24 දා සිට බැංකු කාඩ්වලින් බස්වල යන්න පුළුවන්ද?

බස් රථවල ගමන් කිරීමේ දී මෙතෙක් පැවති මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ ක්‍රමය හැරුණු විට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව බැංකු කාඩ් පත් භාවිතයෙන් ද එම කාර්යය කර ගැනීමේ පහසුකම ලබන 24 වැනිදා සිට හිමි වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේය. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන අංශයේ සිදුවන සැලකිය යුතු මට්ටමේ ඩිජිටල් පරිවර්තනයක් ලෙස සඳහන් කළ හැකිය. මෙම තීරණය, රටේ ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බස් රථ ඔස්සේ දිනපතා සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා මගී ජනතාවට වඩාත් පහසුවෙන්, ආරක්ෂිතව ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව මෙයින් ලැබෙන බව පැවසිය යුතුය.

ලෝකයේ බොහෝ දියුණු රටවල මගී ප්‍රවාහනයේ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා මේ ක්‍රමය සාර්ථකව භාවිත වන බැවින්, මෙය ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගත වීමේ මූලික පියවරක් ලෙස හැඳින්විය හැකිය. දශක ගණනාවක් තිස්සේ පැවති ගාස්තු වංචා, ඉතිරි මුදල් නොලැබීම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම් වැනි ගැටලු විසඳෙනු ඇතැයි ද, කොන්දොස්තරවරුන් විසින් බස් හිමියාට සිදු කරන වංචාවන් ද මේ නිසා අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සේවාව හඳුන්වා දීමත් සමග දැනට ඇතැම් බස් සේවාවල පවතින ‘ටොප්-අප්’ කාඩ්පත්වල (අවශ්‍ය පරිදි මුදල් ගෙවා වටිනාකම ඉහළ නංවා ගත හැකි කාඩ් පත්) අවශ්‍යතාව මෙම නව ක්‍රමවේදයත් සමග අහෝසි වී යයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල මගී ප්‍රවාහනයේ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා මේ ක්‍රමය සාර්ථකව භාවිත වන බැවින්, මෙය ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගත වීමේ මූලික පියවරක් ලෙස හැඳින්විය හැකිය. දශක ගණනාවක් තිස්සේ පැවති ගාස්තු වංචා, ඉතිරි මුදල් නොලැබීම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම් වැනි ගැටලු විසඳෙනු ඇතැයි ද, කොන්දොස්තරවරුන් විසින් බස් හිමියාට සිදු කරන වංචාවන් ද මේ නිසා අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සේවාව හඳුන්වා දීමත් සමග දැනට ඇතැම් බස් සේවාවල පවතින ‘ටොප්-අප්’ කාඩ්පත්වල (අවශ්‍ය පරිදි මුදල් ගෙවා වටිනාකම ඉහළ නංවා ගත හැකි කාඩ් පත්) අවශ්‍යතාව මෙම නව ක්‍රමවේදයත් සමග අහෝසි වී යයි. මේ සේවාව පාසල් සිසුන් සඳහා මෙන්ම සාමාන්‍ය මගීන් සඳහා ද ඇතැම් පෞද්ගලික බස් සේවාවන්වල දැනටමත් ක්‍රියාත්මක වේ.

කොන්දොස්තරවරුන්ට නිසි පුහුණුව ලබා දිය යුතුය

ඇතැම් විදෙස් රටවල බස් රථයේ සවිකොට ඇති යන්ත්‍රයක් මගින් ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ හැකියාව පැවතිය ද ශ්‍රී ලංකාව තුළ අනුගමනය කෙරෙන්නේ එම ක්‍රමය නොවන බව පෙනී යයි. ආරම්භයේ දී මේ ක්‍රමය සෑම බස් රථයකම භාවිත කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. රජය පවසන පරිදි බොහෝ බස් රථවල කොන්දොස්තරවරුන් අත පවතින ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නවීන යන්ත්‍ර, බැංක් කාඩ් පත් සමග භාවිත කිරීමට හැකි වන පරිදි යාවත්කාලීන කළ හැකිය. එබැවින් මුලින්ම මේ පහසුකම අත්විඳිය හැක්කේ දැනටමත් එවැනි යන්ත්‍ර සහිත බස්වල පමණි. පසුව අනෙකුත් බස් රථ ද මේ පහසුකම මගීන්ට ලබා දීම සඳහා පියවර ගත යුතුව ඇති බව එම නිවේදනයෙන් අවබෝධ කර ගත හැකිය. කෙසේ වෙතත් දැනට බස් රථවල භාවිත වන යන්ත්‍රවල කාඩ් පත් භාවිත කිරීමේ පහසුකම තිබේ ද නැද්ද යන්න පිළිබඳ නිවැරදි තොරතුරක් සොයාගන්නට නොමැත. ඇතැම් විට පවතින ඒවායේ දෘඪාංග කොටස් යාවත්කාලීන කිරීමට ද සිදු වනු ඇත. සෙසු බස් රථවලට ද මේ සේවාව ව්‍යාප්ත කරන්නට නම් කාඩ් පත් භාවිත කළ හැකි ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර ආනයනය කිරීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, මෙම වැඩිදියුණු කිරීමේ සාර්ථකත්වය බස් රථ තුළ ඇති ආධාරක යටිතල පහසුකම් මත දැඩි ලෙස රඳා පවතී.

ආරම්භක අවධියේ දී කාඩ් පත් මගින් ගෙවීම් සිදු කළ හැක්කේ දැනටමත් මේ පහසුකම ඇති යන්ත්‍ර සහිත බස් රථවලට පමණක් බැවින් මෙම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාප්තියේ විෂමතාවක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මෙවැනි යන්ත්‍ර නොමැති බස් රථ ද බොහෝ පවතින බැවින් එක් මාර්ගයක කාඩ් පත් මගින් ගෙවීමේ පහසුකම් භුක්ති විඳීමට හැකි වන අතර වෙනත් මාර්ගයක මුදල් ගෙවා ගමන් කිරීමට සිදුවනු ඇත.

ටොප්-අප් කාඩ් පත් සඳහා වූ යන්ත්‍ර

මෙම විෂමතාව නිසා, මගියා බස් රථයට නැගීමට පෙර එම බස් රථය, කාඩ් පත් ගෙවීම් කළ හැකි බස් රථයක් ද නැද්ද යන්න, එයට නැගීමට පෙර දැන ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ඉස්මතු වේ. යම් මගියකු මාරු මුදල් නොමැතිව පැමිණ, කාඩ් පතකින් ගෙවීම් සිදු කර ගමන් කිරීමේ අරමුණින් පැමිණිය හැකිය. අදාළ බස් රථයේ එම පහසුකම නොමැති බව කලින් දැන ගැනීමට නොහැකි වුවහොත්, එකී මගියා එවැනි බස් රථයකට නැගීමෙන් පසු අපහසුතාවකට පත් විය හැකිය. එබැවින් වෙළෙඳ සල්වල සඳහන් දැන්වීම් පුවරු මෙන් බස් රථවල ද කාඩ් පත් භාවිත කිරීමේ පහසුකම තිබේ ද නැද්ද යන්න දැන ගත හැකි පරිදි පුවරු සකස් කිරීම වැදගත්ය. ඊට අමතරව යම් මාර්ගයක ගමන් කරන බස් රථවල තොරතුරු යම්කිසි පද්ධතියක ගබඩා කොට ඒවා ජංගම දුරකතන ඇප් එකක් ඔස්සේ පරීක්ෂා කිරීමේ පහසුකමක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බැලිය යුතුය. මන්ද මේ වන විට අප රටේ දුම්රිය සේවාව සඳහා සකස් කළ එවැනි ඇප් පවතින බැවිනි.

කාඩ් පත් කියවීමේ උපාංගවල ගුණාත්මකභාවය ද වැදගත් වේ. ඉතාම සුදුසු වන්නේ, වැඩි දියුණු කළ සෑම බස් රථයකම, කාඩ් පත් කියවීමට සහ වලංගු ප්‍රවේශපත්‍ර ක්ෂණිකව නිකුත් කිරීමට හැකියාව ඇති නිසි ලෙස ඒකාබද්ධ කළ යන්ත්‍රයක් තිබීමය. ඇතැම් බස් රථවලට අර්ධ වශයෙන් වැඩි දියුණු කිරීම් හෝ යල් පැන ගිය දෘඪාංග ලැබුණහොත්, ගෙවීම් සැකසීමේ දී අසාර්ථක වීම් සිදු විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණය, දූවිලි, කම්පනය, මේ යන්ත්‍ර නැවත ඉක්මනින් ආරෝපණය කර ගැනීමේ හැකියාව ආදී කාරණා පිළිබඳව ද සලකා බැලිය යුතුය.

ආරක්ෂාව තවත් තීරණාත්මක සාධකයකි. කාඩ් පත් මගින් ගෙවීම් සිදු කිරීමේ දී, මුදල් මගින් ගනුදෙනු කරන විට ඇතිවන අවදානම අඩු කරන නමුත්, ඉලෙක්ට්‍රොනික වංචා සම්බන්ධ නව ගැටලු මතු විය හැකිය. ජාත්‍යන්තර තත්ත්වය සැලකිල්ලට ගෙන බැලුවහොත් කාඩ් පත් මගින් ගෙවීමේ දී එම කාඩ් පත්වල ඇති තොරතුරු වංචනික ලෙස සොරකම් කිරීම සම්බන්ධ තොරතුරු වාර්තා වී තිබේ. එවැනි දුර්වලතා ඇති නොවන ආකාරයෙන් ආරක්ෂක පද්ධතියක් ඇති කිරීම ද මෙහි දී වැදගත්ය.

කාඩ් පත් මගින් ගෙවිය හැකිද යන්න බස් රථවල සඳහන් කිරීම වැදගත්ය

ඇතැම් වෙළෙඳ සල්වල දී යන්ත්‍ර මගින් කාඩ් පත් වරක් දෙවරක් ප්‍රතික්ෂේප වන අවස්ථාවන් ද දැකිය හැකිය. එවැනි අවස්ථාවල දී වෙළෙඳ සල් සේවකයන්ට ඒ සම්බන්ධ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ. එවැනි පුහුණුවක් බස් කොන්දොස්තරවරුන්ට ලබා දීම ද ඉතා වැදගත්ය. මන්ද කාඩ් පතකින් ගෙවීම් සිදු කරන සෑම මගියෙකුටම මෙවැනි ගැටලු සම්බන්ධව දැනුමක් නොමැති බැවින් එවැනි අවස්ථාවල දී වඩාත් ඉවසීමෙන් මගීන් සමග කටයුතු කිරීමේ වැදගත්කම ද ඉස්මතු වෙයි. එසේ සඳහන් කරන්නට හේතුව වන්නේ අපේ රටේ මගීන් සහ කොන්දොස්තරවරුන් අතර නිතරම පාහේ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බැවිනි. යම්කිසි කොන්දොස්තරවරයකු නොසැලකිලිමත් ලෙස කාඩ් පත් සමග ගනුදෙනු කරන්නේ යැයි හැඟුණහොත් මගීන්ට තමන්ගේ මූල්‍ය දත්ත අවදානමට ලක් වීමේ සැක පහළ විය හැකිය. බොහෝ කොන්දොස්තරවරු හුරුපුරුදුව සිටින්නේ මුදල් මත කෙරෙන ගනුදෙනුවලට පමණක් බැවින් ඔවුන්ට මේ සඳහා මනා පුහුණුවක් මෙන්ම හික්මීමක් ද ලබා දීමේ වැදගත්කම ප්‍රමුඛස්ථානයක ලා සැලකිය යුතුය.

ජාත්‍යන්තර දෙස බැලුවහොත් ලන්ඩනයේ කාඩ් පත් භාවිතය පොදු බස් රථවලට හඳුන්වා දුන්නේ අදින් දශකයකට පමණ පෙරය. එය තවමත් ඉතා සාර්ථකව භාවිත වේ. එය සාර්ථක වන්නට හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ දියුණු මට්ටමේ යන්ත්‍ර භාවිතය, ඒ සම්බන්ධව පවතින නීතිමය තත්ත්වයන් පැහැදිලිව නිර්වචනය කර තිබීම සහ උපාංගවල විශ්වසනීයත්වයයි. අසල්වැසි රටවල් නිදසුන් ලෙස ගතහොත්, ඩකා සහ ඉස්තන්බුල් වැනි නගර තුළ ද ප්‍රවාහන කටයුතු සඳහා බැංකු කාඩ් පත් භාවිත කෙරේ.

අනාගතය යනු මුදල් රහිත ආර්ථිකය පවතින ලෝකයක් වන බැවින් මෙය සාර්ථක කර ගැනීම අත්‍යවශ්‍යම කාරණයකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන, පහසුකම් සැලසීම රජයේ වගකීමක් වන්නේය. එසේ නොමැතිව තීරණ පමණක් ගැනීමෙන් ඵලදායක ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකිය.

දැනට ක්‍රියාත්මක ටොප්-අප් කාඩ් පත

එහෙත්, මෙම මුලපිරීමේ පූර්ණ සාර්ථකත්වය රඳා පවතින්නේ එක හා සමාන ලෙස සෑම බස් රථයකම මෙය ක්‍රියාත්මක කිරීම, පුළුල් මහජන දැනුවත්භාවය, ක්‍රියාකාරී උපකරණ ලබා ගත හැකි වීම, බස් කාර්ය මණ්ඩලයට නිසි පුහුණුව, සහ ශක්තිමත් සයිබර් ආරක්ෂණ පියවර මතය. මෙම ක්ෂේත්‍රවලට අවශ්‍ය අවධානය යොමු කළහොත්, ශ්‍රී ලංකාවට ඉක්මනින් වඩාත් තාක්‍ෂණිකව දියුණු ජාතීන්ට සැසඳිය හැකි පොදු ප්‍රවාහනය සඳහා ඩිජිටල් වශයෙන් ගෙවීමේ පද්ධතියක් හිමි කර ගත හැකිය. එසේ නොවුවහොත්, පද්ධතිය අකර්මණ්‍ය විය හැකි අතර ප්‍රවාහන සේවාවන් අවුල් සහගත තත්ත්වයකට පත් විය හැකිය. අප මෙසේ පවසන්නේ වත්මන් රජය ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘතීන් මේ වනවිටත් සාර්ථකත්වයක් නොපෙන්වන පසුබිමක් පවතින නිසාය.

කෙසේ වුවත්, අනාගතය යනු මුදල් රහිත ආර්ථිකය පවතින ලෝකයක් වන බැවින් මෙය සාර්ථක කර ගැනීම අත්‍යවශ්‍යම කාරණයකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන, පහසුකම් සැලසීම රජයේ වගකීමක් වන්නේය. එසේ නොමැතිව තීරණ පමණක් ගැනීමෙන් ඵලදායක ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර