යුක්රේන යුද්ධය අවසන් කිරීමට අලුත් සාකච්ඡා ක්‍රියාදාමයක්

රුසියා – යුක්රේන යුද්ධය දැන් වසර ගණනක් තිස්සේම ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන ඇති යුද්ධයක් වන අතර පසුගිය කාලයේ එය ශ්‍රී ලංකාව තුළ ද විශේෂයෙන් කතාබහට ලක් වූවක් විය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රුසියානු සහ යුක්රේන හමුදාවල සේවයට ශ්‍රී ලාංකිකයන් ද යොදවා ඇති බව අනාවරණය වීම යි. මෙම ශ්‍රී ලාංකිකයන් එම හමුදාවලට බඳවා යුද පෙරමුණට යවා තිබුණේ වංචනික ආකාරයෙන් බවක් ද හෙළි විය.

විදේශ රැකියා ඒජන්තයන් මෙම ශ්‍රී ලාංකිකයන් එම රටවලට ගෙන ගොස් තිබුණේ වෙනත් ආකර්ශණීය රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

වෙනත් රටවල වැසියන් පවා යොදා ගනිමින් ඇදී යන යුක්රේන යුද්ධය ගැන මේ දිනවල ජාත්‍යන්තරය තුළ විශේෂ අවධානයක් යොමු වෙමින් තිබේ. එයට හේතුව ළඟදීම එහි සටන් නතර වීමක් සිදු වනු ඇත් ද යන කුතුහලයක් නැවතත් බොහෝ පාර්ශ්ව තුළ ඇති වෙමින් තිබීම යි.මෙවැනි කුතුහලයක් ඇති වූයේ මෙයට ටික දිනකට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කරන ලද ප්‍රකාශයක් මුල් කර ගනිමිනි. ඔහු එහි දී ප්‍රකාශ කළේ සාමය අරමුණු කර ගනිමින් යුක්රේනය සමග සෘජු සාකච්ඡාවකට රුසියාව සූදානම් බව යි.

ඉහත කී ආකාරයෙන් යුද පෙරමුණට යවා තිබූ ඇතැම් ශ්‍රී ලාංකිකයන් මියගොස් ඇති බවක් ද, තවත් සමහරුන් බරපතල තුවාල ලබා තිබූ බවක් ද, ඇතැමුන් යුද සිරකරුවන් බවට පත්ව ඇති බවක් ද වාර්තා විය. අවසානයේ යුක්රේන යුද පෙරමුණේ සිටි තම ඥාතීන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වල අයට, රජයට ද බල කරමින් විශාල උත්සාහයක් දරන්නට සිදු විය.

රුසියානු නියෝජිතයෝ

මේ ආකාරයෙන් වෙනත් රටවල වැසියන් පවා යොදා ගනිමින් ඇදී යන යුක්රේන යුද්ධය ගැන මේ දිනවල ජාත්‍යන්තරය තුළ විශේෂ අවධානයක් යොමු වෙමින් තිබේ. එයට හේතුව ළඟදීම එහි සටන් නතර වීමක් සිදු වනු ඇත් ද යන කුතුහලයක් නැවතත් බොහෝ පාර්ශ්ව තුළ ඇති වෙමින් තිබීම යි.

මෙවැනි කුතුහලයක් ඇති වූයේ මෙයට ටික දිනකට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කරන ලද ප්‍රකාශයක් මුල් කර ගනිමිනි. ඔහු එහි දී ප්‍රකාශ කළේ සාමය අරමුණු කර ගනිමින් යුක්රේනය සමග සෘජු සාකච්ඡාවකට රුසියාව සූදානම් බව යි.

මෙයට පෙර මෙම යුද්ධයට අදාලව මෙම දෙපාර්ශ්වය අතර මෙවැනි සෘජු සාකච්ඡාවක් ඇතිව තිබුණේ මෙයට වසර තුනකට පෙර, එනම් 2022 වසරේ ය. යුක්රේන යුද්ධය ආරම්භ වූයේත් එම වසරේම යි. නමුත් රුසියානු ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි එම සාකච්ඡාවලට පෞද්ගලිකව සහභාගි වූයේ නැත. ඔවුන් දෙදෙනා අතර අවසන් වරට මුහුණට මුහුණ හමුවක් සිදු වූයේ මෙයට වසර හයකට පෙර 2019 වසරේ යි.

යුක්රේනය සමග සෘජු සාකච්ඡාවකට රුසියාව සූදානම් බව පුටින් ප්‍රකාශ කළේ එවැනි පසුබිමක් තුළ ය. ඔහු මෙම ප්‍රකාශය කළේ පසුගිය 11 වැනි දින යි. ඒ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමිනි. මෙම සාකච්ඡා පැවැත්වීම සඳහා දිනයක් සහ ස්ථානයක් පවා ඔහු යෝජනා කළේය. මැයි 15 වැනි දින තුර්කියේ අගනුවර වන ඉස්තාන්බුල්හි දී මෙම සාකච්ඡා ආරම්භ කළ හැකි යයි ඔහු සඳහන් කළේය. ” ස්ථිර සහ ශක්තිමත් සාමයක් අරමුණු කරගත් බැරෑරුම් සාකච්ඡාවක නිරත වීමට රුසියාව අපේක්ෂා කරනවා” පුටින් එහි දී පවසා සිටියේ ය.

රුසියාව සහ යුක්රේනය අතර සාමයක් ඇති කර ගැනීමට පසුගිය කාලයේ විවිධ පාර්ශ්ව උත්සාහ කළත් ඒවා සාර්ථක වූයේ නැත. එසේ සාර්ථක නොවීමට ප්‍රධාන හේතුව රුසියාවට සාමය සඳහා අවංක වුවමනාවක් නොතිබීම බවක් ද පැවසිණි. එවැනි තත්වයක් තුළ දැන් රුසියාවම සෘජු සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීම බොහෝ දෙනා තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්නක් විය.

රුසියානු ජනාධිපති පුටින් මේ සඳහා යෝජනා කළ විට කව්රුත් කුතුහලයෙන් බලා සිටියේ ඊට යුක්රේනය පැත්තෙන් කවර ප්‍රතිචාරයක් ලැබෙනු ඇත් ද යන්න පිළිබඳව යි.

පුටින්ගේ යෝජනාවෙන් ටික වේලාවකට පසු ප්‍රකාශයක් කරමින් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පැවසුවේ යුක්රේනය මෙම සාකච්ඡා සඳහා සූදානම් බව යි. එසේ වුවත් තමා ඊට සහභාගි වන්නේ පුටින් ද ඊට පැමිණෙන්නේ නම් පමණක් බව ද ඔහු අවධාරණය කර සිටියේය.

රුසියානු ජනාධිපති පුටින්

මැයි 15 වැනි දින තමා ඉස්තාන්බුල් නුවර බලා යන බවත්, පුටින් පැමිණෙන තෙක් බලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. සෙලෙන්ස්කි තවදුරටත් කියා සිටියේ රුසියාවේ සියලු කාරණා පිළිබඳ අවසන් තීරකයා පුටින් බැවින් ඊට පහළ මට්ටමේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමේ තේරුමක් නැති බව යි.

යුක්රේනය සමග සෘජු සාකච්ඡාවක් සඳහා පුටින් යෝජනා කළත් තමාම ඊට සහභාගි වන බවක් ඔහු සඳහන් කර තිබුණේ නැත.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබිණි. එනම් තමා ද මෙම තුර්කි සාකච්ඡාවට එක්වීමට අදහස් කරන බව යි.

කෙසේ හෝ වේවා, පුටින් මෙම සාකච්ඡා සඳහා එක්වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. සාකච්ඡා සඳහා පැමිණෙන තම නියෝජිතයන්ගේ නම් රුසියාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර පුටින්ගේ නම ඊට ඇතුළත් නොවිණි. එම නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබුණේ පුටින් ගේ ප්‍රධාන උපදේශකයකු වන ව්ලැදිමීර් මෙදෙන්ස්කි ය. ඊට අමතරව නියෝජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් ද ඊට ඇතුළත් වූහ.

මෙම නියෝජිතයන් සම්බන්ධයෙන් යුක්රේනය සෑහීමකට පත් නොවුණත් මැයි 15 වැනි දින සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීම සාධනීය කාරණයක් විය. ඊට පුටින් සහභාගි නොවූ නිසා යුක්රේන ජනාධිපතිවරයා ද සහභාගි වූයේ නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වුණේ ද නැත. නමුත් දෙපාර්ශ්වයේ නියෝජිතයෝ එදින ඉස්තාන්බුල්හි දී හමු වූහ.

මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට එම හමුව පැයකට වැඩි කාලයක් පවත්වා තිබිණි. එහි දී වැදගත් කාරණා කිහිපයක් පිලිබඳව සාකච්ඡා වූ බවක් ද වාර්තා විය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි

මේ සාකච්ඡාවේ දි රුසියාව පැත්තෙන් ඇතැම් පිලිගත නොහැකි ඉල්ලීම් ඉදිරිපත් වූ බවක් යුක්රේනය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡා ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට යාමට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්ලේෂකයන් ගේ අදහස යි.නමුත් මෙවැනි සෘජු සාකච්ඡාවක් සඳහා පුටින් කළ යෝජනාව සාමය පිළිබඳ අවංක වුවමනාවකින් කළ එකක් ද නැතහොත් ඔහුගේ තවත් උපක්‍රමයක් පමණක් ද යන සැකය ද බොහෝ දෙනා තුළ පවතින බව සඳහන් කළ යුතු වේ.

ඉදිරියේ දී සටන් විරාමයක් ඇති කර ගැනීමට අදාළව යම් කාරණා සාකච්ඡා වූ බවක් සඳහන් වේ. ඊට අමතරව පුටින් සහ සෙලෙන්ස්කි අතර ඉදිරි හමුවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබිණි.
තවත් වැදගත් එකඟතාවක් මෙහි දී ඇති වී තිබූ අතර ඒ දෙපාර්ශ්වයේම යුද සිරකරුවන් 1,000 බැගින් නිදහස් කිරීම පිළිබඳ එකඟතාවකි. මෙම කාරණය බොහෝ දේශපාලන විශ්ලේෂකයන් ගේ විශේෂ අවධානයක් දිනාගෙන තිබිණි.

කෙසේ නමුත් මේ සාකච්ඡාවේ දි රුසියාව පැත්තෙන් ඇතැම් පිලිගත නොහැකි ඉල්ලීම් ඉදිරිපත් වූ බවක් යුක්රේනය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡා ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට යාමට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්ලේෂකයන් ගේ අදහස යි.

නමුත් මෙවැනි සෘජු සාකච්ඡාවක් සඳහා පුටින් කළ යෝජනාව සාමය පිළිබඳ අවංක වුවමනාවකින් කළ එකක් ද නැතහොත් ඔහුගේ තවත් උපක්‍රමයක් පමණක් ද යන සැකය ද බොහෝ දෙනා තුළ පවතින බව සඳහන් කළ යුතු වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර