් පවා පාලන තන්ත්‍රයට එක් කරගන්න බව කීය. එම නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන මෙම 21 වෙනි සංශෝධනයට සහාය දෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

පක්ෂ 10 කණ්ඩායම කියා සිටින්නේ සාධනීය කරුණු 21 වෙනි සංශෝධනයේ තිබෙන බව ය. එසේම තවත් සංශෝධන කිහිපයක් ඔවුන්ට ඇති බැවින් ඊට එකඟ වුවහොත් 21 ට සහාය හිමිවන බව ඔවුහු කියා සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් 21 ට පක්ෂ බැවින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අධිකරණ ඇමතිවරයාට දන්වා ඇත්තේ සිය පක්ෂය ඊට සහාය දෙන බවය.

නමුත් සමගි ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය 21 ට විරෝධය පළ කරමින් සිටියි. එයට හේතුව පෞද්ගලික කාරණා බව පැහැදිලි ය. එනම් ඔවුන් රනිල් වික්‍රමසිංහ සමඟ ඇති පෞද්ගලික විරසකය ය. 19 ට පක්ෂ වූ දෙමළ සන්ධානය මෙයට එරෙහි වන්නට වෙනත් හේතුවක් ඇතැයි සිතිය නොහැකි ය. දැන් මේ පිරිස කියන්නේ 19 තිබුණු කාරණාවත් 21 ට ඇතුළත් වී නොමැති බව ය.

ජාතික ජන බලවේගය කියන්නේ ද අමුතු කතාවකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුව හා අගමැතිවරයා 21 වෙනි සංශෝධනයෙන් බලවත් වුව ද වත්මන් අගමැතිවරයාට එවැනි බලයක් ලැබීමට ජනවරමක් නොමැති බව ය. එම නිසා ඔවුහු ද කොන්දේසි ඉදිරිපත් කරති. මේ සියළු තත්වයන් යටතේ පාර්ලිමේන්තුවේ දී 21 සම්මත වන්නට නම් තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යය.එය ලබාගත හැකිවේද? නැති ද? යන්න තවමත් කිව නොහැකි කරණයකි. කලු කුරුල්ලාට අමතරව සමගි ජන බලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙය පරාජය කිරීමට කළ හැකි සියළු දේ කරනු ඇතැයි විශ්වාසය.එය සාර්ථක වුව හොත් එම පාර්ශව කිහිපයෙන් සැදුම් ලත් “කලු කුරුල්ලාගේ පිළ ” මේ සටනින් දිනනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර