දිවයින පුරා සියලු පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට ලබන වසරේ (2026) සිට සනීපාරක්ෂක තුවා ප්රදානය කිරීමට රජය තීරණය කර තිබේ.
ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් 2024 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබූ මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට සියලු පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව මිලියනයකට අධික පාසල් සිසුවියන් ඉලක්ක කරගනිමින් ලබන වසරේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කර ඇත. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1440ක් වටිනා තිළිණපතක් ප්රදානය කිරීමට සහ පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල්වලට අදාළ තිළිණපත් බෙදා හැරීමට ද නියමිතවය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදාහැරීමේ කටයුතු ඒ අනුව සිදු කෙරේ.
සිසුවියන්ට තම අභිමතය පරිදි අවශ්‍යතාව අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම, ප්‍රදේශවල භූගෝලීය විෂමතාවන් මත වවුචර්පත් සහ සනීපාරක්ෂක තුවා බෙදාහැරීමේ ක්‍රමවේද සකස් කිරීම සහ පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල්වල ක්‍රියාත්මක කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු වී තිබේ.