අතීත ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතියට අයත් ගෘහ උපකරණ අතුරින් නූතන සමාජය විසින් මුළුමනින්ම පාහේ බැහැර කොට ඇති මෙවලම් අතර පැදුරට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඒ සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ දෙනකු සිතනුයේ නූතන සමාජය විසින් යහන් මතට එළීම පිණිස නවීන ඇඳ ඇතිරිලි යොදා ගන්නා බැවින්, එම අවශ්‍යතාව ඉටු කර දෙන එතරම් සුමට නොවූ පැදුර ඉබේටම අභාවයට යන්නට ඇති බවකි.
යමකු කිසියම් ස්ථානයකින් ඉතා හදිසියේ අනපේක්ෂිත ලෙස ඉවත් වීමක් පිළිබඳව පැවසීමේ දී ‘පැදුරටත් නොකියා’ යන විශේෂණය අද ද යොදනු ලැබේ. එය සමාජයේ කෙතරම් බහුලව භාවිතයට ගැනෙනුයේ ද කිවහොත්, කිසියම් නිලයක්, තනතුරක් දරන්නකුගේ හදිසි ඉවත් වීමකදී වුව මෙම ‘පැදුරටත් නොකියා’ යන යෙදුම ජනමාධ්‍යවලින් පවා භාවිතා කොට ඇති අන්දම අපි දැක ඇත්තෙමු. ඉන් හැඟවෙනුයේ ‘පැදුර’ යන්නෙන් හුදෙක් නිදා ගැනීමට අමතරව වාසය කිරීම හා සම්බන්ධ අදහසක් ද පළ වන බවකි.
එහෙත්, අපගේ ජන සංස්කෘතියට අනුව පැදුර යනු එදිනෙදා භාවිතයට ගනු ලබන ගෘහ මෙවලමක් පමණක් නොවේ. එහි වැදගත්කම ඉන් බොහෝ ගැඹුරට දිව යන්නකි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සංක්ෂේප වශයෙන් දක්වන විට පෙනී යනුයේ අතීත ජන සමාජයේ ප්‍රධානතම ගෘහ මෙවලමක් ව පැවති පැදුර ‘වාසය’ යන්න සංකේතවත් කළ අපූරු වස්තුවක් බවය.
යමකු කිසියම් ස්ථානයකින් ඉතා හදිසියේ අනපේක්ෂිත ලෙස ඉවත් වීමක් පිළිබඳව පැවසීමේ දී ‘පැදුරටත් නොකියා’ යන විශේෂණය අද ද යොදනු ලැබේ. එය සමාජයේ කෙතරම් බහුලව භාවිතයට ගැනෙනුයේ ද කිවහොත්, කිසියම් නිලයක්, තනතුරක් දරන්නකුගේ හදිසි ඉවත් වීමකදී වුව මෙම ‘පැදුරටත් නොකියා’ යන යෙදුම ජනමාධ්‍යවලින් පවා භාවිතා කොට ඇති අන්දම අපි දැක ඇත්තෙමු. ඉන් හැඟවෙනුයේ ‘පැදුර’ යන්නෙන් හුදෙක් නිදා ගැනීමට අමතරව වාසය කිරීම හා සම්බන්ධ අදහසක් ද පළ වන බවකි. එසේම යමකු තවත් පාර්ශ්වයක් සමඟ පවත්වන සියලු සහසම්බන්ධතා අතහැරීම ‘කොට්ට පැදුරු අකුළාගෙන යාමක්’ සේ අද ද හඳුන්වනු ලැබේ. මෙය අද වන විට දේශපාලනික ව්‍යවහාරයන් සඳහා ද යොදනු ලබයි.
එමෙන්ම ගෘහ මෙවලමක් වශයෙන් පැදුරු භාවිතය ඉතා අවප්‍රමාණ වී ඇති වර්තමානයේදී, ‘නින්ද’ යන්න වඩාත් ප්‍රබල ලෙස අරුත් ගැන්වීම පිණිස ‘නිදි පැදුරේදී’ යන වදන ජනමාධ්‍යවල පවා භාවිතා වනු ද අපි කොතෙකුත් දැක ඇත්තෙමු.
අපගේ අතීත ගැමි සංස්කෘතියට අයත් ‘පිළේ පැදුර’ වර්තමානයේ ද ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව තිබේ. ඉන් හැඟවෙනුයේ සාම්ප්‍රදායික ගැමි නිවෙස්වල ඉදිරිපස කොටසේ ඇති, නිවැසියනට සේම අමුත්තන්ට වාඩිවීම පිණිසත් එම නිවසේ පුරුෂ පක්ෂය රාත්‍රියේ නිදා ගැනීම පිණිසත් භාවිතා කළ ‘පිළ’ නම් වේදිකාව මත එළා තිබූ පැදුරුය. කිසියම් ගැමි නිවෙසකට පැමිණෙන ආගන්තුකයකුගේ සිත තුළ එම නිවැසියන් සම්බන්ධ යම් තදබල නොපහන් බවක් පැවතියේ නම්, එම පිළේ පැදුර මත වාඩි නොවීමේ සිරිතක් අතීත නුවර කලාවියේ තිබූ බව, කලක් අනුරාධපුර රුවන්වැලි සෑ ආරාමයේ කැපකරුවකු ලෙස කටයුතු කළ ඩී. එම්. මුතුබණ්ඩා මහතා මා හා කීය. ඉන් පෙනී යන්නේ පිළේ පැදුර යනු සුහදතාවයේ ද සංකේතයක් වූ බවය.

මේ අතර, යුග දිවිය, ලිංගිකත්වය සහ මෙම පැදුර නම් මෙවලම අතර පැවති සබැඳියාව ද නූතන ජන මනසින් ගිලිහී ගොසිනි. අතීතයේ විවාහයක දී මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පාර්ශ්වයට දෙන දායාද අතරට පැදුරක් හා කොට්ටයක් අනිවාර්ය වූ බව පැවසේ. එමෙන්ම අතීත ජන සමාජයේ ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගය හැඳින්වූ ශිෂ්ට ව්‍යවහාරයක් ලෙස ‘පැදුරට එනවා’ යන්න ප්‍රචලිතව තිබිණි. එමෙන්ම කිසියම් බිරිඳක ඉතා ඉක්මනින් ගැබ් ගැනීමට සැමියකුට ඇති හැකියාව සම්බන්ධයෙන් විස්තර කෙරෙන ‘පැදුර පෑගුණත් ඇති’ යන්න වර්තමානයේ ද ඉඳහිට භාවිතා වේ. ඉන් ධ්වනිත වනුයේ හරිහැටි සැතපීමකින් තොරව වුව ද කාන්තාවක ගැබ් ගැනීම සිදුවීමට තරම් වන පුරුෂ ශක්තියක් එම පිරිමියා තුළ පවතින බවකි.
ඉහත සඳහන් අතීත ජන සමාජයේ දෛනික චර්යාවන් සඳහා යොදා ගැනුණු පැදුර, අතීතයේ ප්‍රජා සහභාගීත්ව වැඩසටහන් සඳහා ද බහුලව යෙදුණු බව නොරහසකි. විශේෂයෙන් ධර්ම දේශනා, දානමය පිංකම් ආදී ගෘහස්ථ ආගමික චාරිත්රවලදී ද රැස්ව සිටියවුන්ට වාඩිවීම පිණිස පැදුරු ගැනුණු අතර, ඇතැම් එවන් අවස්ථාවන් සඳහා පැදුරු මදි වූ විට අහලපහළ නිවෙස්වලින් ඒවා එකතු කිරීමක් ද දක්නට ලැබිණි. එමෙන්ම යමකු මියගිය පසු සිදු කෙරෙන මතක වස්ත්‍ර පූජාවේ සිට මතක බණ සහ දානමය පිංකම්වලදී එම පවුලේ සාමාජිකයන් සහ සෙසු ඥාතිමිත්‍රාදීන් පැදුරුවලම වාඩි වීමේ සිරිතක් එවක පැවති අතර, විශේෂයෙන් මළවුන් සඳහා පැන් වැඩීම ද පැදුරක් මතදී සිදු කිරීමේ සිරිතක් එකල පැවතිණි.
එමෙන්ම එලෙස මියගිය තැනැත්තා වෙනුවෙන් පවත්වනු ලබන මතක බණ සහ දානමාන කටයුතුවලට සමගාමීව සිදුවන ‘ප්‍රේත තටුව දීම’ නම් වන චාරිත්‍රයේ දී, එම තටුව මත තබන ආහාර පානවලට අමතරව පැදුරක් හා කොට්ටයක් තැබීම ද අනිවාර්යයෙන් සිදු කෙරේ. ඒ, මෙලොවින් නික්මුණු පසු කිනම් හෝ ස්ථානයක වාසය කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම සැලසීම වශයෙනි. ඊට අමතරව යක්ෂ ප්‍රේතාදී අමනුෂ්‍යයන් සඳහා තබන ප්‍රේත තටු සඳහා ද පැදුරක් හා කොට්ටයක් තැබීම බහුලව සිදුවන්නකි. එහි අදහස ද එයම බව පෙනෙයි.

මේ අතර ශාන්තිකර්ම සිදුකිරීම සඳහා පැදුරක අවශ්‍යතාව කොතෙක්ද යත්, පැදුරක් නොමැති ශාන්තිකර්මයක් නැති තරම්ය. රෝගියා සහ යකැදුරන් වාඩි වී හෝ වැතිරී සිටින ප්‍රදේශය, පැදුරක් එළා සාමාන්‍ය බිමෙන් වෙන් කර, එය චාරිත්‍රයට අදාළ ශුද්ධ වූ විශේෂ ස්ථානයක් බවට පත් කරයි. මෙය හින්දු අභිචාර විධිවල එන යාග මණ්ඩපය සංකේතවත් කරන්නකි.
සමහර ශාන්තිකර්මවලදී පැදුර යක්ෂයන්ට ආරාධනා කරන ආසනයක් ලෙස භාවිතා කරයි. රෝගියාගේ දුක්දෝෂ දුරු කිරීමට යක්ෂයාට ආරාධනා කරන්නේ මෙම පැදුරටයි. එමෙන්ම සමහර තොවිල්වලදී, යකැදුරන් විසින් මතුරන ලද ඖෂධ ආදිය ලබාදෙන්නේ ද මෙම පැදුර මත සිටින රෝගියාටයි.
එම නිසා පැදුර හුදෙක් උපාංගයක් නොව, ශාන්තිකර්මයේ පූජනීයත්වය, සංකේතාත්මක අර්ථය සහ සුව කිරීමේ ක්‍රියාවලිය හා සමීපව බැඳී ඇති අත්‍යවශ්‍ය අංගයක් බව පෙනේ. එමෙන්ම එය අමනුෂ්‍යයන් ප්‍රිය කරන මෙවලමක් බව ද පෙනේ.
වත්මන් සමාජයේ අවවහරක් සේ යෙදෙන ‘සමයම්’ සේම ‘කෝලම්’ යන්න අතීතයේ වැදගත් ජන සංස්කෘතිකාංගවලට අයත් වූ ඒවා බව පෙනෙයි. එමෙන්ම ඒවා නිගරුවට පත් වීම යටත්විජිත පාලන සමයේ සිට සිදු වූ බව පැහැදිලිය.

“සමයං පැදුර” යනු ලංකාවේ පහතරට ශාන්තිකර්මවලදී දක්නට ලැබෙන සුවිශේෂී අංගයකි. මෙය හුදෙක් සාමාන්‍ය පැදුරක් නොවේ. එය ශාන්තිකර්මයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස යොදා ගැනේ. දහඅට සන්නිය, මහසෝන් සමයම වැනි ශාන්තිකර්මවලදී, රෝගියා හෙවත් ආතුරයා වෙනුවෙන් දෙවියන්ට හෝ යක්ෂයන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා විශේෂිත පැදුරක් භාවිත කරයි. “සමයං පැදුර” යනු මෙයයි. මෙම පැදුර වියන විට එය ‘සමයම් කිරීම’ නමින් විශේෂ ක්‍රියාවලියකට ලක් කරයි.
සමයම් කිරීම සඳහා පැදුරක් සකස් කිරීම ආවාටගියාට කළ හැකි දෙයක් නොවේ. පන් උදුරා, වේළා, වියන දින පවා විශේෂිතව නියම කොට ඇති බව එම යාතුකර්ම සාහිත්‍යාංග විමසීමේ දී පෙනී යයි. ඒ සඳහා විශේෂ ගායනා සහ චාරිත්‍ර ඇත. “ඉරිදා දවසේ පන් උදුරන්නේ, සඳුදා දවසේ පන් වේළන්නේ, අඟහරුවාදා පැදුර පුරන්නේ, ගුරුදා සමයං පොළට ගෙනෙන්නේ” වශයෙන් සමහර ශාන්තිකර්මවලදී පැවසෙන්නේ එබැවිනි. එම ශාන්තිකර්මය අතරතුර දෙවියන්ට හෝ යක්ෂයන්ට බැල්ම හෙළීමට සහ පූජාවන් භාරගැනීමට සුදුසු පවිත්‍ර ස්ථානයක් ලෙස මෙම සමයං පැදුර සලකනු ලැබේ. එමෙන්ම ආතුරයා කිලිකුණුවලින් නිදහස් කොට, රෝගියාට සමනය වීමට සහ සුවය ලැබීමට සුදුසු පූජනීය ස්ථානයක් ලෙස මෙය භාවිත කරයි.
‘සමයම්’ යන්න අතීතයේ “දෘෂ්ටිය” යන්න හැඟවීම පිණිස යොදා ඇති බව පහළොස්වන සියවසේ ලියැවුණු ‘ලෝ වැඩ සඟරාව’ වැනි කෘතිවලින් පෙනේ. ඒ අනුව ශාන්තිකර්මවලදී සමයං පැදුර යනු ඊට අධිමානුෂීය දෘෂ්ටියක් යොමු කිරීම බව පෙනේ.

මේ අනුව, “සමයං පැදුර” යනු හුදු උපකරණයකට වඩා, ශාන්තිකර්මයක කලාත්මක, සංස්කෘතික සහ ජන ආගමික වටිනාකමකින් යුත් විශේෂ වස්තුවක් බව පැහැදිලිය.
ප්‍රධාන වශයෙන් යක්ෂ දෝෂවලින් පෙළෙන රෝගියෙකු සුවපත් කිරීම සඳහා සිදු කරන දහඅට සන්නිය වැනි ශාන්තිකර්මවලදී, යකැදුරා හෝ ඒ සඳහා විශේෂයෙන් සැරසූ ශිල්පියෙකු පැදුරක් මත වැතිරී, පැදුරේ උපත ගැන කවි ගායනා කරමින් නැටුම් ඉදිරිපත් කරනු දක්නට ලැබේ. මෙය සමහර විට රෝගියාගේ තත්ත්වය හා දෝෂය හා සම්බන්ධ සංකේතාත්මක අර්ථයක් ඇති බවක් ද පෙනේ. ‘පැදුරේ දැපවිල්ල’ යනු තොවිල් යාතුකර්මවල ඇති අවදානම් සහගත ක්‍රියාවක් බව පොදු පිළිගැනීමකි. සමහර විට ‘මරුවා නැටීම’ වැනි අංගයන් ද පැදුරේ දැපවිල්ලෙන් පසුව සිදු කරන බව පෙනේ. එහිදී ආතුරයා හෙවත් රෝගියා ගොදුරු කර ගැනීමට එන මරු යකාගෙන් රෝගියා ගලවා ගැනීම නාට්‍යානුසාරයෙන් සංකේතාත්මකව ඉදිරිපත් කෙරේ. පැදුරෙහි දැපවිල්ල, නැතහොත් පැදුර හා සම්බන්ධ පුරාණෝක්ති කවි ගායනා කිරීමෙන්, පැදුරේ උපත සහ එය සෑදීමට යොදාගත් ස්වභාවික සම්පත් ගැන වර්ණනා කෙරේ. මෙහිදී පැදුර සෑදීම සඳහා භාවිතා කරන පන් පැළවීම, එය වැඩීම සහ අවසානයේ පැදුරක් ලෙස විවීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය විස්තර වෙයි. මෙම කවි සහ නැටුම් මගින් ශාන්තිකර්මයේ ස්වභාවිකත්වය සහ ජීවය හා බැඳුණු සංකේතාත්මක අර්ථය ඉස්මතු කරයි. සොකරි නාටකයේ එන මෙම පන් නෙළීම හා සම්බන්ධ නර්තනය, අද “පන් විලේ සොකරි” නමින් ජනප්‍රිය නර්තනාංගයක් බවට පත්ව තිබේ. ඒ, එම නර්තන අංගය නාගරික ඉහළ මධ්‍යම පාන්තික දැරියන්ගේ ද ප්‍රියතම රංගනයක් බවට පත් වීමෙනි.

දුම්බර පැදුර, පන් පැදුරක් මෙන් සරල නිමැවුමක් නොවේ. එහි ඇති විශේෂත්වය නම්, වියන ලද සංකීර්ණ රටා සහ වර්ණ යොදා ගැනීමයි. මෙම රටා නිර්මාණය කරන්නේ සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රමවේදයන්ට අනුව බව නිසැකය. මහනුවර රාජධානි සමයේ රජවාසලට සේවාවන් සැපයීම පිණිස ප්‍රවර්ධනය වූ මෙම ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන අතර, කින්නර නම් ජන කොටසට අයත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මෙම කර්මාන්තයේ නියැළෙන බව සඳහන් වේ.
ඉහත සඳහන් ශාන්තිකර්ම සඳහා පන් පැදුරු මිස දුම්බර පැදුරු යොදා නොගන්නා බවට විශ්වාසයක් ද අප ජන සමාජයේ තිබේ. දුම්බර පැදුරු යනු අපේ රටේ ශිල්පීය හැකියාවන් සහ සම්ප්‍රදායන් විදහා දක්වන ඉතා සුවිශේෂී කලා නිර්මාණයකි. මෙය ප්‍රධාන වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ, දුම්බර කඳුකර ප්‍රදේශයට ආවේණික වූ පැදුරු වර්ගයකි.
දුම්බර පැදුර, පන් පැදුරක් මෙන් සරල නිමැවුමක් නොවේ. එහි ඇති විශේෂත්වය නම්, වියන ලද සංකීර්ණ රටා සහ වර්ණ යොදා ගැනීමයි. මෙම රටා නිර්මාණය කරන්නේ සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රමවේදයන්ට අනුව බව නිසැකය. මහනුවර රාජධානි සමයේ රජවාසලට සේවාවන් සැපයීම පිණිස ප්‍රවර්ධනය වූ මෙම ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන අතර, කින්නර නම් ජන කොටසට අයත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මෙම කර්මාන්තයේ නියැළෙන බව සඳහන් වේ.

දුම්බර පැදුරු වියමන සඳහා පන් වෙනුවට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ හණ කෙඳි සහ නියඳ කෙඳිය. මෙම ශාකවලින් ලබා ගන්නා කෙඳි, ඒවායේ ස්වභාවික වර්ණයට අමතරව විවිධ වර්ණ ගන්වනු ලබයි. මෙම වර්ණ ලබා ගන්නේ ද ස්වභාවික අමුද්‍රව්‍යවලින් වීම විශේෂත්වයකි. එහි දී ඔවුන් රතුපාට දැව සහ කොරකහකොළවලින් ද, කහපාට වෙනිවැල්ගැට හෝ අමු කහවලින් ද, කොළපාට කනේරු කොළ, ලුණුමිදෙල්ල, කැලෑ කොහොඹවලින් ද, කළුපාට අරළු, බුළු කොටා තම්බා ගැනීමෙන් ද ලබා ගන්නා බව පැවසේ. කෙසේ වෙතත්, දුම්බර පැදුර අදටත් ලංකාවේ අද්විතීය කලා ශිල්පයක් පිළිබඳ සන්නාමයක් වන අතර, එය සංචාරකයන් අතර ද ඉතා ජනප්‍රිය වී තිබේ. එමෙන්ම 2021 වසරේ සිට දුම්බර කළාල රටා ලෝක සංස්කෘතික උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කළ පසු මෙම පිළිගැනීම වඩාත් තීව්ර වී තිබේ. නමුත් ශාන්තිකර්ම සඳහා මේවා යොදා නොගන්නේ, යුනෙස්කෝව කෙසේ වෙතත්, අපේ රටේ අමනුෂ්‍ය ප්‍රජාව එවන් සුවිශේෂ කලාත්මක අංග ප්‍රිය නොකරන නිසා යැයි මට සිතෙයි.
නමුත් මීට මඳ කලකට ඉහත, අගනුවර ප්‍රධාන පාසලක බාලාංශ පන්තිවලට උගන්වන ගුරු මහත්මියක මා හා කීවේ, තම පන්තියේ ශිෂ්‍යාවන්ගෙන් දෙතුන් දෙනෙකු හැරුණු කොට අන් සියලුම ශිෂ්‍යාවන් පැදුරක් කිසිදා දැක නොතිබූ බවය. ඒ අනුව මෙම සාම්ප්‍රදායික ජන විශ්වාසවල මතු පැවැත්ම කෙසේ දැයි සිතා ගන්නට අපට පුළුවන.
තිලක් සේනාසිංහ (සිළුමිණ පුවත් පත)