පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල රංග කලාව නව මඟකට ගෙන යමින් දේශීය නාට්‍ය කලාවක් ගොඩ නැඟීම පිළිබඳ පූර්වාදර්ශී නිර්මාණය බව පැවසෙයි. එමෙන්ම දේශීය සම්ප්‍රදායයක් ගොඩ නැගීමේ අරමුණක් පෙරදැරි කර ගනිමින් සරච්චන්ද්‍රයන්ගේ දැරූ එම ප්‍රයත්නය තුළ මනමේ ලාංකීය නාට්‍ය කලාව තුළ නොමඳ සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යය ලෙස ද හැඳින්වේ.

“මනමේ කතාව” ලෙස ප්‍රචලිතව ඇත්තේ ජන කතාවකි.ඊට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන”චුල්ල ධනුද්ධර ජාතකය යි. එහෙත්, ඉහත සඳහන් ජාතක කතාව හා මනමේ නාටකය අතර ගොඩනැඟී ඇති අති දැවැන්ත ගැමි කලා නිර්මාණයක් තිබේ. එනම් “මනමේ නාඩගම” ය. තමන් මනමේ නාටකය නිර්මාණය කිරීමේ දී චුල්ල ධනුද්ධර ජාතකයේ මනමේ නාඩගමේ පමණක් නොව අකිරෝ කුරොසෝවාගේ “රෂෝමොන් ” චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ අත්දැකීම ද භාවිතා කළ බව මහාචාර්ය සරච්චන්ද්‍ර පවසා තිබේ. එහි පිටපත රචනා කිරීමේ දී ශ්‍රී ලාංකේය ගැමි නාටක කලාවේ පුරෝගාමියකු වන චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ වැන්නකු එක් කොට ගැනීමෙන් සරච්චන්ද්‍රයන් තුළ කෙතරම් ශාස්ත්‍රීය විනයක්, ශික්ෂණයක් තිබිණි දැයි අපට සිතා ගත හැක.
පන්සිය පනස් ජාතකය දැක්වෙන ඇතැම් ජාතක කතා පිටපත්වල චුල්ල ධනුග්ගහ ජාතකය වශයෙන් ද දැක්වෙන චුල්ල ධනුද්ධර ජාතක කතා වස්තුවේ කතා සාරය මෙලෙසිනි.

එහි වර්තමාන කතාවට අනුව බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ එම ජාතකය දේශනා කරනුයේ එක් කාන්තාවක මුල් කොට මහණ දම් පිරීමේ පසුබෑමකට ලක් වූ භික්ෂුවක මුල් කර ගනිමිනි. ඉන්පසුව එම ජාතක කතාවේ අතීත කතාවෙන් විස්තර වන එම පුරාවෘත්තය මෙලෙසිනි.
ගන්ධාර දේශයේ තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමන් සමීපයේ ශිල්ප හැදෑරීමට යන බ්‍රාහ්මණ තරුණයකු සියලු ශිල්ප හදාරා දුනු ශිල්ප කෙරෙහි සුවිශේෂ දක්ෂතා පළ කිරීම නිසා චුල්ල ධනුද්ධර (කුඩා දුනුවායා) යන නමින් හැඳින්වෙන්නට පටන් ගනී. ඔහු තම ශිල්ප හැදෑරීම් කටයුතු කෙතරම් ප්‍රශස්ථ මට්ටමින් සිදු කළේ ද කිව හොත් දිසාපාමොක් ආචාරීහු එම බ්‍රාහ්මණ තරුණයාට තම වැඩිවිය පත් දියණියක සරණ පාවා දෙන්නාහ. පසුව මෙම නව යුවතිපතීන් දෙදෙන ඒ බමුණු තරුණයා ගේ ගම් බිම් බලා එන්නට පිටත් වෙති. ඒ එන ගමනේ දී අතරමඟ මහා විශාල වනාන්තරයක් පසුකිරීමට ඔවුනට සිදුවේ. එහි ත්‍රිමද ගලිත හෙවත් මඳ කිපී තුන් පලකින් මඳ වෑහෙන හස්තියෙක් සිටියි. එම හස්තියා මෙම නව යුවතිපතීන් යන පෙර මඟට දිව එත්ම චුල්ල ධනුද්ධර බමුණු තරුණයා තම හී මිටියේ තිබූ හී තල පන්සියයෙන් එකක් යොදා එම හස්තියාගේ කුම්භස්තලය වෙත හී පහරක් එල්ල කරනුයේ ඇතු එතැනම බිම හෙළමිනි. අනතුරුව මෙම නව යුවතිපතීන් දෙපල මහා වන මැද තව දුරටත් ගමන් කරන විට ඔවුනට දඩමස් පුළුස්සා කන පන්සියයක සොර මුලක් දක්නට ලැබේ. එහි දී චුල්ල ධනුද්ධර ඔවුන් ගෙන් පිළිස්සූ මස් ටිකක් ඉල්ලා ගෙන එන ලෙස දන්වමින් තම බිරිඳ පිටත් කරයි. නමුත් පිළිස්සූ මස් දීමට කැමති නොවන සොරු ඒ වෙනුවට ඇයට අමු දඩ මස් දී පිටත් කොට හරිති.

පසුව එම අමු මස් දකින චුල්ල ධනුද්ධර එම සොරුන් අපට අමු මාංශ දෙනුයේ නොතැකීමක් නිසා දැයි පිරික්සීමට කරනුයේ තම යොවුන් බිරිඳ යළි එම හොරුන් වෙතටම යැවීම ය. එහි දී ඇගේ ක්‍රියාවකින් කෝප ගැන්වෙන සොරු පන්සියය හමු වන චුල්ල ධනුද්ධර තමන් සතු ඉතිරි හී හාරසිය අනූ නවය යොදා එම සොරුන් සියලු දෙනා මරා දමනුයේ එම සොර දෙටුවා පමණක් ඉතිරි කරමිනි. පසුව චුල්ල ධනුද්ධර හා ඒ සොර දෙටුවා අතර ද්වන්ධ සටනක් ඇති වෙයි. එහි එක් අවස්ථාවකදී සොර දෙටුවා බිම හෙළා යට කර ගැනීමට චුල්ල ධනුද්ධර සමත් වේ. ඉන්පසු ඔහු තම බිරිඳ අතේ වූ අසිපත ඉල්ලා සිටිනුයේ ඒ මොහොතේම එම සොර දෙටුවා ද එතැනම මරා දැමීමට ය. එහෙත්, එහිදී එම තරුණ බිරිඳ එම කඩුව දෙනුයේ කොපුව චුල්ල ධනුද්ධර හටත් එහි මීට සොර දෙටුවාටත් ලැබෙන විලසිනි. එහි ප්‍රතිඵලය වනුයේ ඒ මොහොතේම චුල්ල ධනුද්ධර ඒ සොර දෙටුවා අතින් මරණයට පත්වීම ය. ඔහුගේ ඒ මරණයත් සමඟ චුල්ල ධනුද්ධර ගේ බිරිඳ ඒ සොර දෙටුවා ද සමඟ වනයෙන් නික්මෙනු පිණිස ගඟක් සමීපයට පැමිණෙන්නී ය. එහෙත්. ඇය තම සැමියා මැරීමට යෙදූ ක්ෂණික උපාය සිත තුළ සනිටුහන් කර ගෙන සිටි සොර දෙටුවා ඇයට ඒ බවක් නොඅඟවා ඇය පැළඳ සිටින අබරණ ඉනේ ඇති රෙදි කඩෙක ඔතා දෙන ලෙස ඉල්ලා සිටිනුයේ ඒවා පළමුව ගඟෙන් එතෙර කළ යුතු බවක් පවසමිනි. එහෙත්, ඔහු එසේ ගඟ තරණය කොට ආපසු නොඑන බව වටහා ගන්නා චුල්ල ධනුද්ධරයන් ගේ බිරිඳ ඒ පිළිබඳව විමසත්ම “තිගේ සැමියාට තී සිදු කළ විපත හමුවේ මට තව දුරටත් තිගෙන් පල නැතැ”යි පවසන හොර දෙටුවා ඇගේ අබරණ ද රැගෙන ගඟ තරණය කොට පලා යනුයේ ඇය ගංතෙරේ අසරණ හුදකලා බවකට පත් කරමිනි.

ඉහත සඳහන් සිදුවීම දකින ශක්‍ර දේවේන්ද්‍රයා මෙම කාන්තාව තව දුරටත් වෙහෙසට පත් කරනු පිණිස දෙව් ලොව වීණා වාදකයාට උකුසු වෙසක් හා තම රියැදුරු මාතලීට මත්ස්‍ය වෙසක් ගන්නා ලෙස පවසා තමන් මස් කැටියක් මුවින් ගත් සිවලෙකු ලෙසින් ඒ කාන්තාව ඉදිරියේ පෙනී සිටියි. එහිදී මත්ස්‍ය වෙස් ගත් මාතලී එක්වරම ගං දියෙන් ඉස්මතු වත්ම සිවල් වෙස් ගත් ශක්‍රයා තම මුවෙහි වූ මස් කැටිය ඉවත ලා එම මත්ස්‍යයා අල්ලා ගැනීමට සැරසෙයි. එවිටම ඒ වන විට මත්ස්‍යයා දියඹේ කිමිද යන අතරේ උකුසු වෙස් ගෙන හිඳින පන්සිළු වහා පැන එම මස් කැටිය ඩැහැගෙන අහස් ගත වනුයේ ඉහත සඳහන් විපතට පත් කාන්තාවගේ මුවට සිනා නංවමිනි. එහි දී ඇය ඒ පිළිබඳව හිවලාගෙන් එම මෝඩකම පිළිබඳව විමසන විට හිවලා සම්බන්ධයෙන් ඇයට පවසනුයේ ඔබට තමන්ගේ පළමු සැමියා මෙන්ම දෙවන සැමියා ද අහිමි කර ගැනීමෙන් එබඳුම අඥාන කමක් සිදුකරගෙන ඇති බවකි. ඉන්පසුව චුල්ල ධනුද්ධර ගේ බිරිඳ තමන් පතිවෘතාව කෙලෙසීමෙන් කර ගත් අඥානකම සම්බන්ධයෙන් බලවත් සේ කම්පා වන්නී ය.

නාඩගම් යනු දකුණු ඉන්දීය වීදි නාට්‍ය විශේෂයක් ගුරු කොට ගනිමින් මහනුවර යුගයේ දී අප ජන සමාජයට සංක්‍රමණය වූවකි. පසුව මෙරට ජන රංගනයක් ලෙස ප්‍රචලිත වූ අතර ඒ සඳහා ඊට පෙර අප සමාජයේ ප්‍රචලිත කෝලම් රංගනයේ ආභාෂය ද ලැබී තිබේ. “මනමේ නාඩගම යනු කෝලම් නැටුම යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන ප්‍රාථමික ගැමි නාටකයකින් උපුටා ගත් කොටසක අනුවර්තනයකි. මා සිතනා ආකාරයට නාඩගම් යනු කෝලම්වලින් ඍජුව ප්‍රභවය වූවකි. කෝලම්වල එන සම්ප්‍රදායික චරිත සියල්ල ඉවත් කර ඉතිරි වන රජු සහ ඔහුගේ පිරිවර මනමේ කතාව සඳහා නාටකීය ලෙස යොදා ගන්නේ නම් අපට නාඩගම නම් ඔපෙරා ආකෘතියේ ජන නාටකය ලැබෙයි” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය හඳුන්වා දෙමින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් එය මුල් වරට එය වේදිකා ගත වන්නට දින කිහිපයකට පෙර 1956 ඔක්තෝබර් 30 වන දා ඩේලි නිව්ස් පුවත් පතට ලියූ ලිපියක එසේ සඳහන් කොට තිබේ.

එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාටකයට අනුව මනමේ යනු බරණැස් පුර බඹදත් රජුගේ පුත් කුමරුවෙකි. මනමේ කුමරු ශිල්ප ඉගෙනීමට තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු වෙත යයි. එහිදී ඇදුරුගේ දියණිය සමග ආලයෙන් වෙළෙන මනමේ කුමරු ශිල්ප නිමවා ඇය සරණ පාවාගෙන තම රට වෙත පිටත් වෙයි. අතරමඟ එක් වනයක දී ඔවුන් ඉදිරියට පැමිණෙනුයේ වැදි සමූහයකි. ඔවුන්ගේ නායකයා අතිශය රූමත් මනමේ කුමරිය පිළිබඳ සිත් ඇතිව ඇය එහි රඳවා පිටත්ව යන ලෙස මනමේ කුමරුට පවසයි. එයට අකමැති වන මනමේ කුමරු වැදි නායකයා හා ද්වන්ද සටනකට එළඹේ. සටන අතරතුර වැදි රජු බිම හෙළා ගන්නා මනමේ කුමරු වැදි රජු විනාශ කිරිමට මනමේ කුමරු කුමරියගෙන් කඩුව ඉල්ලයි. නමුත් කුමරිය පවසනුයේ වැදි රජුට සමාව දෙන ලෙස ය. වනාන්තරය සිය වාස භවන වී තිබියදී සහ වැදි දෙටුවන් රැසක් සිටියදීත් කුමරුන් හා ද්වන්ද සටනකට පැමිණි වැදි රජු ධෛර්යයෙන් හා සදාචාරාත්මක බවින් පිරිපුන් අයකු ලෙස ඈ දකින්නී ය. “ඔහුට සමාව දෙනු මැනවි” ඇය එක් වරම කරන ඉල්ලීමෙන්, මනමේ රජු තිගැස්සෙයි. මේ සමඟම ඔහුගේ ග්‍රහණය ලිහිල් වන අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැදි රජ වහා ඔහුගෙන් මිදී බිසව අතින් කඩුව ගෙන මනමේ රජුට ඇන ඔහු මරයි. ඉන් අසරණ වූ කුමරිය වැදි රජුගේ පිහිට පතයි. නමුත් වැදි රජු කුමරිය අත්හැර යයි. එයින් සිත් තැවුලට පත්වන කුමරියගේ හදවත පැලී මියයයි.

නාඩගම් යනු දකුණු ඉන්දීය වීදි නාට්‍ය විශේෂයක් ගුරු කොට ගනිමින් මහනුවර යුගයේ දී අප ජන සමාජයට සංක්‍රමණය වූවකි. පසුව මෙරට ජන රංගනයක් ලෙස ප්‍රචලිත වූ අතර ඒ සඳහා ඊට පෙර අප සමාජයේ ප්‍රචලිත කෝලම් රංගනයේ ආභාෂය ද ලැබී තිබේ.
“මනමේ නාඩගම යනු කෝලම් නැටුම යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන ප්‍රාථමික ගැමි නාටකයකින් උපුටා ගත් කොටසක අනුවර්තනයකි. මා සිතනා ආකාරයට නාඩගම් යනු කෝලම්වලින් ඍජුව ප්‍රභවය වූවකි. කෝලම්වල එන සම්ප්‍රදායික චරිත සියල්ල ඉවත් කර ඉතිරි වන රජු සහ ඔහුගේ පිරිවර මනමේ කතාව සඳහා නාටකීය ලෙස යොදා ගන්නේ නම් අපට නාඩගම නම් ඔපෙරා ආකෘතියේ ජන නාටකය ලැබෙයි” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය හඳුන්වා දෙමින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් එය මුල් වරට එය වේදිකා ගත වන්නට දින කිහිපයකට පෙර 1956 ඔක්තෝබර් 30 වන දා ඩේලි නිව්ස් පුවත් පතට ලියූ ලිපියක එසේ සඳහන් කොට තිබේ.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මනමේ ‘නාටකය සඳහා චුල්ල ධනුද්ධර ජාතක කතාව පදනම් වුව ද තම නාටකයේ තේමාව රිසි අයුරින් සකසා ගැනීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් දැක් වූ සාමාර්ථභාවය අති විශිෂ්ට ය. නමුත් එම ජාතක කතාව සහ නාටකය අතර පවත්නා විෂමතා සැලකිල්ලට ගැනීමේදී ඒ අතුරින් මතුවන මනමේ නාඩගම නම් වන ජන රංගනයේ දැවැන්ත ප්‍රතිරූපය මනා සේ ඉස්මතු වී පෙනේ. ඒ අනුව ගත වූ කාලය පුරා බොහෝ දෙනකු මනමේ නාඩගම චුල්ල ධනුද්ධර ජාතකයේ ‘කාබන් කොපියක්’ වශයෙන් හඳුන්වා තිබීම අතිශය සාවද්‍යය. එම කතා පුවතේ එන බ්‍රාහ්මණ තරුණයා ‘මනමේ’ ලෙසින් හැඳින්වීමක් චුල්ල ධනුද්ධර ජාතකයේ දක්නට නැත. ඔහුට ඒ නම මුලින්ම ප්‍රදානය කොට ඇත්තේ මනමේ නාඩගම ඉදිරිපත් කළ ගැමි කලාකරු විසිනි. එමෙන්ම චුල්ල ධනුද්ධර නම් වන ඒ බමුණු තරුණයා රාජ්‍යත්වයක් සහ ඔහුගේ බිරිඳට මහේෂිකා තත්වයක් ආරෝපණය කිරීමට ද නාඩගම්කරුවා සමත් ව තිබේ. නාඩගම්වල දර්ශනය නොවන අවස්ථා සහ පාත්‍ර වර්ගයා කවියෙන් ප්‍රේක්ෂකයාට හදුන්වා දෙන පොතේ ගුරු එම චරිත යුගලය හඳුන්වා දෙනුයේ මෙලෙසිනි.

මනමේ නිරිඳ සඳ
බිසව් සමඟින් මන නද
නොරටක යනා ලෙද
වඩින රඟ බල මේ සබේ මැද

එමෙන්ම චුල්ල ධනුද්ධර ජාතක කතාවට අනුව එම නව යොවුන් දම්පතීන්ට වන මැද දී හමු වනුයේ දඩමස් පුළුස්සා කන පන්සියයකින් යුතු සොර මුලකි. නමුත් මනමේ නාටකයේ ඔවුන් දක්වා ඇත්තේ වැදි පිරිසක් ලෙසිනි. නමුත් එම හොරුන් වැද්දන් ලෙස ඉදිරිපත් කිරීමට පුරෝගාමී වී ඇත්තේ ද මනමේ නාඩගම්කරු බව නාඩගමට පුර්වගාමීව එම සිදුවීම විස්තර කරන පොතේ ගුරු ගේ මතු දැක්වෙන කවිය මගින් තහවුරු වේ.
“වැදි සෙනඟ සමඟින
යුදකර ඔවුන් මරමින
තම හිමි මරවමින
බලන් වියතුනි ලියන් ගේ ගුණ”

එහිදී එම යුවල හා වැදි පිරිස අතර ඇති වන ජාතක කතාවේ සඳහන් අමු මස් හබය මනමේ නාටකයේ දක්නට නැත. එහෙත්, මනමේ කුමරු හා වැදි රජු අතර ගැටුමට එය ද හේතුවක් බව නාඩගම්කරු පවසයි. එහිදී පිළිස්සූ මස් වෙනුවට අමු මස් ලද මනමේ කුමරිය ඒවා යළි ගෙන ගොස් හොරුන්ගේ ඔළුවේ ගසා ආ බවක් වැදි දෙටුවා විසින් වැදි රජුට හෙළි කිරීම සම්බන්ධයෙන් මනමේ නාඩගමේ සඳහන් ය. එහිදී කෝප වන වැදි රජු ඉන් තම පෞරුෂයට එල්ල වූ බලවත් අවමානය මුල් කොට මනමේ කුමරුන් සොයා යාම නාඩගමේ මෙසේ විස්තර වේ.
“බැද්ද මැදට කෙසරිඳු සමාන වූ කෙනෙකි මන්-පරසිද්ද නැද්ද මගෙ විකුම් මෙ වන
තුළ අහලා උන්-විද්ද සැරෙන් කුමරකු ඔද හරවමි එක් සැනෙන්-තව ඇද්ද මෙ අපි එහි යන
තුරු එ කුමරා බොලන්”
නමුත් මනමේ කුමරු හමුවට තම වැදි පිරිස ද සමඟින් යන වැදි රජු මනමේ කුමරිය දැකීමෙන් ඇය කෙරෙහි ඇළුම් උපදවා ගන්නා පුවතක් මනමේ නාටකයේ මිස ජාතක කතාවේ ඇත්තේ ම නැත. එහෙත් වැදි රජු මනමේ කුමරිය සම්බන්ධයෙන් උපදවා ගන්නා ඇල්ම මුල් වරට ඉදිරිපත් කරනුයේ මනමේ නාඩගම් කරු විසින්ම වීම විශේෂත්වයකි.

මනමේ නාටකයේ හුවා දැක්වෙන හේතුන් මත නොව වෙනත් කුමක් හෝ හේතුවක් මත තම සැමියා අතින් වැදි රජු මරණයට පත් වනු දැකීමට අකමැති මනමේ කුමරිය අසිපත වැදි රජු අතට පත් කිරීම මෙම චුල්ල ධනුද්ධර ජාතකයේ හෝ මනමේ වෘත්තාන්තයේ අතිශය තීරණාත්මක සංසිද්ධිය බව නිසැක ය.නමුත් මනමේ කුමරුගේ එම මරණයෙන් පසු කුමරිය තමන් කළ අනුවණකම සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චාත්තාප වන බව ද නාඩගම් කරු සෘජුවම පවසා සිටීම ද විශේෂත්වයකි.

“යුද්ද කරමි ජඩ නිරිඳු සමඟ මම අද සෙටා-පර සිද්ද උතුම් මෙම කිරුළිස පළඳමි
නුඹලටා-බැද්ද මැද්දට රජකම් කෙරුමත් දෙමි නුඹලටා-අද යුද්ද කරලා මෙ කුමරි අරන්
දෙනවද මටා”.
එහිදී එම වැදි රජු තම පිරිසට පවසනුයේ යුදමය ක්‍රියාමාර්ගයකින් හෝ එම කුමරිය තමන්ට ලබා දෙන්නේ නම් තම පිරිසට වනයේ රජකම පවා හිමිකර දෙන බවකි. මනමේ නාටකයට එක් කොට ඇති වැදි රජු මනමේ කුමරියට ආශක්ත වීම නාඩගම්කරු කෙතරම් ප්‍රබල ලෙසින් ඉදිරිපත් කොට තිබේද යන්නට ඉහත සඳහන් කවිය කදිම සාක්ෂියකි. ඒ අනුව එම වැදි පිරිස එකා දෙන්නා වශයෙන් මනමේ කුමරුන් හා සටනට පැමිණ අවසානයේ සියල්ලන් මරුමුවට පත් වූ ජාතක කතාවේ ඇති එහෙත් මනමේ නාටකයේ නොමැති ඒ සංසිද්ධිය මනමේ නාඩගම්කරු විස්තර කරනුයේ මෙලෙසිනි.

“ගුණෙන් උතුම් නරනිඳු සමඟ යුදයට
ගණන් නැතුව වැද්දෝ ආවා යුදට
විකුන් බෙලෙන් හුන් ඒ උන් එසුන් කොට
රජුන් දෙදෙන සබයට බැසපි යුදයට”
අවසානයේ වැදි රජු හා මනමේ කුමරු අතර ද්වන්ධ සටනේ දී වැදි රජු බිම හෙළා ගන්නා මනමේ කුමරු වැදි රජු නසා දැමීමට මනමේ කුමරිය ගෙන් අසිපත ඉල්ලා සිටීම මනමේ නාඩගමේ මෙලෙස දැක්වේ.
“වැරෙන් සිටිය වැදි රජුව හෙලා යටකර
ගතින්- මගෙ විකුන් බලය නොදත් හෙයින්
පැන ආවෙද? දැන්- උතුන් ගුණැති දිමුත් කුමරි ම දෙස
බලන්- මට දියන් කඩුව මුගෙ කුලල කපා ලන්නට මෙ දැන්”

එහෙත්, මනමේ නාටකයේ හුවා දැක්වෙන හේතුන් මත නොව වෙනත් කුමක් හෝ හේතුවක් මත තම සැමියා අතින් වැදි රජු මරණයට පත් වනු දැකීමට අකමැති මනමේ කුමරිය අසිපත වැදි රජු අතට පත් කිරීම මෙම චුල්ල ධනුද්ධර ජාතකයේ හෝ මනමේ වෘත්තාන්තයේ අතිශය තීරණාත්මක සංසිද්ධිය බව නිසැක ය.
නමුත් මනමේ කුමරුගේ එම මරණයෙන් පසු කුමරිය තමන් කළ අනුවණකම සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චාත්තාප වන බව ද නාඩගම් කරු සෘජුවම පවසා සිටීම ද විශේෂත්වයකි.

ඒ වැදි රජු මනමේ කුමරිය ගේ ගත බැඳි සියළුම අබරණ සේම ඉන රැඳි රෙදිකඩ ද රැගෙන ගඟෙන් පිහිනා පලා ගිය පසුවය. නමුත් මෙම සිදුවීමත් සමඟ ම වැදි රජු සොරකු මිස වනචාරී ගෝත්‍රිකයකු නොවන බව පසක් වනුයේ වනචාරීන් එබඳු ආභරණ පැළඳීමක් හෝ වටිනා දේ මූල්‍ය ඒකක ලෙස භාවිතා නොකරන බැවිනි.
ඉහත සඳහන් ජාතක කතාවට සේම මනමේ නාඩගමට එක් කොට ඇති සක් දෙවිඳුන් ගේ උපාය මාර්ගය මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාටකයෙන් මුළුමනින් ඉවත් කොට තිබේ. ඒ එම වෘත්තාන්තයේ ක්ෂාරය නාට්‍යෝචිත ලෙස සංයුක්තකරණයට ලක්කිරීමේ තාක්ෂණික උපාය මාර්ගයක් ලෙස ඔහු එය කරන්නට ඇත. එහෙත් ජාතක කතාවේ එන එම කොටස ඉවත නොදමන මනමේ නාඩගම් කරුවා ශක්‍රයා විසින් මනමේ කුමරියට කියා දුන් ඒ තිත්ත පාඩම මනමේ කුමරිය හා සිවල් වෙස් ගත් ශක්‍රයා අතර ඇති වන දෙබසක් ලෙසින් ගැමි වහරින් යුතුව මෙසේ දක්වා තිබේ.

මනමේ කුමරිය:
බඩ සා දුකට ගෙනියන මස් කැටිය ලොලා
බිම තියමින් ගඟ යන මසුට ලොබ වෙලා
උඩ යන උකුසු අරගෙන ගියෙ පසු නොබලා
දැන දැන මෝඩකම් කෙරුවද? තෝ හිවලා
සිවලා:
මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා
කැලේ උපන් වැදි රජකුට ලොබ බැඳලා
පැළඳි අබරණත් ගඟකින් එගොඩ කළා
මටත් වැඩිය අනුවණකම් බිසොත් කළා

ඉහත සඳහන් සියලු කරුණු මත ඒ සම්බන්ධයෙන් මගේ අදහස මතු වුයේ මේ වන විට සිරිලක සුපතල මනමේ පුරාවෘත්තය මුල්කොට ඉස්මතු විය යුතු මනමේ නාඩගම්කරුවා ගේ පෞරුෂය ඉතා ඛේදනීය ලෙස යටපත්ව ඇති බවකි.

තිලක් සේනාසිංහ

රසගඟුල