Gen Z පරපුරේ නැඟිටීම සහ “ඩබල් පොකට්” දේශපාලනය

vinivida

කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක “වර්ණ රාත්‍රිය” (Colours Night) පැවති දවසේ, අනපේක්ෂිත බලවත් මොහොතක් උදා විය. වේදිකාව මතට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක, ගුරුවරුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් සහ සම වයසේ පිරිසක් ඉදිරියේ ක්ෂණිකව සිය අදහස් දක්වන්නට පටන් ගත්තා ය. එහිදී එවන් අවස්ථාවක එම භූමිකාව දරන සිසුවියක කළ යුතු සාම්ප්‍රදායික කතාවෙන් ඔබ්බට යමින්, දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඇය ප්‍රකාශ කළේ තමන් නිසි ලෙස දිනාගත් සම්මානයක් තමන්ට අහිමි වූ බවයි.
නමුත් එය චිත්තවේගීය කෝපයක් හෝ අගෞරවනීය විරෝධයක් නොවීය; එය ඇයව හැඩගැස්වූ පාසල තුළදීම යුක්තිය සහ අසාධාරණය ඉටු නොවීම පිළිබඳව හේතු සහිතව ප්‍රකාශ කිරීමක් විය. ඉන් පසු ඇතැමෙකු, විශේෂයෙන් විද්‍යාලයට සම්බන්ධ පාර්ශ්වයන් ප්‍රකාශ කළේ ඇයගේ මේ ක්‍රියාව නිසා පාසලේ ගෞරවයට හානියක් සිදු වූ බවය. නමුත් ඇය සිය අදහස් ප්‍රකාශ කරන්නට ප්‍රථම, තමාට මෙතරම් ආත්ම විශ්වාසයක් හා ශක්තියක් ලබා දුන් විදුහල් මාතාව පුදබිමක් සේ සලකා ගෞරව කරන බව ප්‍රකාශ කර සිටියාය.

ඇය පාසලේ කීර්තිනාමයට හානි වන අන්දමින් හැසිරුණේ යැයි සඳහන් කරමින් “සමස්ත පාසල් ප්‍රජාව” නම් සංවිධානයකින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති අතර, එය බොහෝ මාධ්‍යවල මේ වන විට සංසරණය වෙමින් පවතී. කෙසේ නමුත්, මේ එකවර මතු වූ “සමස්ත පාසල් ප්‍රජාව” යනු කුමක්ද යන්න පැහැදිලි නැත. ඊට හේතුව ඉහත සිදුවීම සම්බන්ධයෙන් සමස්ත පාසල් ප්‍රජාවම එකම ස්ථාවරයක් නොදරන බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය වීමයි. ඒ අනුව එම පාර්ශ්වය ද මෙම “සමස්ත” යන වදන අවභාවිතයට ලක් කිරීම වෙනම විමසිය යුතුය.

මේ අවස්ථාවේදී ඇය පාසලේ කීර්තිනාමයට හානි වන අන්දමින් හැසිරුණේ යැයි සඳහන් කරමින් “සමස්ත පාසල් ප්‍රජාව” නම් සංවිධානයකින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති අතර, එය බොහෝ මාධ්‍යවල මේ වන විට සංසරණය වෙමින් පවතී. කෙසේ නමුත්, මේ එකවර මතු වූ “සමස්ත පාසල් ප්‍රජාව” යනු කුමක්ද යන්න පැහැදිලි නැත. ඊට හේතුව ඉහත සිදුවීම සම්බන්ධයෙන් සමස්ත පාසල් ප්‍රජාවම එකම ස්ථාවරයක් නොදරන බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය වීමයි. ඒ අනුව එම පාර්ශ්වය ද මෙම “සමස්ත” යන වදන අවභාවිතයට ලක් කිරීම වෙනම විමසිය යුතුය.
නිහඬතාව, කීකරුකම සහ සම්ප්‍රදායන්ට එකඟ වීම අගයන සාම්ප්‍රදායික පාසල් පරිසරයන් තුළ මෙවැනි ක්‍රියාවක් ඉතා දුර්ලභය. කෙතරම් අසාධාරණයකට ලක් වුවද කලකට පෙර නම් පාසල් ප්‍රධානීන් ඇතුළු ගුරු මඬුල්ල ඉදිරියේ මුව වසාගෙන සිටින්නට පුරුදුව සිටිය ද, මෙකී සිසුවිය අසාධාරණය විඳදරා ගනු වෙනුවට එයට එරෙහිව නැඟී සිටින්නට පියවර තැබුවාය. ඇය ජය පරාජය පිළිගන්නට අකැමැති සිසුවියක ලෙස ඇතැමුන් හඬ නැඟුවත්, අසාධාරණයට එරෙහි විය යුතු නිවැරදි මොහොතේ ඒ පියවර ගන්නට ඇය මැළි නොවූවාය.

ඇය ඒ පියවර තුළින් නියෝජනය කළේ ‘ජෙනරේෂන් Z’ (Gen Z) පරම්පරාවේ ප්‍රධාන ලක්ෂණයකි. එනම් ස්ථානය හෝ අධිකාරිය කුමක් වුවත්, අසාධාරණය හමුවේ පසුබැසීම ප්‍රතික්ෂේප කිරීමය. ඇගේ ධෛර්යය, හඬ නැඟීම පමණක් නොව, ඇය ආදරය කරන සහ නියෝජනය කරන තම පාසල තුළදීම එය සිදු කිරීමය. තමන්ගේම ප්‍රජාව තුළින් මතු වන අසාධාරණයට අභියෝග කිරීම, බාහිර විරුද්ධවාදියෙකුට එරෙහි වීමට වඩා විශාල ධෛර්යයක් අවශ්‍ය වන්නකි.
ඇගේ කතාව පාසලෙන් ඔබ්බට පැතිරී, සමාජ මාධ්‍ය හරහා සමස්ත සමාජය පුරා පුළුල් සාකච්ඡාවක් ඇවිලවීය. එය අහිමි වූ සම්මානයක් ගැන පමණක් නොවේ; එම හඬ සාධාරණත්වය සහ නිහඬතාව ගුණධර්මයක් ලෙස තවදුරටත් පිළිනොගන්නා පරම්පරාවක් ගැන පූර්ව සංඥාවකි. එමෙන්ම මෙය මෙවැනි සිදුවීම් දාමයක ඇරඹුම බව ද අතිශයින් පැහැදිලිය. මේ අතර “ශිෂ්‍ය ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට ඔබට (විද්‍යා පීඨවලදී හැර) පරම අයිතියක් හා යුතුකමක් තිබේ” යනුවෙන් පෝස්ටුවක් ද මේ දිනවල සමාජ ජාලවල සංසරණය වේ. මෙය එම ආයතන සම්බන්ධ තියුණු හා බරපතළ උපහාසයකි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

සාමාන්‍යයෙන් 1990 දශකයේ අග භාගයේ සිට 2010 දශකයේ මුල් භාගය දක්වා උපත ලැබූ Gen Z පරම්පරාව, ඔවුන්ට පෙර පරම්පරාවලට වඩා මූලික වශයෙන් වෙනස්ය. ඔවුන් සමාජය පිළිබඳ සැලකිලිමත් වන අතර, අසාධාරණයට දැඩි ලෙස විරුද්ධය. “තමන්ගේ වාරය එනතුරු බලා සිටීමට” හෝ “පද්ධතිය පිළිගැනීමට” උගන්වා ඇති පෙර පරම්පරාවලට වඩා වෙනස්ව, Gen Z පරපුර නිරතුරුවම ප්‍රශ්න කරයි.
තමාට වඩා ජ්‍යෙෂ්ඨ වූ පමණින් ඔවුන් කිසිවකු පූජනීය යැයි සලකන්නේ නැත. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව, ගෞරවය දිනාගත යුතු අතර සාධාරණත්වය සහ විනිවිදභාවය තුළින් එය පවත්වාගත යුතුය. එම පොරොන්දු කඩ වූ විට, ඔවුහු ක්ෂණිකව හා විවෘතව හඬ නගති.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට Gen Z පරම්පරාවට ගැලපෙන නායකත්වයක් හිමි කර දීමට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වරක් ප්‍රසිද්ධියේ පැවසුවේ, අනාගත දේශපාලන නායකත්වය ද ඔවුනට ලබා දිය යුතු බව පවසමිනි. ප්‍රායෝගික දේශපාලනයට වඩා නව ලිබරල්වාදය පදනම් වන නූතන දේශපාලන ධාරාව සම්බන්ධ පුළුල් දැනුමක් හා දැක්මක් ඇති ඔහුගේ එම ප්‍රකාශය මතභේදාත්මක වුවත්, එහි ඉතා ගැඹුරු හරයක් තිබේ. ක්ෂණිකව සියලු දේ පිළිබඳ ප්‍රශ්න කරන, අසාධාරණයට එරෙහිව හඬ නගන්නට මැළි නොවන ගතිගුණ සමඟ හැදී වැඩුණු පරම්පරාවක් සමඟ සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයන්, ආඛ්‍යාන සහ පොරොන්දු තවදුරටත් නොගැළපෙන බවට වන ඔහුගේ එම ස්ථාවරය අපේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් පුරෝකථනයකි.

Gen Z පරපුර සටන් පාඨවලට ප්‍රතිචාර නොදක්වයි; ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ යමක සාරවත් භාවයටය. ඔවුහු සාම්ප්‍රදායික ධුරාවලි විශ්වාස නොකරති; නමුත් සාක්ෂි විශ්වාස කරති. ඔවුන් අතීතය පිළිබඳ හැඟීම්වලින් පෙළඹෙන්නේ නැත; ඔවුන් මෙහෙයවනු ලබන්නේ අනාගත හැකියාවන් මගිනි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ 1980 දශකයේ මුල අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ අරඹන ලද දැඩි විනයක් හා ශික්ෂණයක් සහිත විද්‍යා පීඨ තුළින් පවා මේ වන විට ඉහත සඳහන් ආකාරයේ පෝස්ටු සමාජ ජාලවලට එක් වනුයේ, එම විද්‍යා පීඨ තුළ ද මේ වන විට Gen Z පරම්පරා බීජය රෝපණය වී හැදී වැඩෙන නිසාය. එය රනිල් වික්‍රමසිංහ ද එකහෙළා පිළිගනු නියතය.

ශ්‍රී ලංකාවේ Gen Z පරම්පරාවේ සාමූහික බලය වඩාත් පැහැදිලිව හා තීරණාත්මක ලෙස පෙන්නුම් කළේ 2022 ගාලු මුවදොර අරගලයෙනි. සියලුම ජන කොටස්වල පුද්ගලයන් සහභාගී වුවද, එය මෙහෙයවනු ලැබුවේ, සංවිධානය කරනු ලැබුවේ සහ පවත්වාගෙන යනු ලැබුවේ අප රටේ මධ්‍යම පාන්තික තරුණයින් විසිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් Gen Z පරම්පරාවට අයත් විය. ඔවුහු සමාජ මාධ්‍ය හරහා පෙළ ගැසුණහ; දැඩි නායකත්ව ව්‍යුහයන් නොමැතිව සාමූහිකව කටයුතු කළහ. තවද විරෝධතාවක් යනු දේශපාලන පක්ෂපාතිත්වයකට වඩා සිවිල් වගකීමක් ලෙස නැවත අර්ථකථනය කළහ. මුලදී එය පක්ෂ දේශපාලනය මත පදනම් නොවූ නිර්පාක්ෂික ව්‍යාපාරයක් විය. එය පදනම් වූයේ වගවීම, විනිවිදභාවය, ආර්ථික සාධාරණත්වය සහ ගෞරවය යන වටිනාකම් මතය. Gen Z අරගලය මෙහෙයවූයේ හුදෙක් වෙනසක් වෙනුවෙන්ම නොව, මහජන විශ්වාසය නැවත සිතා බැලීමක් සිදු කළ යුතුය යන අදහස ද පෙරදැරිවය.
අද පවතින මාලිමා රජය බිහිවන්නට මූලික පන්නරය ලබා ගත්තේ ද මේ අරගලය තුළිනි. එයට Gen Z පරපුර දැඩි දායකත්වයක් ලබා දුන් නිසා පසුකාලීනව මාලිමා රජය ද බොහෝ ස්ථානවල Gen Z පිළිබඳ සාධනීය ලෙස කතා කරනු දකින්නට හැකි විය. එය එසේ වුවත්, අද ඔවුන්ගේ පාලනය තුළින් Gen Z ආකල්ප කුණු මුල්ලට දමා කටයුතු කරන බව මේ වන විට මනාව පැහැදිලි වෙමින් තිබේ.

Gen Z සමඟ රජයන් මුහුණ දෙන අභියෝගය සන්නිවේදනය පිළිබඳ එකක් පමණක් නොවේ; එය චින්තන රටාවේ අභියෝගයකි. Gen Z අපේක්ෂා කරන්නේ අනුග්‍රහය නොව සහභාගීත්වයයි. කොළඹ පාසල් සිද්ධියෙන් පෙනී ගිය පරිදි, සාධාරණත්වය අඩාල වුවහොත් ඔවුන් වඩාත්ම ගෞරවනීය ආයතන පවා ප්‍රශ්න කිරීමට මැළිවන්නේ නැත. ඔවුන්ගේ පක්ෂපාතිත්වය කොන්දේසි විරහිත නොවේ; එය වටිනාකම් මත පදනම් වූවකි.

‘වර්ණ රාත්‍රියේ’ ශිෂ්‍යාව නොදැනුවත්වම සමාජගත කළේ නව සමාජ ගිවිසුමක පදනමයි. Gen Z සම්ප්‍රදායට විරුද්ධ නැත, නමුත් ඔවුන් අසාධාරණයට විරුද්ධය. ඔවුන් ආයතනවලට එරෙහි නැත. නමුත් ඔවුහු ඒ ආයතනවලින් වගවීම ඉල්ලා සිටිති. වැරදි දේ ඉදිරියේ නිහඬව සිටීම යනු එයට හවුල් වීම බව ඔවුහු විශ්වාස කරති.
ඒ කෙසේ වුවද මෙම නව සමාජ ප්‍රවණතාවට අප බිය විය යුතු නැත; එය පිළිගත යුතුය. බාල පරම්පරාවන් සීමාවන් තල්ලු කර සම්මතයන් අභියෝගයට ලක් කරන විට සමාජය ප්‍රගතිය කරා ගමන් කරයි. සමාජීය, දේශපාලනික හෝ සංස්කෘතික වශයෙන් වූ සෑම ප්‍රධාන ප්‍රතිසංස්කරණයක්ම, අන් අය නිහඬව සිටියදී කතා කිරීමට කැමති තරුණ පෙළ විසින් මෙහෙයවනු ලැබූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

Gen Z යනු පාලනය හෝ කළමනාකරණය කළ යුතු ගැටලුවක් නොවේ. ඔවුන් බලගැන්වීමට බලා සිටින විසඳුමයි. Gen Z දෙසට හැරවීමට දකුණට සිග්නල් දමා බලයට පත් වූ සැනින් වමට හැර වූ මාලිමා ආණ්ඩුව, ඒ සඳහා වන නවතම සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ දාමයකට පෙළ ගැසිය යුතුය. නොඑසේ නම් ඔවුන්ගේ මෙන්ම රටේ ද අනාගතය ඉතා අඳුරු සහගත වනු ඇත. මක්නිසාද යත්, මෙම Gen Z පරපුරේ පිබිදීම වැළැක්විය හැකි ජගතකු, සමාජවාදය සහ නව ලිබරල්වාදය සාක්කු දෙකේ දමා ගත් වත්මන් “ඩබල් පොකට්” දේශපාලනයේ තබා මේ ලෝකයේම නොමැති බැවිනි.

තනි ශිෂ්‍යාවකගේ කතාව ජාතික දේශපාලනයේ මහත් සැලැස්ම තුළ කුඩා බවක් පෙනෙන්ට තිබුණද, එය ඊට වඩා විශාල යමක් සංකේතවත් කරයි. එය පැත්තකට කිරීමට, නිහඬ කිරීමට හෝ අර්ධ සත්‍යයන්ගෙන් සෑහීමකට පත් කිරීමට ප්‍රතික්ෂේප කරන පරම්පරාවක් නියෝජනය කරයි. Gen Z, නායකත්වය දීමට අවසර ලැබෙන තෙක් බලා සිටින්නේ නැත; පන්ති කාමරවල, වීදිවල සහ ඩිජිටල් වේදිකාවල ඔවුහු දැනටමත් එසේ කරමින් සිටිති. අනාගතයේ මෙහි වර්ධනයක් මිස ක්ෂය වීමක් දක්නට ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාව අනාගතයට සූදානම් වූ සමාජයක් ගොඩනැගීමට අපේක්ෂා කරන්නේ නම්, Gen Z හඳුනා ගැනීමෙන් ඔබ්බට යා යුතුය. ඔවුන්ට සවන් දිය යුතුය, ඔවුන් සම්බන්ධ කර ගත යුතුය. ඔවුන් සමඟ එක්ව තමන්වම ප්‍රතිසංස්කරණය කර ගත යුතුය. පාසල් වේදිකාවක් මත තරුණ ශිෂ්‍යාවක විසින් පෙන්නුම් කරන ලද ධෛර්යය, ව්‍යාපාර බලගන්වන, ජාතීන් ප්‍රතිනිර්මාණය කරන සහ යුගයන් අර්ථ දක්වන එම ධෛර්යයම වේ.

Gen Z යනු පාලනය හෝ කළමනාකරණය කළ යුතු ගැටලුවක් නොවේ. ඔවුන් බලගැන්වීමට බලා සිටින විසඳුමයි. Gen Z දෙසට හැරවීමට දකුණට සිග්නල් දමා බලයට පත් වූ සැනින් වමට හැර වූ මාලිමා ආණ්ඩුව, ඒ සඳහා වන නවතම සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ දාමයකට පෙළ ගැසිය යුතුය. නොඑසේ නම් ඔවුන්ගේ මෙන්ම රටේ ද අනාගතය ඉතා අඳුරු සහගත වනු ඇත. මක්නිසාද යත්, මෙම Gen Z පරපුරේ පිබිදීම වැළැක්විය හැකි ජගතකු, සමාජවාදය සහ නව ලිබරල්වාදය සාක්කු දෙකේ දමා ගත් වත්මන් “ඩබල් පොකට්” දේශපාලනයේ තබා මේ ලෝකයේම නොමැති බැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර