අනුරපුර සඳහිරු සෑය බෞද්ධ ස්ථූපයක් නොවේ

පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් ශ්‍රී ලංකා රජය ලත් ජයග්‍රහණය සංකේතනය කිරීම පිණිසත්, යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් ස්මරණය කිරීම පිණිසත් බව පවසමින් අති විශාල ධනස්කන්ධයක් වැය කොට රජය මගින් ඉදි කරන ලද ‘සඳහිරු සෑය’ නම් දැවැන්ත ස්ථූපය පසුගිය නොවැම්බර් 18 වෙනිදාට යෙදුණු ඉල් පුන් පොහෝදා අනුරාධපුර පූජා නගරය සමීපයේ දී මහජනතාව සඳහා විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය ශ්‍රමයෙන් තනා නිම වූ මෙම දාගැබෙහි උස අඩි දෙසිය අසූවක් හා වට ප්‍රමාණය අඩි අටසිය දෙකක් වශයෙන් සඳහන් ය.
බුදු දහමෙහි සඳහන් වන අන්දමට යුද්ධය යනු මිනිසා ගේ ක්ලේශ භරිත බව,තෘෂ්ණාව මුල්කොට හට ගන්නා තත්වයකි. ඒ හේතුවෙන් මිනිස් සමාජයේ යුදමය තත්වයන් හටගත හැකි බව බුදුන් වහන්සේ ද මූලික වශයෙන් පිළිගෙන තිබේ.බුදුන් වහන්සේ ජීවමාන සමයේ රෝහිණී නම් නදියේ ජලය බෙදා ගත නොහැකිව ශාක්‍ය සහ කෝලිය වංශිකයන් අතර හටගත් බිහිසුණු යුද්ධයේ දී එය සමාදාන කරවීම පිණිස ඉදිරිපත් වූ බුදුන් වහන්සේ අත්තදණ්ඩ සූත්‍රය මගින් වෛරයේ ආදීනව පහදා දී එම කලහය සංසිඳවූ පුවත දහම් පාසල් දරුවෝ ද දනිති.
එමෙන්ම යුද්ධයෙන් මිය යන සෙබලා මරණින් මතු දෙව් ලොව උපදීය යන පෙර පැවැති මතය සම්බන්ධයෙන් එක් යෝධාජීවයකු හෙවත් යුද සෙනවියකු බුදුන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී එම පැනය තමන් වහන්සේ ගෙන් නොඅසන මෙන් දෙවරක්ම වදාරා තෙවන වරටත් එම පැනයම යොමු වූ විට එම මතය මිථ්‍යා දෘශ්ඨියක් බව බුදුන් වහන්සේ කළ ප්‍රකාශය යෝධාජීව සූත්‍රයේ සඳහන් ය.ඒ අනුව පෙනී යන්නේ යුද්ධයට හේතු සහ එය සංසිඳවීමේ වැදගත්කම තහවුරු කළ බුදු දහම යුද්ධය සම්බන්ධ සිදු වූ ප්‍රවර්ධනාත්මක කටයුත්තකට කිසි ලෙසකින් අනුග්‍රහශීලී වී නොමැති වූ බවකි.
අප රටේ බුදු සසුන “බුදු මඟ” සහ “බොදු මඟ” ලෙසින් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය. බුදු මඟ යනු බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලික ධර්ම විනය පදනම් කරගත් චිත්ත දමනය මුල් කොට ගත් ආචාර විද්‍යාත්මක දර්ශනයයි. එහෙත්,නූතනයේ ජනප්‍රියව පවත්නා බුද්ධාගම මත පදනම් වන බොදු මඟ යනු මූලික ධර්ම විනය ඇසුරෙන් සමකාලීන ජාතික සහ සමාජයීය අවශ්‍යතා පදනම් කරගත් වෙනම ඇදහීම් ජාලයකි. අද අප රටේ ගිහි පැවිදි ප්‍රජාවෙන් වැඩි කොටස පෙනී සිටින්නේත් ක්‍රියාකරනුයේත් එම සෑ  බුදු මඟෙන් බැහැර අප විසින්ම තනා ගත් බොදු මඟ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
කවර හෝ යුද්ධයක නිමාවන් දෙකක් තිබේ. යුද්ධය සංසිඳුවා ගැනීම සහ එක් පාර්ශවයක් පරාජය කරවීමෙන් ලබන ජයග්‍රහණය එම මාවත් දෙක ය. යුද්ධය මේ කවර ක්‍රමයකින් නිමාවට පත් වුව ද යුද්ධය යනු හුදෙක් පිටුදැකිය යුතු තත්වයක් මය. ඉන් ජයග්‍රහණය ලත් පාර්ශවය ස්මාරක තනමින් හෝ යළි යළිත් එය ස්මරණය කරමින් ආශ්වාදයක් ලබන්නේ නම් එය පරාජිත පාර්ශවය තුළ වෛරයක් මෝදු කරවන්නකි.එමෙන්ම ඒ වෛරය තුළින් තවත් යුදමය ආරම්භයකට ඇවැසි ගිනි සිළු පුපුරු ගසමින් මතු වනු ඇත.
දුටු ගැමුණු එලාර යුද්ධයෙන් මියගිය එළාර රජු වෙනුවෙන් ස්මාරකයක් තනවා ඔහුට ගෞරව කරන ලෙස පැනවූ නියෝගය ඉතා විශිෂ්ඨ යුද නිවාරක උපක්‍රමයකි.ඒ මඟ යමින් නූතන ලෝකයේ ද පැරණි යුද ස්මාරක කඩා ඉවත් කිරීම් පිළිබඳ ව අසන්නට ලැබේ.එහි දී ඔවුහු “නව චින්තනයක්-නව ලොවක්”යන දර්ශනය මත පිහිටා කටයුතු කරති.ඒ මූලික බෞද්ධ ඉගැන්වීම් වලට සපුරාම ඒකඟ වෙමිනි.නමුත් බුදු දහමට සාපේක්‍ෂව හින්දු ආගමේ යුද්ධය සම්බන්ධයෙන් යම් ප්‍රවර්ධනාත්මක ආකල්ප දැක්වෙයි. ‘භගවත් ගීතාව’ වැනි හින්දු ආගමික ග්‍රන්ථ පිරික්සීමේ දී ඒ බව මනාව තහවුරු කර ගත හැක.
එසේ අතීතයේ යුදමය කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියා කළවුන් හට හින්දු සමාජයේ දේවත්වාරෝපණයන් හිමි කොට තිබේ. එවන් පසුබිමක් යටතේ පසුගිය එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් මිය ගිය තම සාමාජිකයන්ට වීරත්වයක් ආරෝපණය කොට ඔවුන් උදෙසා ස්මාරක තැනවීමේ සාම්ප්‍රදායික හැකියාවක් එල්.ටී.ටී.ඊ අනුගාමිකයන් තුළ පැවතීම ස්වභාවික ය.
ලක් ඉතිහාසයේ පසුකාලීන අනුරාධපුර යුගයේ සිට නටබුන් වශයෙන් හමුවන “වීර ගල්” නම් ශිලා ස්ථම්භ මිය ගිය සෙබළුන් වෙනුවෙන් තනවන ලද ඒවා බව පෙනේ. එහෙත්, මේවා ද මූලික බුදු සමයට ඉඳුරාම පටහැනි අන්‍යාගමික මති මතාන්දර අනුව ඉදි වූ ඒවා බව පෙනෙයි..
එවන් තත්වයන් යටතේ එල්. ටී. ටී. ඊ අනුගාමිකයන් ගේ විරු ස්මාරක නීති විරෝධී වශයෙන් නම් කොට “නව චින්තනයක්-නව ලොවක්” යන ආකල්පය පිබිදුවීම වෙනුවට එම යුද්ධයේ දී දිවි පිදූ ත්‍රිවිධ හමුදා රණ විරුවන් ස්මරණය කිරීම පිණිස ස්ථූප තැනවීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් මීට වඩා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු යැයි අපට සිතේ.
එහෙත්,මින් පසුගිය යුද්ධයට එක් වූ රණ විරුවන් ප්‍රමුඛ කොට යුද්ධයෙන් අනේක විධ පීඩාවන්ට ලක් වූ සියළු පාර්ශවයන්ට උපරිම සාධාරණයක් ඉටු කිරීමත් ඔවුන්ගේ පවුල් වල සම්බන්ධ සුබ සාධන යාන්ත්‍රණය අත්හියුවීමත් කෙසේවත් අදහස් නොවේ.ඒවා තව දුරටත් ප්‍රවර්ධනය විය යුතුය.එසේ නොකිරීමද බුදු මඟින් පිට පැනීමකි.
මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී ස්ථූපාර්හ හෙවත් ස්මාරක තනා වැඳුම් පිදුම් කළ යුතු උතුමන් සිව් පිරිසක් පිළිබඳව ආනන්ද හිමියන්ට වදාරති.ලොව්තුරා බුදුන්, පසේබුදුන්, මහරහතුන් සහ සක්විති රජුන් යනු ඒ සිව් පිරිස ය. මෙහි එන බුදු, පසේ බුදු, මහ රහත් යනු ආධ්‍යාත්මික පරමාදර්ශයේ සංකේතයන් වන අතර සක්විති රජුන් යනු ලෞකිත්වයේ පරමාදර්ශයකි. බුදු දහමට අනුව මෙම සක්විති රජවරුන් පිළිබඳ පුරාවෘත්ත සඳහන් වනුයේ සූත්‍ර පාලියේ සහ අටුවාවන් හි දැක්වෙන අතීත කතා තුළින් පමණි.
අනුරාධපුරය යනු අපගේ ජන සම්මතය අනුව ශ්‍රී ලාකේය ආධ්‍යාත්මයේ නගරයයි.බෞද්ධයන් සේම අන්‍යාගමිකයන් ද දරන එම මතය ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අග රද ගුරු තුමන් ද කිහිප වරක් අවධාරණය කළ අයුරු අපට මතක ය.
කලින් කලට වෙනස් වුව ද  අටමස්ථාන නම් වන බෞද්ධාගමික ස්ථාන අටක් අනුරපුරයේ තිබේ. ඒ අනුව වර්තමාන සඳහිරු සෑය නම් වන මෙම යුද ස්මාරක ස්වරූපයේ ස්ථුපය ද ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික නගරය සේම ක්‍රි.පූ. 377 සිට ක්‍රි.ව. 1017 තෙක් දීර්ඝකාලයක් තුළ අප රටේ අගනුවර වූ අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවීම නූතනයේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජන රජය නමින් හැඳින්වෙන අප රටේ දේශපාලනය හා අතීත රාජාණ්ඩු සමය අතර ජනතාව ගේ මනෝ මූලික සම්බන්ධතාවයක් ගොඩනැගීමේ සූක්ෂම දේශපාලනික උපක්‍රමයක් ද විය හැක.
අප රටේ විවිධ ජන කොටස් වල පැවැති විවිධ මතිමතාන්දර මැද ඉදිකිරීම අරඹන ලද මෙය මුලින්ම නම් කරන ලද්දේ “රණවිරු සෑය” යනුවෙනි. එහෙත් පසුව එම නම “සඳහිරු සෑය” යනුවෙන් වෙනස් කරන ලදී. නමුදු ඒ නම සඳහා නිසි අර්ථ නිරූපණයක් නොමැති වූ විට එහි සඳ හිරු යන්නට රාජ්‍ය පාක්ෂික එක් භික්ෂුන් වහන්සේ නමක විසින් සෞම්‍ය බවේත් තේජස් බවේත් සංකලනය යන “වාග් පැලැස්තරයක්” යොදන ලදී.
කෙසේ නමුදු මෙම දාගැබ තැනීමේ සිට ඒ සම්බන්ධ නොයෙක් කට කතා පැතිර ගිය අතර එහි කෝටි ගණනක රන් රිදී මුතු මැණික් තැන්පත් කරනා බවක් අඟවා ඒ වෙනුවෙන් කෘත්‍රිමව නිපදවූ නොවටිනා ද්‍රව්‍ය තැන්පත් කළ බවත් පැවසෙන කට කතා පවා පැතිර යන්නට විය.
එහෙත්, මේවා සියල්ල අමූලික බොරු වශයෙන් මුළුමනින් ඉවත දැමිය නොහැක්කේ අප රටේ දේශපාලනය තුළින් මෙබඳු සිදුවීම් වරින් වර වාර්තා වන බැවිනි.නමුදු බෞද්ධයෝ කිනම් හෝ ස්ථූපකට වන්දනා මාන කිරීමේ දී එහි ශාසනික පසුබිම සේම සර්වඥ ධාතූන් මුල් කොට ගත් නිදන් වස්තූන් කෙරෙහිද සැලකිලිමත් වෙති.පසුගිය එල්.ටී.ටී.ඊ. හා යුද්ධය හා සෘජු සම්බන්ධතාවයක් සහිත මෙම දාගැබ ඒ සම්බන්ධයෙන් ද කිසිදු වැදගත් කමක් පළ නොකරයි.
ඒ අනුව මින් පූජනීය ස්ථානයක් ලෙස මෙරට ජන විඥානයේ පවතින බුදු සමය හා සබැඳි ආධ්‍යාත්මික සංකල්ප හා ශක්තීන් ප්‍රකට නොවන බව අතිශයින් පැහැදිලි ය.
මේ සියළු කරුණු අනුව අප ඉහත සඳහන් කළ බුදු මඟ අනුව තබා බොදු මඟ අනුව වුව මෙහි කිසිදු වැදගත්කමක් නොපෙනන බැවින් ද මෙය අනුරාධපුර පූජා නගරය සමීපයේ කළ අනවශ්‍ය ඉදිකිරීමක් බව කිව යුතුය.එමෙන්ම මෙය අනාගත පරපුරේ අප්‍රසාදයට පමණක් හේතු වන ව්‍යාජ බෞද්ධ ලේඛලයකින් යුතු යුද ස්මාරකයක් පමණක් වනු ඇතැයි යන්න අපගේ වැටහීම ය.
කොටින්ම මෙය වත්මන් දේශපාලන අවභාවිතාවන් හි තවත් එෛතිහාසික අවස්ථාවක් සනිටුහන් කරනමුග්ධ සංසිද්ධියක්  බව අනාගත ලෝකයා වටහා ගැනීම වැළැක්වීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.
කදුරුපොකුණේ සුමංගල හිමි
පහන් ටැඹ