222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම පිණිස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඇයට මෙම කැඳවීම කොට තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ පදනම නමැති ගිණුම මඟින් සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් ජනවාරි 27 වැනිදා ඇය කැඳවා තිබූ නමුත්, එදින එහි නොපැමිණි ශිරන්ති රාජපක්ෂ වෙනත් දිනයක් ඉල්ලා සිටියාය. ඉකුත් 03 වන දා ඇය එහි පැමිණියේ ඒ අනුවය. එමෙන්ම ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි රැස්ව සිටිනු දක්නා ලදී. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සහ ආණ්ඩුවට ලැදි ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ අධිකරණයට බලපෑම් කිරීම පිණිස එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන්වා ගත් බවකි. ඒ කෙසේ වුවද ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදින පස්වරුවේම නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

එම නිවේදනයේ සඳහන් කර තිබුණේ එම ගිණුම හා සම්බන්ධ සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන ඇති බවය. එවැනි පසුබිමක ඇය එදින යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඒ පිළිබඳ කරුණු විමසූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ලෙස ලියාපදිංචි කර තිබූ සිරිලිය සවිය පදනම ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු සංවිධානයකි. එහි මූලික අවධානය යොමුව තිබුණේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය මැහුම් උපකරණ වැනි දෑ ලබා දෙමින් ඔවුන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, පිළිකා රෝගීන් සඳහා ආධාර කිරීම සහ මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට කටයුතු කිරීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ ශිෂ්‍යත්ව ලබා දීම වැනි අරමුණු සඳහා බව ප්‍රකාශ වී තිබිණි. නමුත් 2015 වසරේ බලයට පත් යහපාලන ආණ්ඩු සමයේ මෙම සිරිලිය සවිය පදනම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. ඒ එහි මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙනි.

රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ලෙස ලියාපදිංචි කර තිබූ සිරිලිය සවිය පදනම ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු සංවිධානයකි. එහි මූලික අවධානය යොමුව තිබුණේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය මැහුම් උපකරණ වැනි දෑ ලබා දෙමින් ඔවුන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, පිළිකා රෝගීන් සඳහා ආධාර කිරීම සහ මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට කටයුතු කිරීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ ශිෂ්‍යත්ව ලබා දීම වැනි අරමුණු සඳහා බව ප්‍රකාශ වී තිබිණි. නමුත් 2015 වසරේ බලයට පත් යහපාලන ආණ්ඩු සමයේ මෙම සිරිලිය සවිය පදනම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. ඒ එහි මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙනි. ඒ අනුව එම පදනමට ලැබුණු විදේශීය ආධාර සහ දේශීය පරිත්‍යාග නිසි පරිදි කළමනාකරණය වූයේද යන්න පිළිබඳව විවිධ චෝදනා එල්ල විය. පදනම සතුව තිබූ ඇතැම් බැංකු ගිණුම්වල පැවැත්ම සහ ඒවාට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මඟින් පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ ඒ අනුවය. ඒ අනුව 2015 ජූනි 01 වන දා ඇය එවක කතානායක නිල නිවසට කැඳවා ප්‍රකාශයක් ද ලබා ගෙන තිබේ. අද වන විට සිරිලිය සවිය පදනමේ ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් බෙහෙවින් සීමා වී ඇති අතර 2015 වසරේ සිට ඒ සම්බන්ධයෙන් පැවති නීතිමය ක්‍රියාමාර්ග සහ ප්‍රශ්න කිරීම් ඊට හේතු වන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අසීමාන්තික ලෙස සහාය දක්වන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වන මහින්ද පතිරණ විසින් මෙම සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට මේ වන විට සමාජ ජාලවලින් සුවිසල් ප්‍රසිද්ධියක් ලැබෙමින් පවතී. 2022 ගාලු මුවදොර අරගල සමයේ ඔහු අරගලකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කෙතරම් සහායක් දක්වන ලද්දේ ද යත්, එම අරගල භූමියේ තනන ලද තාවකාලික වැසිකිළියක් මහින්ද පතිරණ නමින් හැඳින්වීමට ද අරගලකරුවන් ක්‍රියා කිරීම විශේෂ සිද්ධියකි. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් මහින්ද පතිරණ දක්වන අදහස මෙලෙසිනි:

“මෙම සිරිලිය සවිය පදනම ගිණුම විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ බැංකුව වෙත ඉදිරිපත් කර ඇත්තේ සිය විදේශ ගමන් බලපත්‍රයයි. සාමාන්‍යයෙන් බැංකු ගිණුමක් විවෘත කිරීමේ ඉල්ලුම් පත්‍රයක විදේශ ගමන් බලපත්‍ර අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් ස්ථාන පවතී. ශිරන්ති රාජපක්ෂ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගියද, ඇය සතුව එම අවස්ථාවේ ජාතික හැඳුනුම්පත තිබී නොමැති අතර එහි අංකය ද ඇගේ මතකයේ තිබී නැත. එහිදී විදේශ ගමන් බලපත්‍ර අංකය අදාළ ස්ථානයේ සටහන් කළත්, ජාතික හැඳුනුම්පත් අංකය සඳහා වෙන්වූ තීරුව පිරවීමට බැංකු නිලධාරියා තාවකාලිකව ‘ඩමි’ (Dummy) අංකයක් භාවිත කර ඇත. 222222222V ලෙස සඳහන් වන්නේ එම අංකයයි. ස්වභාවිකව කිසිදු පුද්ගලයෙකුට එවැනි අංකයක් හිමිවිය නොහැකි බව පැහැදිලිය. පද්ධතියට (Computer System) දත්ත ඇතුළත් කිරීමේදී එම කොටස හිස්ව තැබීමට නොහැකි බැවින් නිලධාරියා මෙම පියවර ගෙන ඇත. එහෙත්, පසුකාලීනව මෙය වංචාවක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ දරා ඇත.”

මහින්ද පතිරණ පැවසූ අන්දමට එම ජාතික හැඳුනුම්පත් අංකය ඩමි අංකයක් බව පෙනෙයි. නමුත් විදේශ ගමන් බලපත්‍රයේ ඇගේ ජාතික හැඳුනුම්පත් අංකය ද සටහන් වී ඇති පසුබිමක ඔය කියන නිලධාරියා ඊට ඩමි අංකයක් ආදේශ කරන ලද්දේ ඇයි දැයි යන්න ද විමසා බැලිය යුතුය. එමෙන්ම එහි සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය 222222222V වූ පමණින් එය ව්‍යාජ ගිණුමක් නොවේ. එය ‘සිරිලිය සවිය’ පදනම නම් ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානය මඟින් කොළඹ 10 මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ 2006 නොවැම්බර් 14 වන දින අරඹන ලදුව අංක 143-1-001-04-6235069 යටතේ පවත්වාගෙන ගිය නීත්‍යානුකූල ගිණුමකි.

අද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල මෙන් මෙම සිරිලිය සවිය පදනමේ ද මූල්‍ය අවභාවිතාවන් සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. ඒ අනුව සෙසු රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අවභාවිතාවන් පසෙක තිබිය දී මෙම සිරිලිය සවිය පදනම ගිණුම මත පදනම් වන මූල්‍ය අවභාවිතාව ලුහුබැඳීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට අප බාධා නොකළ යුතුය. මක් නිසාද ඒ ඔස්සේ සුවිශේෂ අනාවරණයක් කර ගැනීම ඔවුන්ගේ සිහිනයක් බැවිනි.

නමුදු අද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල මෙන් මෙම සිරිලිය සවිය පදනමේ ද මූල්‍ය අවභාවිතාවන් සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. ඒ අනුව සෙසු රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අවභාවිතාවන් පසෙක තිබිය දී මෙම සිරිලිය සවිය පදනම ගිණුම මත පදනම් වන මූල්‍ය අවභාවිතාව ලුහුබැඳීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට අප බාධා නොකළ යුතුය. මක් නිසාද ඒ ඔස්සේ සුවිශේෂ අනාවරණයක් කර ගැනීම ඔවුන්ගේ සිහිනයක් බැවිනි.

ඒ අතරේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් ඉකුත් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ වේදිකාවල රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල කළ උගන්ඩාවේ සඟවන ලද කෝටි ප්‍රකෝටි ගණනක ධනය, ඩුබායිහි සඟවා ඇති කෝටි ප්‍රකෝටි ගණනක වත්කම්, ඔවුන් විසින් මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී ලැම්බෝගිනි (Lamborghini) මෝටර් රථ දහතුන සේම මහින්ද රාජපක්ෂගේ බාල පුතුගේ බල්ලා බැඳ තැබීමට යොදා ගත් රුපියල් ලක්ෂ තුන්සිය හැටකට ආසන්න වටිනාකමකින් යුත් පවුම් අනූවේ රන් දම්වැල ආදී කතා, කොණ්ඩය බඳින චීනුන් නොවන මේ රටේ බහුතර ජනතාව හමුවේ සනාථ කිරීමේ බරපතළ වගකීම දැන් වත්මන් මාලිමා ආණ්ඩුව වෙත පැවරී තිබේ.

– ඒ. ජී. රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර