ඉරානයේ උත්තරීතර නායකයා කලාපීය යුද්ධයක් ගැන අනතුරු අඟවයි


ඇමරිකාව මෙයට මාසයකට පමණ පෙර වෙනිසියුලාවට හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළා සේම ඉදිරි දිනවල ඉරානයටත් ප්‍රහාරයක් එල්ල කරාවිද යන්න ගැන ජාත්‍යන්තර දේශපාලනය පිලිබඳව උනන්දුව දක්වන බොහෝ පාර්ශ්ව තුළ මේ කාලයේ ලොකු කුතුහලයක් තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනවල මේ පිලිබඳ යම් යම් ඉඟි කිරීම් කර තිබෙනු ද දැකිය හැකි විය.

මේ කුතුහලය වඩාත් කුළුගැන්වූ සිද්ධියක් වූයේ ඇමරිකාව ඔවුන්ගේ නාවුක බලඇණියට අයත් ප්‍රබලම යුද නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් යුද නැව ඉරානය ආසන්න කලාපයේ ස්ථානගත කිරීමයි.
ප්‍රහාරක ගුවන් යානා ද රැගෙන යා හැකි නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් යුද නැව ලෝකයේම ප්‍රබලම යුද නැව්වලින් එකකි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

එහි ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර 60 ක් පමණ රැගෙන යා හැකි බව සඳහන් වේ.
අඩි 1,100 ක පමණ දිගින් යුතු මෙහි 5,600 ක පමණ කාර්ය මණ්ඩලයක් කටයුතු කරයි.

මේ අතර අරාබි මුහුද කලාපයේ ඇමරිකානු හමුදා ක්‍රියාත්මක බවක් මෙයට ටික දිනකට පෙර ඇමරිකානු හමුදා අංශ ප්‍රකාශ කර තිබිණි.

ඇමරිකාව මේ ආකාරයෙන් තර්ජනාත්මක ලෙස කටයුතු කරමින් සිටිය දී ඉරානය පැත්තෙන් ද තර්ජනාත්මක ප්‍රකාශ කෙරෙමින් තිබෙනු දැක ගන්නට ලැබේ. ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් එය කලාපීය යුද්ධයක ආරම්භය වනු ඇති බවක් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමෙනී මෙයට දින කිහිපයකට පෙර පවසා තිබිණි.

ඇමරිකාව මේ ආකාරයෙන් තර්ජනාත්මක ලෙස කටයුතු කරමින් සිටිය දී ඉරානය පැත්තෙන් ද තර්ජනාත්මක ප්‍රකාශ කෙරෙමින් තිබෙනු දැක ගන්නට ලැබේ. ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් එය කලාපීය යුද්ධයක ආරම්භය වනු ඇති බවක් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමෙනී මෙයට දින කිහිපයකට පෙර පවසා තිබිණි.

“මෙවර ඔවුන් යුද්ධයක් ආරම්භ කළහොත් එය කලාපීය යුද්ධයක් වනු ඇති බව ඇමරිකාව දැනගත යුතුයි” කමේනී ප්‍රකාශ කර තිබේ. මෙයින් ඔහු අදහස් කරන්නේ එම යුද්ධය ඇමරිකාවට සහ ඉරානයට පමණක් සීමා වූ යුද්ධයක් නොවනු ඇති බව යි.

මෙම දෙරට අතර මෙවැනි උණුසුම් ආතතියක් ගොඩ නැගෙමින් ඇත්තේ ඇයි?

ඉරානය සහ ඇමරිකාව යනු දශක ගණනාවක සිටම පසමිතුරු රාජ්‍යයන් දෙකක් බව රහසක් නොවේ. 1978-79 කාලයේ සිදු වූ ඉරාන විප්ලවයට පෙර මෙම දෙරට අතර සමීප හිත්වත්කමක් තිබුණත් විප්ලවයෙන් පසු ඉරානයේ බලයට පත් වූයේ ඇමරිකානු විරෝධී ආගමික නායකයන් ය. ඊට පෙර රට පාලනය කරන ලද්දේ රජවරුන් විසිනි.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමෙනී

මේ ආකාරයෙන් ඇමරිකානු විරෝධීන් ඉරානයේ බලයට පත් වීම මෙම කලාපය තුළ ඇමරිකාවේ වුවමනාවන්ට තර්ජනයක් බවට පත් විය. එය ඊශ්‍රායලය වැනි ඇමරිකාවේ මිතුරු පාර්ශ්වවල ආරක්ෂාවට ද තර්ජනයක් වූයේය.

ඇමරිකාව සහ ඉරානය අතර මේ ආකාරයෙන් කාලයක් තිස්සේ පවතින ගැටුම වර්තමානයේ වඩාත්ම කරකැවෙමින් ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වටා බව පැවසිය හැකිය.

ඉරානය කාලයක සිටම න්‍යෂ්ටික වැඩසටහනක් ඉදිරියට ගෙන යමින් සිටින අතර ඇමරිකාව, ඊශ්‍රායලය වැනි පාර්ශ්ව මේ ගැන යම් ආතතියකින් පසු වේ. ඔවුන්ගේ ආතතියට හේතු වී ඇත්තේ මෙම වැඩසටහන හරහා ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කරගනු ඇතැයි යන සැකය යි.

තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ බලශක්ති උත්පාදනය වැනි “අහිංසක කාරණා” බව ඉරානය පවසයි. නමුත් ඇමරිකාව, ඊශ්‍රායලය ආදී පාර්ශ්වවලට ඒ ගැන එතරම් විශ්වාසයක් ඇති බවක් නොපෙනේ.ඉරානය ඉහත කී න්‍යෂ්ටික වැඩසටහන හරහා යම් හෙයකින් න්‍යෂ්ටික අවි අත්පත් කරගතහොත් ඒ තුළින් ඉරානයේ යුද ශක්තිය විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ බලශක්ති උත්පාදනය වැනි “අහිංසක කාරණා” බව ඉරානය පවසයි. නමුත් ඇමරිකාව, ඊශ්‍රායලය ආදී පාර්ශ්වවලට ඒ ගැන එතරම් විශ්වාසයක් ඇති බවක් නොපෙනේ.

ඉරානය ඉහත කී න්‍යෂ්ටික වැඩසටහන හරහා යම් හෙයකින් න්‍යෂ්ටික අවි අත්පත් කරගතහොත් ඒ තුළින් ඉරානයේ යුද ශක්තිය විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එය ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවලට අමතර ආරක්ෂක තර්ජනයක් එල්ල කරන්නකි. ඉරානය සමග “සෙල්ලම් කිරීම” එවිට වඩාත් අපහසු වනු ඇත.
මෙයින් මැද පෙරදිග කලාපය තුළ ඇමරිකාව, ඊශ්‍රායලය වැනි පාර්ශ්වවල බලයට ලොකු අභියෝගයක් එල්ල වනු ඇති බව ඉතා පැහැදිලි ය.

මෙම තත්වය තුළ ඇමරිකා/ ඊශ්‍රායල හවුල ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව කාලයක සිටම දැඩි අවධානයකින් සිටින අතර ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වලක්වා ගැනීමට මහත් උත්සාහයක් ගනිමින් සිටියි. මෙම කාරණය නිසා ඉරානයට එරෙහිව ඇමරිකාව බොහෝ සම්බාධක පවා පනවා ඇති බව රහසක් නොවේ.

මෙකී පසුබිම තුළ ඉරානය සමග අලුත් න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමට ඇමරිකාව බලාපොරොත්තු වෙයි. ඒ සඳහා මේ වනවිට මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බවක් ද සඳහන් වේ.

ඇමරිකාව ඉරානයට හමුදා මැදිහත් වීමක් පිලිබඳ අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමක් තුළ යි. ඇමරිකාවට වාසිදායක ගිවිසුමක් සඳහා ඉරානය යොමු කරගැනීම මෙහි යටි අරමුණ විය හැකිය.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට අදාලව කර තිබූ ප්‍රකාශයක් ලොකු අවධානයක් දිනා ගත්තේය. ඔහු පවසා තිබුණේ ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ගයක් සිදු නොවීමට නම් ඉරානය කාරණා දෙකක් ඉටු කළ යුතු බැව් තමා ඉරානයට දැනුම් දුන් බව යි.

ඔහු සඳහන් කර තිබූ පළමු කාරණය ඉරානය න්‍යෂ්ටික අවි පිලිබඳ අදහස අත් හැරීමයි. දෙවැන්න ඉරාන රජයට එරෙහිව විරෝධතා දක්වන විරෝධතාකරුවන් මරා දැමීම නතර කිරීම යි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉරාන රජයට එරෙහිව රට පුරා විශාල විරෝධතා රැල්ලක් ආරම්භ වූ අතර එය එරට පාලකයන්ට දැඩි හිසරදයක් ඇති කරන්නට සමත් විය. විරෝධතාවලට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වූයේ ජීවන වියදම වේගයෙන් ඉහළ යාමයි.

ඇමරිකාව මෙහි දී විරෝධතාකරුවන්ට සහය දක්වන්නට විය.

කෙසේ වෙතත් විරෝධතා උත්සන්න වෙද්දී ඉරාන පාලකයන් පවසන්නට වූයේ මේ පිටුපස ඉරානයට එරෙහි බලවේග සිටින බව ය. එසේ චෝදනා කරමින් ඔවුහු විරෝධතා මර්ධනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළෝය. එම තත්වය තුළ විරෝධතාකරුවන් 25,000 ක් පමණ මරණයට පත්ව ඇති බව ඇතැම් මානව හිමිකම් සංවිධාන සඳහන් කර තිබේ.

සැබැවින්ම ඇමරිකාව ඉරානය තුළ හමුදා මැදිහත් වීමක් පිලිබඳව මුලින්ම තර්ජනාත්මක ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ විරෝධතාකරුවන් මෙලෙස මිය යාමට පටන්ගත් අවස්ථාවේ යි.

නමුත් මේ වනවිට එම තර්ජන බොහෝ දුරට න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර එල්ලවන බවක් දැකිය හැකි වේ.

තත්වය මෙසේ තිබියදී ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් නෞකාව දෙසට පියාසර කරමින් තිබූ ඉරාන ඩ්‍රෝන යානාවකට ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානයක් විසින් වෙඩි තබනු ලැබ තිබිණි. ඇමරිකානු හමුදා අංශ පවසා තිබුණේ ඩ්‍රෝන යානය ආක්‍රමණශීලී ආකාරයෙන් නෞකාව දෙසට පියාසර කරමින් තිබූ බව යි.කෙසේ වෙතත් මෙය ඔත්තු බැලීම සඳහා ඉරානය යොදවා තිබූ ඩ්‍රෝන යානයක් විය හැකි බව ද පෙනේ.

න්‍යෂ්ටික ගිවිසුමක් පිලිබඳ මූලික සාකච්ඡා ආරම්භ වී ඇතත් තවමත් එම සාකච්ඡා සිදුවන්නේ මැදිහත්කාර තුන්වැනි පාර්ශ්ව හරහා බව වාර්තා වේ. ඇමරිකා- ඉරාන නියෝජිතයන් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කිරීමක් තවම සිදු වී නොමැත.

තත්වය මෙසේ තිබියදී ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් නෞකාව දෙසට පියාසර කරමින් තිබූ ඉරාන ඩ්‍රෝන යානාවකට ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානයක් විසින් වෙඩි තබනු ලැබ තිබිණි. ඇමරිකානු හමුදා අංශ පවසා තිබුණේ ඩ්‍රෝන යානය ආක්‍රමණශීලී ආකාරයෙන් නෞකාව දෙසට පියාසර කරමින් තිබූ බව යි.

කෙසේ වෙතත් මෙය ඔත්තු බැලීම සඳහා ඉරානය යොදවා තිබූ ඩ්‍රෝන යානයක් විය හැකි බව ද පෙනේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර