මෑතකදී ඉන්දීයාවේ හයිද්‍රාබාද්හි, මාධපූර් ප්‍රදේශයේදී, සයිබරාබාද් පොලිසියේ මිනිස් ජාවාරම් විරෝධී ඒකකය (The Anti-Human Trafficking Unit – AHTU) විසින් සිදු කරන ලද වැටලීමක් මඟින් මහා පරිමාණ සංවිධානාත්මක ගණිකා වෘත්තියක් අනාවරණය විය. BSR Super Luxury and Living හෝටලයේ දී සිදු කළ මෙම වැටලීමෙන් සංවිධායකයන් ඇතුළු නව දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ගනු ලැබූ උස්බෙකිස්තානය සහ තුර්ක්මෙනිස්තානය යන රටවලින් පැමිණි විදේශික කාන්තාවන් දෙදෙනෙකු සහ ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් පැමිණි කාන්තාවන් හත් දෙනෙකු ද මෙහි දී මුදවා ගනු ලැබීය. මෙම සිදුවීමෙන් හෙළිදරව් වූයේ සංවිධානාත්මක ගණිකා වෘත්තිය යනු එක් රටකට හෝ කලාපයකට සීමා වූ අපරාධයක් නොව, දේශ සීමා ඉක්මවා විහිදී යන පුළුල් ජාලයක් බවයි.
ශ්‍රී ලංකාව තුළ ද සංවිධානාත්මක ගණිකා වෘත්තිය සැලකිය යුතු මට්ටමකින් සිදු වන බව නොරහසකි. ගණිකා වෘත්තිය සඳහා අනුබල දීම, මහජන ස්ථානවල දී ඒ සඳහා සේවාදායකයන් සොයා යෑම සහ ගණිකා නිවාස පවත්වාගෙන යෑම වැනි සංවිධානාත්මක ක්‍රියාකාරකම් නීතියෙන් තහනම් කර ඇත. 1842 දී හඳුන්වා දුන් අයාල ආඥා පනත (Vagrants Ordinance) සහ 1889 දී හඳුන්වා දුන් ගණිකාවාස ආඥා පනත (Brothels Ordinance) වැනි පැරණි නීති මඟින් ගණිකා වෘත්තියට සම්බන්ධ අපරාධ නියාමනය කිරීමට උත්සාහ කරයි. දණ්ඩ නීති සංග්‍රහයේ 360 වන වගන්තිය මඟින් ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සැපයීම සහ මිනිස් ජාවාරම පිළිබඳ විධිවිධාන දක්වා ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය බොහෝ දුරට රහසිගතව ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික ගණිකා නිවාස වෙනුවට නවීන ‘ස්පා’, ‘සැඟවුණු සම්බාහන මධ්‍යස්ථාන’ සහ ජංගම ගණිකා සේවා (mobile prostitution) බිහි වී තිබේ. මෙම කණ්ඩායම් බොහෝ විට සමාජ මාධ්‍ය, අන්තර්ජාල වෙබ් අඩවි සහ සංකේතාත්මක පණිවිඩ යෙදවුම් (encrypted messaging apps) භාවිත කරමින් සේවාදායකයන් සමඟ සම්බන්ධතා පවත්වයි. පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් පවා මෙම ජාලයන් සමඟ සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වන අවස්ථා තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය බොහෝ දුරට රහසිගතව ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික ගණිකා නිවාස වෙනුවට නවීන ‘ස්පා’, ‘සැඟවුණු සම්බාහන මධ්‍යස්ථාන’ සහ ජංගම ගණිකා සේවා (mobile prostitution) බිහි වී තිබේ. මෙම කණ්ඩායම් බොහෝ විට සමාජ මාධ්‍ය, අන්තර්ජාල වෙබ් අඩවි සහ සංකේතාත්මක පණිවිඩ යෙදවුම් (encrypted messaging apps) භාවිත කරමින් සේවාදායකයන් සමඟ සම්බන්ධතා පවත්වයි. පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් පවා මෙම ජාලයන් සමඟ සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වන අවස්ථා තිබේ. මෙවැනි සංවිධානාත්මක ජාවාරම්වලට හසු වන කාන්තාවන් සහ ළමුන් බොහෝ විට බලහත්කාරයෙන් ලිංගික සේවයේ යෙදවෙන අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතළ තර්ජනයකට ලක් වී තිබේ.
නවීන තාක්ෂණය දියුණු වීමත් සමඟ, සංවිධානාත්මක ගණිකා වෘත්තියේ ස්වභාවය ඉතාමත් බරපතළ ආකාරයෙන් වෙනස් වී තිබේ. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය අද වන විට මිනිස් ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන මෙවලම් බවට පත් වී තිබේ.
මෙයින් එකක් වන්නේ අන්තර්ජාලය හරහා ඇති කොට ඇති වෙළෙඳ පොළයි. ගණිකා සේවය සඳහා සේවාදායකයන් සොයා ගැනීමට වෙබ් අඩවි, සංසද (forums) සහ සමාජ මාධ්‍ය වේදිකා (ෆේස්බුක්, ටික්ටොක්, X-ට්විටර් වැනි) භාවිත කරයි. ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ ගිණුම් (profiles) නිර්මාණය කර, ඒවා “ආකර්ෂණීය” රැකියා අවස්ථා ලෙස පෙන්වා දෙන අතර, එමඟින් වින්දිතයන් එක් රැස් කර ගනු ලබයි.
සමාජ මාධ්‍ය සහ ජංගම යෙදවුම් තවත් එක් ආකාරයකි. ස්මාර්ට්ෆෝන් සහ පණිවිඩ යෙදුම් (Messaging apps) මඟින් ජාවාරම්කරුවන්ට පහසුවෙන් සන්නිවේදනය කිරීමට සහ වින්දිතයන් පාලනය කිරීමට හැකි වී තිබේ. GPS තාක්ෂණය භාවිත කරමින් ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කරන අතර, ලිංගික ක්‍රියාවල වීඩියෝ හෝ ඡායාරූප මඟින් ඔවුන්ව බ්ලැක්මේල් කිරීම ද සිදු කෙරෙන අවස්ථා ඕනෑ තරම් වාර්තා වී තිබේ.
සංවිධානාත්මක ගණිකා වෘත්තිය සඳහා නුදුරු අනාගතයේ දී කෘත්‍රිම බුද්ධිය (AI) ද යොදා ගැනීමට ඇති ඉඩකඩ ඕනෑවටත් වඩා වැඩිය. ජනන කෘත්‍රිම බුද්ධිය (Generative AI) භාවිතයෙන් ව්‍යාජ පින්තූර සහ වීඩියෝ නිර්මාණය කිරීම, වින්දිතයන්ගේ මුහුණු සහ දත්ත යොදා ගනිමින් ඔවුන්ගේ අනන්‍යතාවන් වසන් කිරීම වැනි තත්ත්වයන් අනාගතයේ දී දකින්නට හැකි වනු ඇත.
තාක්ෂණික දියුණුව අපරාධකරුවන්ට වාසි සැලසුව ද, එයම ඔවුන්ට එරෙහිව සටන් කිරීමට ද පොලිසියට සහ විමර්ශන අංශවලට අවස්ථාව සලසා දී ඇත.
ඉන් එකක් වන්නේ ඩිජිටල් හෝඩුවාවන් සොයා යාමය. නීති බලධාරීන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ගේ ඩිජිටල් හෝඩුවාවන් නිරීක්ෂණය කරයි. වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ගිණුම්, ජංගම දුරකථන දත්ත සහ මූල්‍ය ගනුදෙනු විශ්ලේෂණය කිරීමෙන් ජාවාරම් ජාලවල ව්‍යුහය සහ එහි සාමාජිකයන් හඳුනා ගනී.
දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම බුද්ධිය ද මේ ජාවාරම් හඳුනා ගැනීමට උදව් වේ. විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීම සඳහා දත්ත විශ්ලේෂණ මෙවලම් (data analytics tools) සහ AI පද්ධති භාවිත කරයි. එමඟින් අපරාධ ජාලයන්හි සැඟවුණු සම්බන්ධතා, නැවත නැවත සිදුවන අපරාධ සහ මූල්‍ය ගනුදෙනුවල රටාවන් හඳුනාගත හැකිය.
වින්දිත කේන්ද්‍රීය ප්‍රවේශය තවත් ක්රමවේදයකි. බොහෝ විට වින්දිතයන්ට නීති අංශ පිළිබඳ බියක් පවතී. එම නිසා ඔවුන් සමඟ විශ්වාසය ගොඩනඟා, ඔවුන්ට සුරක්ෂිතභාවය තහවුරු කරමින් තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. වින්දිතයන්ගෙන් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන අපරාධකරුවන් හඳුනා ගැනීම පහසු වේ.
මෙම ජාවාරම්වලට ගොදුරු වන වින්දිතයන්ට ආරක්ෂාව සහ පුනරුත්ථාපනය ලබා දීම සඳහා මානුෂීය ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මෙම අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීම සඳහා බුද්ධිමත් විමර්ශන ක්‍රම, තාක්ෂණික සහාය සහ පුළුල් සමාජයීය දැනුවත්භාවය එක්ව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය.
මිනිස් ජාවාරම් සහ සංවිධානාත්මක ගණිකා වෘත්තිය අනාගතයේ දී තවදුරටත් සංකීර්ණ වනු ඇත. තාක්ෂණයේ දියුණුවත් සමඟ, අපරාධකරුවන් වඩාත් නිර්මාණශීලී වන්නට ඉඩ තිබේ. අන්තර්ජාලයේ ඉදිරි පරම්පරාව වන වෙබ් 3.0 තාක්ෂණය සහ Cryptocurrency හෙවත් ගුප්තකේතන මුදල් භාවිතයෙන් ගනුදෙනු කිරීම තුළින් අපරාධකරුවන්ට තව තවත් නිර්නාමිකභාවයක් (anonymity) ඇති කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ජාවාරම්කරුවන් භූගෝලීය වශයෙන් විවිධ ස්ථානවල සිට ක්‍රියාත්මක වන්නට ඉඩ ඇති අතර, ඔවුන්ගේ ජාලයන් ලොව පුරා විහිදී යනු ඇත. මෙය නීති අංශවලට දැවැන්ත අභියෝගයකි. මෑත කාලීන වාර්තාවලට අනුව, ලිංගික සූරාකෑමට ලක් වන ළමුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර, කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම බලහත්කාර ශ්‍රම ජාවාරමට ලක්වීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකිය.
හයිද්‍රාබාද්හි සිදු වූ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ සංවිධානාත්මක ගණිකා වෘත්තිය යනු එක් රටකට පමණක් සීමාවූ ගැටලුවක් නොවන බවයි. එය තාක්ෂණය, සංකීර්ණ මූල්‍ය ජාල සහ දේශ සීමා ඉක්මවා යන මිනිස් ජාවාරම් සමඟ බැඳී පවතී. මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලු රටවල් විසින් නවීන තාක්ෂණය භාවිත කරන විමර්ශන ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය. එසේම, මෙම ජාවාරම්වලට ගොදුරු වන වින්දිතයන්ට ආරක්ෂාව සහ පුනරුත්ථාපනය ලබා දීම සඳහා මානුෂීය ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මෙම අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීම සඳහා බුද්ධිමත් විමර්ශන ක්‍රම, තාක්ෂණික සහාය සහ පුළුල් සමාජයීය දැනුවත්භාවය එක්ව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය.
නිරංජන් චාමින්ද කරුණාතිලක