දෙව්මැදුරෙන් වෙදගෙදරට වැඩම කළ “පාත මාලේ” මිනිසුන්ගේ වික්‍රම ෆොන්සේකා වෙද පියතුමා

vinivida
සාමාන්‍යයෙන් කතෝලික පල්ලියක් තුළ අප දකින්නේ සුදු ලෝගුවකින් සැරසී, අල්තාරය මත දේව පූජාව පවත්වන සාම්ප්‍රදායික පූජකවරයෙකි. එහෙත් රාගම, පේරලන්ද පාරේ අංක 34 දරන නිවසට ඇතුළු වන ඕනෑම අයෙකුට මුණගැසුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පූජකවරයෙකි. කළු පැහැති ජව සම්පන්න රැවුලකින් මුහුණ සරසා ගත්, දෑත් පුරා ශාකසාර තෙල් බෙහෙත් සුවඳ රැඳුණු ඒ අපූරු මිනිසා, ලංකාවේ කිතුනු පූජක ප්‍රජාව තුළ සිටි තුළ සිටි ආයුර්වේද ශාස්ත්‍රීය සුදුසුකම් ලත්, රජයේ ලියාපදිංචි එකම ආයුර්වේද වෛද්‍යවරයා වූ ගරු වික්‍රම ෆොන්සේකා පියතුමා ය.

ජාඇල තුඩැල්ලේ උපත ලැබූ වික්‍රම ෆොන්සේකා තරුණයා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාළ සිසුවෙකි. ආනන්දයේ අධ්‍යාපනය තුළ ගැබ්ව තිබූ දේශීයත්වය සහ ජාතික අභිමානය ඔහුගේ ආත්මයට තදින්ම කිඳා බැස තිබුණි. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා උපාධිධාරියෙකු වූ මුත්, ඔහුගේ ශිරා තුළ දිව ගියේ පාරම්පරික වෙදකමේ උරුමයයි. ඔහුගේ මවගේ සීයා දක්ෂ සර්වාංග වෙද මහතෙකු වූ අතර, පියා ද අසල්වැසියන්ගේ තුවාලවලට නොමිලේ අත්බෙහෙත් කළ මානවහිතවාදියෙකි.

විශ්වවිද්‍යාල සමයේ වැළඳුණු රෝගාබාධයක් අතරතුර ආත්මීය මානසික සුවය පතා බයිබලය කියවීමෙන් ලැබූ ආධ්‍යාත්මික පිබිදීම, විද්‍යා උපාධිධාරී මේ තරුණයා පූජකවරයෙකු දක්වා ගෙන යාමට සමත් විය. 1991 දී පූජකවරය ලැබූ උන්වහන්සේ, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ද, දෙවියන් වහන්සේගේ සැබෑ “කැඳවීම” ඇත්තේ ආයතනික පල්ලිය තුළ නොව පීඩිත ජනතාව අතර බව උන්වහන්සේට වැටහිණි.

වික්‍රම ෆොන්සේකා පියතුමා නිතරම වත්මන් ආගමික ව්‍යුහය තුළ පවතින “මුදල් මත පදනම් වූ” ක්‍රමය සහ මතුපිටින් පෙන්වන ආගමික භක්තිය හෙවත් “පරිසිවරුන්ගේ දහම” දැඩි ලෙස විවේචනය කළේය. ශුද්ධ වූ බයිබලයේ සඳහන් අන්දමට පරිසිවරුන් යනු යුදෙව් සමාජයේ මධ්‍යම පාන්තික ජනතාව නියෝජනය කළ, ආගමික වත්පිළිවෙත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ කණ්ඩායමකි. මොවුන් සාමාන්‍ය ජනතාව සමඟ සමීපව කටයුතු කළ අතර, ඒ නිසාම ජනතාවගේ ගෞරවය සහ ඉහළ සමාජ බලයක් දිනා සිටියහ.

එනිසාම වික්‍රම ෆොන්සේකා පියතුමා නිතරම වත්මන් ආගමික ව්‍යුහය තුළ පවතින “මුදල් මත පදනම් වූ” ක්‍රමය සහ මතුපිටින් පෙන්වන ආගමික භක්තිය හෙවත් “පරිසිවරුන්ගේ දහම” දැඩි ලෙස විවේචනය කළේය. ශුද්ධ වූ බයිබලයේ සඳහන් අන්දමට පරිසිවරුන් යනු යුදෙව් සමාජයේ මධ්‍යම පාන්තික ජනතාව නියෝජනය කළ, ආගමික වත්පිළිවෙත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ කණ්ඩායමකි. මොවුන් සාමාන්‍ය ජනතාව සමඟ සමීපව කටයුතු කළ අතර, ඒ නිසාම ජනතාවගේ ගෞරවය සහ ඉහළ සමාජ බලයක් දිනා සිටියහ.

සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාවේ මොවුන්ට තිබූ බලය අඩු වුවද, ජනතා සහයෝගය නිසා ඔවුන් බලවත් විය. ලිඛිත දේව වචනය මෙන්ම පරම්පරාගතව පැමිණි මුඛ පරම්පරාගත චාරිත්‍ර (Oral Traditions) දේව වචනයට සමානව ඔවුහු පිළිගත්හ. නමුදු මොවුන්ගේ ස්ථාවරයන් සැබෑ දේව වචනය ඉක්මවා ගිය අතර, ඔවුන් වරින් වර ජේසුස් වහන්සේ සමඟ ගැටුම්වලට පැමිණි පුවත් මතෙව් 23 වැනි පරිච්ඡේදයේ සඳහන් “ඔබට වන විපතක මහත!” ආදී ශුද්ධ වූ බයිබල් පාඨවලින් පැහැදිලි වේ. වික්‍රම ෆොන්සේකා පියතුමා මෙම තත්ත්වය වර්තමාන ආගමික සංස්ථාව හා සසඳන්නට වූයේ ඇතැමුන් තුළ බලවත් රිදුම් ඇති කරමිනි. තමන් සතු ඔසු බලයෙන් සමාජයේ සෑම තරාතිරමකම ජනතාවගේ රිදුම් සමනය කළ වික්‍රම පියතුමන්ගේ මෙම ක්‍රියාවන් හා ඊට තුඩු දුන් හේතූන් ඉතා ගැඹුරින් විමසා බැලිය යුතු වේ.

“මාව පෝෂණය කළේ මේ මිනිස්සු. ඒ නිසා මිනිසුන්ට සිදුවන දුක් පීඩා, අසාධාරණකම් වෙනුවෙන් නැගී සිටීමට මට විශාල යුතුකමක් තියෙනවා,” උන්වහන්සේ නිතර පැවසූහ.

උන්වහන්සේගේ අසිරිමත් දිවිය හා බැඳුණු මානවහිතවාදී බවට හොඳම සාක්ෂිය හමුවන්නේ 2004 වසරේ පැමිණි සුනාමි ව්‍යසනයත් සමඟිනි. කළුතර දියලගොඩ සේවය කරන සමයේ, ආහාර පාන පවා අමතක කර දින ගණනාවක් තිස්සේ තුවාලකරුවන්ට මැහුම් දමමින් උන්වහන්සේ වෙදකම් කළහ. එපමණක් නොව, පියාගෙන් උරුම වූ ඉඩම පවා විකුණා ඉන් ලැබුණු මුදලින් සුනාමියෙන් අසරණ වූවන්ට නිවාස 55ක් ඉදිකර දීම පිණිස කුඹුරුගොඩ ප්‍රදේශයෙන් නිවසක් මිලට ගෙන දීමටත් තරම් උන්වහන්සේ පරිත්‍යාගශීලී වූහ.

බොහෝ පූජකවරුන් තමන්ට ලැබෙන නිවාඩු කාලය විනෝදය සඳහා යොදා ගනිද්දී, වික්‍රම පියතුමා එම කාලය වැය කළේ ආයුර්වේද ශාස්ත්‍රය හැදෑරීමටයි. දේශීය වෙදකම සහ පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ හසළ දැනුමක් ලැබූ උන්වහන්සේ, අස්ථි භග්නයකදී මුලින් යොදන විසුරුම් පත්තු සහ පසුව යොදන සන්ධාන පත්තු තමන්ම සකස් කරමින් රෝගීන් සුවපත් කළේය. “ෆාදර් කෙනෙක් කරන්න ඕනෑ වැඩ ද ඕවා?” යනුවෙන් පල්ලිය ඇතුළතින්ම විවේචන එල්ල වෙද්දී, උන්වහන්සේ පෙන්වා දුන්නේ සැබෑ ආගම පවතින්නේ මිනිසාගේ වේදනාව නිවීමට මිස ලෝගුවක රැඳී සිටීමට නොවන බවයි.

වික්‍රම ෆොන්සේකා පියතුමා අසාධාරණයට එරෙහිව පාරට බැසීමට කිසිවිටෙකත් පැකිළුණේ නැත. පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහි ධීවර අරගලයේදීත්, පීඩිත ගොවි ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ ඉදිරියෙන්ම පෙනී සිටියේය. සුඛෝපභෝගී වාහන පසුපස හඹා යන සමාජයක, තම පරණ තැපැල් ‘නයින්ටි’ යතුරුපැදිය හෝ ත්‍රිරෝද රථය තමන්ම පදවාගෙන ගිය මේ පියතුමා, පල්ලියේ ලැගුම්ගෙය තුළ වෙනම කෝකියකු තබා නොගත් අතර උන්වහන්සේ ජීවත් වූයේ ගමේ මිනිසුන් ගෙනැවිත් දෙන බත් කටකිනි. ඒ අනුව උන්වහන්සේ නියත ලෙසම පල්ලිය “පාත මාලයේ මිනිසුන්” වෙත සමීප කළ සැබෑ විප්ලවවාදියෙකි.

වික්‍රම ෆොන්සේකා පියතුමා අසාධාරණයට එරෙහිව පාරට බැසීමට කිසිවිටෙකත් පැකිළුණේ නැත. පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහි ධීවර අරගලයේදීත්, පීඩිත ගොවි ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ ඉදිරියෙන්ම පෙනී සිටියේය. සුඛෝපභෝගී වාහන පසුපස හඹා යන සමාජයක, තම පරණ තැපැල් ‘නයින්ටි’ යතුරුපැදිය හෝ ත්‍රිරෝද රථය තමන්ම පදවාගෙන ගිය මේ පියතුමා, පල්ලියේ ලැගුම්ගෙය තුළ වෙනම කෝකියකු තබා නොගත් අතර උන්වහන්සේ ජීවත් වූයේ ගමේ මිනිසුන් ගෙනැවිත් දෙන බත් කටකිනි. ඒ අනුව උන්වහන්සේ නියත ලෙසම පල්ලිය “පාත මාලයේ මිනිසුන්” වෙත සමීප කළ සැබෑ විප්ලවවාදියෙකි.

ඉකුත් පෙබරවාරි 24 දින වික්‍රම ෆොන්සේකා පියතුමා ස්වර්ගස්ථ වූ අතර, උන්වහන්සේගේ දේහය එදිනම සවස 4.00 සිට කොළඹ රදගුරු මැදුරේ තැන්පත් කරන ලදී. ඉන්පසු පෙබරවාරි 25 වන දින උදෑසන පෙ.ව. 10.00 ට මීගමුව තිල්ලන්දූව දේවස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව, එදිනම එනම් 25 වන බදාදා දින සවස 3.00 ට තිල්ලන්දූව ශාන්ත ජෝසප් දෙව්මැදුරු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරිණි. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ හැට හය හැවිරිදි වියේ පසු වූහ. නමුත් මෙම අසිරිමත් මිනිසාගේ අභාවය මෙරට ජනමාධ්‍යවලට තුට්ටුවක්වත් නොවටිනා දෙයක් වූයේ කෙසේද යන්න ද වෙනම විමසා බලිය යුත්තකි.

වර්තමාන තත්ත්වය යටතේ වික්‍රම ෆොන්සේකා පියතුමාගේ නිසල දේහය පස්වලට යට වුවද, කිතු දහමේ සැබෑ දාර්ශනිකත්වයත්, පේරලන්ද පාරේ ඒ පුංචි වෙදගෙදරින් හමා ආ තෙල් බෙහෙත් සුවඳත්, ඒ සෘජු මිනිසාගේ මානවහිතවාදී හඬත් ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් තුළ සදාකාලිකවම රැඳිය යුතුව තිබේ.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර