නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි ආබාධයන්ද වළක්වා ගත හැකිය. එමෙන්ම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමෙන් හොඳින් ඉහල පහල හුස්ම ගැනීම පහසු වන අතර ශ්වසන ක්‍රියාවලිය යහපත් මට්ටමකින් පවත්වා ගත හැකිය.

අපි සිටගෙන සිටින විට සහ ඇවිදින විට පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්:

ඔබ ඇවිදින විටත්, සිටගෙන සිටින ඉරියව්වෙන් යම් වැඩක යෙදෙන විට හෝ වැඩක නොයෙදී සිටින විටත් පවත්වා ගත යුතු නිවැරදි ඉරියව් වන්නේ:

යටි පතුල් සම්පූර්ණයෙන්ම හොඳින් බිම වදින සේ පාද දෙකටම සමානව සිරුරේ බර බෙදීයන සේ සෘජුව සිටගෙන සිටින්න. කකුලේ දෙවන සහ තුන්වන ඇඟිලි දණහිසට පහලින් එක එල්ලේ තබා ගන්න. උකුල සහ ඉළ ඇට කූඩුව සමබරව තබා ගැනීමත් වැදගත්. කොඳු ඇට පෙළ නොනමා, එක් පැත්තකට ඇළ නොකර සෘජුව තබා ගන්න. පිටෙහි ඇති ස්වභාවික වක්‍රයද පවත්වා ගත යුතුයි. උරහිස් දෙක මැදින් හිස කෙළින් තබා ගන්න. උරහිස් හකුළුවාගන්නේ නැතිව, ළිහිල් කර පහතට කර තබා ගන්න. නිකට උස් හෝ පහත් නොකර, එනම් පොළවට සමාන්තරව තබා ගන්න.
පැය ගණනාවක් එක දිගටම සිටගෙන සිටීම සුදුසු නැහැ. ඔබගේ රැකියාව අනුව එක දිගට බොහෝ වේලාවක් සිටගෙන සිටීමට සිදුවෙනවා නම් හැකි සෑම විටම විනාඩි කිහිපයක් හෝ ඉඳ ගැනීමට අවස්ථාව ලබා ගන්න.

වාඩි වී සිටින විට පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්:

යටිපතුල් සම්පූර්ණයෙන්ම බිම හෝ පාද තබා ගැනීමට යොදා ගන්නා පා පුටුව මත පැතලිව තබා ගන්න. දණහිස් හෝ වළලුකර පටලවා ගෙන සිටින්න එපා. දණහිසේ ඇතුල් පැත්ත සහ ඉඳගෙන සිටින පුටුවේ දාරය අතර කුඩා ඉඩක් තබා ගන්න. දණහිස් උකුල් ඇට හා සම මට්ටමේ හෝ ඊට තරමක් පහළින් සිටින සේ ඉඳගන්න. පිට හොඳින් පුටුවට හේත්තු වන සේ ඉඳ ගන්න. පුටුව හා පිට අතර ඉඩක් තිබේ නම් ඒ ඉඩෙහි කුෂන් එකක් හෝ කුඩා කොට්ටයක් තබා එයට හේත්තු වී වාඩි වී සිටින්න. මෙසේ හේත්තු වූ විටද සිරුර සෘජුව තබා ගත යුතුයි. ඉදිරියට හෝ පිටුපසට නැවී ඉන්න එපා.

ඔබගේ රැකියාව අනුව බොහෝ වේලාවක් ඉඳගෙන ඉන්නට සිදුවේ නම් එක දිගට පැය ගණන් වාඩි වී ඉන්න එපා. පැයකට වරක් වත් නැගිට, ඇවිද ගොස් පැමිණ යළිත් ඉඳගන්න. පැයකට වරක් හැකිනම් මෙලෙස වෙනත් ඉරියව්වකින් විනාඩි 10ක් පමණ ගත කිරීමට උත්සාහ ගන්න. විනාඩි 5ක් වත් ඇවිදීමටද හැකි නම් වඩා හොඳයි.

ඔබ පරිඝනකය භාවිතා කරන රැකියාවක් කරන්නේ නම් පවත්වා ගත් යුතු නිවැරදි ඉරියව්:

පරිඝනක තිරය ඔබේ අතේ දුරෙන් තබා ගන්න. එය ඇස් මට්ටමට වඩා අඟල් දෙකකට වඩා උස නොවිය යුතුයි. ඉඳගන්නා පුටුවේ ඔබ ඉඳගත් විට පාදය සම්පූර්ණයෙන් බිම තැබීමට නොහැකි නම් පාද තබා ගැනීමට ආධාරකයක් තබා ගන්න. පුටුවේ පිටු පසට කොඳු ඇට පෙළ සෘජුව තබා ගෙන හේත්තු වන්න. එසේ හේත්තු විය නොහැකි නම් කුෂන් එකක් තබා ගන්න. පරිඝනකයේ යතුරු පුවරුව(keyboard) සහ මූසිකය(mouse) සිරුරට ළඟින් තබා ගන්න. එනම් ඇදෙන්නේ, නැවෙන්නේ නැතිව ඒවා භාවිතා කරන්නට හැකිවන දුරකින් තබා ගන්න. වැඩ කරන අතරතුර ඉරියව් වෙනස් කර තබා ගැනීමට සහ ඇවිදීමට යම් කාලයක් වෙන් කරන්න.

නිදා ගැනීමේ නිවැරදි ඉරියව්:

එක් ඇළයකට හැරී හෝ උඩුබැලි අතට නිදා ගැනීම වඩාත් සුදුසු ඉරියව් වේ. මේ ඉරියව් දෙකේදී ඔබගේ කොඳු ඇට පෙළ සමබරව තබා ගැනීමට සහ එයට අවශ්‍ය ආධාරකයන් ලබාදීමට පහසුය. මුනින් අතට හැරී නිදා ගැනීමෙන් හුස්ම ගැනීම අපහසු වේ. එමෙන්ම කොඳු ඇට පේළියේ අස්වාභාවික නැම්මක් සහිතව මුළු නිදා ගන්නා කාලය පුරාම ඉන්නට සිදුවේ. එය බෙල්ලේ මාංශ පේශීන්ට අහිතකරය.

නිවැරදි ඉරියව් පවත්වා නොගැනීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු:

• බෙල්ලේ, උරහිස්වල සහ පිටකොන්දේ වේදනා ඇතිවීම
• අනතුරු සිදුවීමට ඇති ප්‍රවනතාවය
• ගැස්ට්‍රයිටිස් තත්වය උත්සන්න වීම
• සන්ධි ගෙවීයාම, සන්ධිවල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම සහ එයින් සන්ධි වේදනා ඇතිවීම
• පිට කුදු වීම

ඉහත සඳහන් කළ ගැටළුවලින් මිදීමට හැකි වීමට අමතරව නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් පහත දැක්වෙන ධනාත්මක ප්‍රතිඵල ද ලැබේ.

• ආත්ම විශ්වාසය වර්ධනය වේ
• කාර්යයක් කිරීමේදී වැඩි ශක්තියක් යෙදවීමට හැකිවේ
• වඩා හොඳ මනෝභාවයක්(mood) ඇතිව වැඩෙහි යෙදීමට හැකිය
• හොඳින් හුස්ම ගැනීමට හැකිවේ
• හිසරදය සෑදීමේ ප්‍රවනතාවය අඩුවේ
• අනතුරක් සිදුවීමට ඇති අවස්ථාවන් අවම වේ
වඩා හොඳ කායික මානසික සුවතාවයක් වෙනුවෙන් ඔබගේ ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමට උත්සාහ ගන්න.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්