කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරය සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 28 දක්වා දින ආවරණය වන පරිදි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. නිල සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ බෙදා හැරුණු මෙම නිවේදනයට හේතු වූයේ අධික වර්ෂාව නිසා කොළඹ නගරය ජලයෙන් යටවීමේ තර්ජනයයි. හදිසි අවස්ථා වාර්තා කිරීම සඳහා පදිංචිකරුවන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංක ප්‍රසිද්ධියට පත් කළ අතර, පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රවේශම් වන ලෙසයි. ඒ අතරේ ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් ද නිකුත් කොට තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය. එහි ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් කොළඹ බොහෝ පදිංචිකරුවන් සඳහා, මෙම නිවේදන පුදුමයට කාරණා වන්නේ නැත. එය අසාමාන්‍ය ස්වාභාවික සිදුවීමක ලකුණක් නොව, දශක ගණනාවක් තිස්සේ පවතින ගැටලුවකට හුරු පුරුදු ප්‍රතිචාරයකි. සැබවින්ම “ආපදා සතියක්” ප්‍රකාශයට පත් කිරීම සැබෑ විසඳුම නොවේ; සැබෑ අභියෝගය පවතින්නේ සාමාන්‍ය වර්ෂාවකට පවා ඔරොත්තු දිය හැකි නිසි ජල අපවහන හා ජල කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීම තුළ ය.
කොළඹ නගරයේ වර්ෂාපතන ගැටලුවට හේතුව අධික වර්ෂාව පමණක්ම නොවේ. එය මූලික වශයෙන් නාගරික සැලසුම්කරණයේ සහ කළමනාකරණයේ අර්බුදයකි. ඇළ මාර්ග, තෙත් බිම් සහ ජලය රඳවා තබා ගැනීමේ ද්‍රෝණිවලින් සමන්විත වූ නගරයේ ස්වාභාවික ජල අපවහන ජාලය, වසර ගණනාවක් තිස්සේ නොසලකා හැරීම සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් දුර්වල වී තිබේ. ඓතිහාසිකව අතිරික්ත වැසි ජලය ගලා බැසීම සිදු වූ කොලොන්නාව සහ කෝට්ටේ වගුරු බිම්, නිවාස සහ කර්මාන්ත සඳහා ගොඩකර තිබේ. ජලය බැස යාම පිණිස ඇති ප්‍රධාන ඇළ මාර්ග නිතරම කසල, රොන් මඩ සහ අනවසර ඉදිකිරීම්වලින් අවහිර වී ඇත.

සෑම වසරකම මේ කාලය වන විට, ශ්‍රී ලංකාව ඔක්තෝබර් සහ නොවැම්බර් මාස පුරා පවතින දෙවන අන්තර්-මෝසම් සමයට පිවිසෙයි. මෙම මාසවල ලක්ෂණය වන්නේ ගිගුරුම් සහ අකුණු සමඟ ඇති වන කෙටි නමුත් දැඩි වර්ෂාපතනයන් ය. මෙම වර්ෂාව වියළි මාසවලින් සහනයක් ගෙන ආවත්, එය අගනුවරට ගෙන එන්නේ අවුල් සහගත තත්ත්වයකි. මිනිත්තු කිහිපයක් ඇතුළත වීදි ජලයෙන් යටවෙයි. වාහන ගමනාගමනයට බාධා ඇති වෙයි. පදිකයෝ දණහිස් දක්වා ගිලී ජලයේ ගමන් කරති. මෙම දසුන දෛනික පුරුද්දක් බවට පත්ව ඇති අතර, “අධික වර්ෂා අනතුරු ඇඟවීම” යන වාක්‍ය ඛණ්ඩය බොහෝ විට දැඩි තදබදයකින් යුතු සහ ජලයෙන් යටවූ මාර්ගවල ඡායාරූප සමඟින් දිග හැරේ. මේ තත්ත්වය “නගරබද ගල ගැලීම්” (urban flooding) නමින් හඳුන්වනු ලබයි.
කොළඹ නගරයේ වර්ෂාපතන ගැටලුවට හේතුව අධික වර්ෂාව පමණක්ම නොවේ. එය මූලික වශයෙන් නාගරික සැලසුම්කරණයේ සහ කළමනාකරණයේ අර්බුදයකි. ඇළ මාර්ග, තෙත් බිම් සහ ජලය රඳවා තබා ගැනීමේ ද්‍රෝණිවලින් සමන්විත වූ නගරයේ ස්වාභාවික ජල අපවහන ජාලය, වසර ගණනාවක් තිස්සේ නොසලකා හැරීම සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් දුර්වල වී තිබේ. ඓතිහාසිකව අතිරික්ත වැසි ජලය ගලා බැසීම සිදු වූ කොලොන්නාව සහ කෝට්ටේ වගුරු බිම්, නිවාස සහ කර්මාන්ත සඳහා ගොඩකර තිබේ. ජලය බැස යාම පිණිස ඇති ප්‍රධාන ඇළ මාර්ග නිතරම කසල, රොන් මඩ සහ අනවසර ඉදිකිරීම්වලින් අවහිර වී ඇත. මේ අතර, නගරය දිනෙන් දින පුළුල් වීමත්, ඒ සමගම බොහෝ බිම්, තාර සහ කොන්ක්‍රීට්වලින් ආවරණය වෙමින් පවතින නිසා වැසි ජලය පොළොවට කාන්දු වීමට ඉඩක් ඉතිරි වන්නේ නැත. ඉතිරිව ඇත්තේ, සැලසුමට වඩා බොහෝ සෙයින් වර්ධනය වී ඇති ජනගහනයට සහ යටිතල පහසුකම් පද්ධතියට සේවය කිරීමට වෙහෙසෙන අධි බරට ලක්වූ ජල අපවහන ජාලයකි.
මේ තත්ත්වය කොළඹ නගරයට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. මුම්බායි සිට ඩකා දක්වා දකුණු ආසියාව පුරා මේ තත්ත්වයෙහි වෙනසක් නැත. ඒ පෙර නොවූ විරූ වර්ෂාපතනයක් නිසා නොව, ජලය නිවැරදි ආකාරයෙන් ගලා බැසීමට අවශ්‍ය කරන පහසුකම් නොමැති කම නිසා මේ නගර කුඩා වර්ෂාවකට පවා ජලයෙන් යට වී යයි. මුම්බායිහි, දශක ගණනාවක සැලසුම් නොකළ නාගරික වර්ධනය නිසා, සියවසක් පැරණි බ්‍රිතාන්‍ය ජල අපවහන පද්ධතියට එය දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. කලකට පෙර අතිරික්ත වැසි ජලය සඳහා ස්වාභාවික පිටවීමක් වූ මීති ගඟ දැන් අපද්‍රව්‍ය හා අනවසර ඉදිකිරීම්වලින් අවහිර වී ඇත. චෙන්නායිහි වගුරු බිම් ගොඩ කිරීම නිසා සෑම වැසි සමයකදීම එය ජලයෙන් යට වෙයි. ඩකා නගරය ද නාගරික ව්‍යාප්තිය සඳහා එහි පහත් බිම් කැප කර ඇති අතර, මධ්‍යස්ථ වර්ෂාවකින් පසුව පවා ජලය බැස යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. පාකිස්තානයේ කරච්චිය ද ඒ හා සමාන ඉරණමකට මුහුණ දෙමින් සිටී. එහි ස්වාභාවික ජල අපවහනය, එකතු නොකළ කසළ හා අනවසර ගොඩනැගිලිවලින් අවහිර වී ඇති අතර, නේපාලයේ කත්මණ්ඩු නගරය සැලසුම් නොකළ මාර්ග සහ දුර්වල නඩත්තු කටයුතු හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයන් සමඟ නිරන්තරව අර්බුදවලට මුහුණ දෙමින් තිබේ. නව යටිතල පහසුකම් අඛණ්ඩව ගොඩනඟන දිල්ලි නගරයේ පවා, ඉදිකිරීම් සුන්බුන් සහ අවහිර වූ කාණු පද්ධති නිතිපතා මෝසම් වැසි සමයේ දී ඉමහත් අර්බුදවලට මුහුණ දෙයි.
නැවත නැවත සිදුවන මේ ගංවතුර තත්ත්වයට හේතු වී ඇති කාරණය දකුණු ආසියාවේ නගර දියුණු වී ඇති ආකාරය සමඟ ගැඹුරින් බැඳී තිබේ. ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන්, ජලය බැස යාමට ඉඩකඩ තිබුණු පහත් බිම් ගොඩ කිරීම නිසා ජලයට බැස යාමට ඉඩක් නොමැති වී තිබේ. ස්වාභාවිකව ජලය රඳවා තබා ගැනීමේ කලාප ලෙස තිබූ තෙත් බිම් සහ ඇතැම් අවස්ථාවල දී කුඹුරු පවා නිවාස සහ වාණිජ කටයුතු සඳහා ඉඩ සැලසීමට පුරවා තිබේ. කාණු පද්ධති ද කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අවහිර වී තිබේ. එමෙන්ම ජල කළමනාකරණය සඳහා තනි ආයතනයක් සම්පූර්ණ වගකීමක් ගන්නේ ද නැත. නගර සභා, ප්‍රාදේශීය සභා සහ පරිසර ආයතන බොහෝ විට හුදකලාව ක්‍රියාත්මක වන අතර, සම්පූර්ණ ගැටලුව කොටස් වශයෙන් තැන් තැන්වල ඉතිරි වීම සිදු වෙයි. කාණු පිටාර ගලා යන්නේ වර්ෂාපතනය අසාමාන්‍ය නිසා නොව, අපවහන ජල පද්ධති නිසි පරිදි නඩත්තු නොවීම සහ කාලයට ගැළපෙන පරිදි ජල පද්ධති නවීකරණය නොවීම නිසාය.
ගැටලුව තවත් උග්‍ර කරන්නේ වර්ෂාපතනයේ වර්ධනය වන අනපේක්ෂිත බවයි. දේශගුණික විපර්යාසයන් මෝසම් කාලයේ රිද්මය වෙනස් කර ඇති අතර, කෙටි නමුත් වඩාත් දැඩි වර්ෂාපතන පතිත වීම් මේ නිසා සිදුවෙයි. දින කිහිපයක් පුරා එක දිගට පවතින ස්ථාවර වැසි වෙනුවට, නගර දැන් අත්විඳින්නේ සතියක් පුරා ඇද හැලීමට තිබූ ජල ප්‍රමාණය පැයක් තුළ ලබා දෙන හදිසි වර්ෂාපතනයන්ය. එවැනි වර්ෂාපතන හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයන් සඳහා ගොඩනගා ඇති ජල අපවහන පද්ධති ඉක්මනින් පිටාර ගැලීම දක්නට හැකිය. මේ නිසා ජලයෙන් යටවූ මංසන්ධි, හානියට පත් මාර්ග සහ දෛනික ජීවනෝපායයන් ද ගැටලුවලට ලක් වෙයි.
සංවර්ධිත ලෝකයේ නගර ද වර්ෂාපතනය නිසා ගැටලුවලට මුහුණ දුන්න ද තත්ත්වය අප වැනි රටවලට වඩා වෙනස්ය. ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල නාගරික ප්‍රදේශ ද අධික වර්ෂාපතනයට මුහුණ දෙන නමුත්, එම නගර අඩපණ වන්නේ කලාතුරකිනි. මෙයට හේතුව මෙම නගරවලට අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා නොව, ඔවුන් එය වඩා හොඳින් කළමනාකරණය කිරීමයි. එම රටවල ජල අපවහනය නාගරික සැලසුම්කරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකනු ලබන අතර, නගරය වර්ධනය වන විට යටිතල පහසුකම් ද යාවත්කාලීන වේ. නවීන නගරවල පිටාර ජලය සහ අපද්‍රව්‍ය සඳහා වෙනම පද්ධති භාවිත කරන අතර, එවිට ජලය පිටාර ගැලීමේ අවදානම අඩු කරයි. නඩත්තු කටයුතු සැලසුම් කිරීමට සහ වර්ෂා සමයයන් සඳහා සූදානම් වීමට ඔවුන් ගංවතුර ආකෘතිකරණය, සංවේදක සහ පුරෝකථන දත්ත මත තීරණ ගැනීම සිදු කරයි. පොදු දැනුවත් කිරීම සහ දැඩි රෙගුලාසි නිසා අනවසර කසල බැහැර කිරීම් සහ පිටාර ජලය බැස යාම පිණිස වූ පහත් බිම් ගොඩ කිරීම් සිදු වන්නේ නැත. මෑත වසරවල දී ජර්මනියේ සහ එක්සත් ජනපදයේ සිදු වූවාක් මෙන් හදිසි ගංවතුර ඇති වූ විට, ප්‍රතිචාර පද්ධති ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන අතර සියල්ල හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම සිදු වෙයි.
ඊට සාපේක්ෂව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ගංවතුර, සමස්තයක් ලෙසම වසරකට කිහිප වතාවක් “චාරිත්‍රයක් ලෙස” සිදුවන තත්ත්වයක් බවට පත්ව තිබේ. ආපදා ප්‍රකාශන, වැලි කොට්ට බෙදා හැරීම හෝ තාවකාලික කාණු පිරිසිදු කිරීම අවශ්‍ය නමුත් මේවා සියල්ල මතුපිටින් සිදු කරන ඒවා ය. ඒවායෙන් සැබෑ ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැත. සිදුවන්නේ රෝගයට නොව රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම පමණි. කොළඹ “ආපදා සතියක්” ප්‍රකාශයට පත් කිරීම මගින් මහජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගත්තද, එයින් කාලයක් තිස්සේ පුරුද්දට මෙන් සිදුවන ගල ගැලීම්වල වෙනසක් ඇති කරන්නේ නැත. ආපදා සතිය නිසා මහජනතාව අතර යම්කිසි සූදානම් තත්ත්වයක් ඇති වන නමුත් ඊළඟ මාසයේ හෝ ඊළඟ වසරේ එකම ගැටලුව නැවත ඇතිවීම වැළැක්වීමට සැලකිය යුතු තරම් දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැත. කොළඹ නගරයට සැබවින්ම අවශ්‍ය වන්නේ හදිසි ආපදා කළමනාකරණ කාල පරිච්ඡේදයක් නොව, දිගුකාලීන, මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද නාගරික ජල සැලැස්මකි.
එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුත්තේ කොළඹ නගරයේ ස්වාභාවික ජල පද්ධති හඳුනා ගැනීම ඔස්සේය. නගරය ගොඩනගා ඇත්තේ එහි තෙත් බිම් සහ ඇළ මාර්ග සමඟ ඒකාබද්ධව ජීවත්වීම පිණිස මිස ඒවාට එරෙහිව යාමට නොවේ. සෑම කුණාටුවකින් පසු සිදුවන හානිය අඛණ්ඩව අලුත්වැඩියා කිරීමට වඩා මෙම ස්වාභාවික පද්ධති පුනර්ජීවනය කිරීම වඩා ලාභදායී වේ. තෙත් බිම් වැසි ජලය උරා ගන්නා සජීවී ජලාශ ලෙස ප්‍රතිස්ථාපනය කර ආරක්ෂා කළ හැකිය. ඇළ මාර්ග ජාලයන් මෝසම් මාසවලදී පමණක් නොව, වසර පුරා පිරිසිදු කර, පුළුල් කර, නඩත්තු කළ හැකිය. නාගරික සංවර්ධන ප්‍රතිපත්ති මගින් ජල මාර්ග වටා ආරක්ෂක කලාප බලාත්මක කළ යුතු අතර, නගරයේ ස්වාභාවික කාණු අවහිර කරන ආකාරයේ අනවසර ඉදිකිරීම් වැළැක්විය යුතුය.
නිසි අපද්‍රව්‍ය කළමනාකරණය ද ඒ හා සමානව වැදගත් ය. කොළඹ නගරය ජලයෙන් යට වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා ඉදිකිරීම් සුන්බුන් මගින් අවහිර වූ කාණු ය. නිතිපතා පිරිසිදු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ අනවසරයෙන් කසල බැහැර කිරීම සඳහා දැඩි දඬුවම් දීම මගින් ජල අපවහන මාර්ග අවහිර නොවී තබා ගත හැකිය. ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වේ; ජල අපවහන නඩත්තුව, මාර්ග ඉදිකිරීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීම හුදකලා පද්ධති ලෙස ක්‍රියා කළ නොහැකිය. නාගරික ජල කළමනාකරණය සඳහා තනි, මනා ලෙස කළමනාකරණය කරන ලද අධිකාරියක ස්ථාවරත්වය, වගවීම සහ කාලෝචිත මැදිහත්වීම සහතික කරනු ඇත.
එමෙන්ම මහජන සහභාගීත්වය නොසලකා හැරිය යුතු නැත. නාගරික ඔරොත්තු දීමේ හැකියාව රජයයන් විසින් පමණක් ගොඩනඟනු නොලැබේ. නිවැසියන්ට වගකීමෙන් යුතුව ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, අසල්වැසි කාණු පද්ධති පිරිසිදුව තබා ගැනීම සහ දේශීය ගංවතුර වැළැක්වීමේ මුලපිරීම් සඳහා සහාය වීම මගින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. කුණු දැමීම හෝ මාර්ග අයිනේ කාණුවක් අවහිර කිරීම වැනි දෛනික ක්‍රියාවන් නගරය පුරා ඇති අර්බුදයක් උග්‍ර කළ හැකි ආකාරය පිළිබඳ ජනතාවට අවබෝධ කර දීමට දැනුවත් කිරීමේ ව්‍යාපාර ද උපකාරී වේ.
වර්ෂාව යනු සෑම විටම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ කොටසක් වී ඇත, එය කෘෂිකර්මාන්තය, සංස්කෘතිය සහ දෛනික ජීවිතය හැඩගස්වා තිබේ. එය ජන ජීවිතය අඩපණ වීමේ සහ පිරිහීමේ සංකේතයක් බවට පත් නොවිය යුතුය. අවධානය යොමු කරන්නේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමේ සිට ඒවා වැළැක්වීම දක්වා නම්, කොළඹ නගරයට නිරන්තරයෙන් සිදුවන මේ අපහසුතාව, තිරසාර වර්ධනයක් සඳහා අවස්ථාවක් බවට පරිවර්තනය කළ හැකිය. ඵලදායී ජල අපවහන පද්ධතියක් සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම, නගරයේ තෙත් බිම් ප්‍රතිස්ථාපනය කිරීම සහ දේශගුණයට අනුවර්තනය වූ යටිතල පහසුකම් ගොඩනැගීම, ඕනෑම තාවකාලික ආපදා ප්‍රකාශයකට වඩා පුරවැසියන් ආරක්ෂා කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
එබැවින්, කොළඹ හදිසි ආපදා කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කිරීම “වාර්ෂික චාරිත්‍රයක්” ලෙස නොව, යම් නිශ්චිත වැඩ පිළිවෙළක් ඇති කිරීමේ මූලාරම්භයක් බවට පත්කර ගත යුතුය. සෑම පියවරක්ම දිගුකාලීන නාගරික ප්‍රතිසංස්කරණයක් පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. කෙටිකාලීන හදිසි ප්‍රතිචාර මගින් සැලසුම්කරණයේ වසර ගණනාවක නොසලකා හැරීම පියවා ගත නොහැකිය. නගරයට සැබවින්ම අවශ්‍ය වන්නේ වර්ෂාපතනයට ප්‍රතිචාර දැක්වීමට වඩා එය සමඟ ජීවත් වීමය. වර්ෂාව තර්ජනයක් වෙනුවට සම්පතක් බවට පත් කරන පද්ධති සැලසුම් කිරීමෙනි.
වර්ෂාව යනු සෑම විටම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ කොටසක් වී ඇත, එය කෘෂිකර්මාන්තය, සංස්කෘතිය සහ දෛනික ජීවිතය හැඩගස්වා තිබේ. එය ජන ජීවිතය අඩපණ වීමේ සහ පිරිහීමේ සංකේතයක් බවට පත් නොවිය යුතුය. අවධානය යොමු කරන්නේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමේ සිට ඒවා වැළැක්වීම දක්වා නම්, කොළඹ නගරයට නිරන්තරයෙන් සිදුවන මේ අපහසුතාව, තිරසාර වර්ධනයක් සඳහා අවස්ථාවක් බවට පරිවර්තනය කළ හැකිය. ඵලදායී ජල අපවහන පද්ධතියක් සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම, නගරයේ තෙත් බිම් ප්‍රතිස්ථාපනය කිරීම සහ දේශගුණයට අනුවර්තනය වූ යටිතල පහසුකම් ගොඩනැගීම, ඕනෑම තාවකාලික ආපදා ප්‍රකාශයකට වඩා පුරවැසියන් ආරක්ෂා කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
වර්ෂාව යනු සතුරකු නොවේ. එය එසේ සලකන්නේ නම් එයින් හැඟෙන්නේ නගර සංවර්ධන සැලසුම්වල ඇති දුර්වලතාවන්ය. බොහෝ දකුණු ආසියානු අගනගරයන් මෙන් කොළඹ නගරයේ අභියෝගය වන්නේ භීතියෙන් නොව, පූර්ව දැක්මෙන් එම දුර්වලතා සමඟ ගැටීමයි. ගැටලුව වන්නේ ඊළඟ කුණාටුව පැමිණෙන්නේ කවදාද යන්න නොවේ. එය නිසැකවම පැමිණෙනු ඇත. නමුත් කළ යුත්තේ වරින් වර හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම නොව තිරසාර ලෙස මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් වීමය. පිළිතුර ඇත්තේ කාලගුණය තුළ නොව, ඒ සඳහා සැලසුම් කිරීමට ඇති අභිලාෂය තුළ ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක