අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි.

අප රටේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ බොහෝ විට සම්පාදනය වනුයේ කොළඹ කේන්ද්‍ර කරගත් උගතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතිනි. නමුත් ඒවා දුෂ්කර ගම්මානවල පවතින සීමිත සම්පත් සහිත පාසල් පද්ධතිය තුළ ද ක්‍රියාත්මක විය යුතු බැවින් නගරයේ පාසලකට හඳුන්වා දෙන නවීන තාක්ෂණික විෂය නිර්දේශයක්, විදුලිය හෝ පරිගණක පහසුකම් නොමැති ගමක පාසලකට පීඩාවක් මිස ඵලදායී දෙයක් නොවීමේ අවකාශයක් ද තිබේ. වරක් එක් දේශපාලනඥයකු ගම්බද පාසලක විදුහල්පතිවරයකු අමතා තමන් එම පාසල්වලට ලැප්ටොප් පරිගණක ලබා දීමට අදහස් කරන බව පැවසූ විට, එම විදුහල්පතිවරයා “අනේ සර් ඊට කලින් අපේ ඉස්කෝලවලට ටොප්ලැට් (වැසිකිළි) ටිකක් දීලා ඉන්න” යැයි කළ ප්‍රකාශය මෙරට පවතින අමිහිරි යථාර්ථයට කදිම නිදසුනකි.

අප රටේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ බොහෝ විට සම්පාදනය වනුයේ කොළඹ කේන්ද්‍ර කරගත් උගතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතිනි. නමුත් ඒවා දුෂ්කර ගම්මානවල පවතින සීමිත සම්පත් සහිත පාසල් පද්ධතිය තුළ ද ක්‍රියාත්මක විය යුතු බැවින් නගරයේ පාසලකට හඳුන්වා දෙන නවීන තාක්ෂණික විෂය නිර්දේශයක්, විදුලිය හෝ පරිගණක පහසුකම් නොමැති ගමක පාසලකට පීඩාවක් මිස ඵලදායී දෙයක් නොවීමේ අවකාශයක් ද තිබේ. වරක් එක් දේශපාලනඥයකු ගම්බද පාසලක විදුහල්පතිවරයකු අමතා තමන් එම පාසල්වලට ලැප්ටොප් පරිගණක ලබා දීමට අදහස් කරන බව පැවසූ විට, එම විදුහල්පතිවරයා “අනේ සර් ඊට කලින් අපේ ඉස්කෝලවලට ටොප්ලැට් (වැසිකිළි) ටිකක් දීලා ඉන්න” යැයි කළ ප්‍රකාශය මෙරට පවතින අමිහිරි යථාර්ථයට කදිම නිදසුනකි. මෙලෙස ඉහළ මධ්‍යම පන්තියට ගැළපෙන පරිදි අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේදී, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් යම් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් පවතින බව පෙනී යයි. එමෙන්ම පාසල් අධ්‍යාපන ධාරාවට ලිංගික අධ්‍යාපනය ප්‍රවේශ කිරීම ද අප රටේ සංස්කෘතික පසුබිම හා සදාචාරාත්මක පසුබිම පිළිබඳ අතිශය නිවැරදි අවබෝධයකින් කළ යුත්තකි. එසේ නොවන්නට එය ප්‍රති නයි විෂ යොදා ශරීරගත වූ නයි විෂ ඉවත් කරනු වෙනුවට නයකු දෂ්ට කළ තැනැත්තා තවත් නයකු ලවා දෂ්ට කරවීමක් වනු ඇත.

“හොඳ දෙයක් නරකට කිරීම” හෙවත් ක්‍රියාත්මක කිරීමේ අසාර්ථකත්වය (Implementation Failure) යනු අප සමාජය තුළ නිරන්තරව සිදු වන්නකි. බොහෝ ප්‍රතිසංස්කරණවල අරමුණ හෙවත් දැක්ම (Vision) යහපත් වුවද, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සදොස් වීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවේ. විභාග බර අඩු කරන බව පැවසුවද, ප්‍රායෝගිකව සිසුන් තවමත් අමතර පන්ති (Tuition) මත යැපෙන තත්ත්වයට පත්ව ඇති අතර නව විෂය මාලාවන් හඳුන්වා දුන්නද, ඒවා ඉගැන්වීමට ගුරුවරුන් නිසි ලෙස පුහුණු නොකිරීම නිසා ප්‍රතිසංස්කරණයේ සැබෑ ඵලය ශිෂ්‍යයාට ලැබෙන්නේ නැත. ගෝලීයකරණය යන්න මේ වන විට ලෝකයේ සෑම ජන කොටසක් කෙරෙහිම කෙමෙන් බලාත්මක වන සංකල්පයක් බැවින් දේශීය අවශ්‍යතා සේම ජාත්‍යන්තර ප්‍රවණතා ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ලෝකය සමඟ ඉදිරියට යාමට නම් තාක්ෂණය සහ කුසලතා පූර්ණ අධ්‍යාපනයක් (Skill-based Education) අවශ්‍ය වුවද, වර්තමාන ප්‍රතිසංස්කරණවල එවැනි ප්‍රවණතාවක් දක්නට ලැබුණත් එය ලාංකික සංස්කෘතියට සහ සමාජ ආර්ථිකයට ගැළපෙන සේ සැකසී ඇත්ද යන්න ගැටලු සහගත ය. සිසුන්ගේ නිර්මාණශීලීත්වය යටපත් වන පරිදි අධික විෂය කරුණු ප්‍රමාණයක් පැටවීම සහ ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් පවතින විෂමතා පියවීමට පියවර නොගැනීම නිසා සමාජ සාධාරණත්වය ඉටු වන පරිදි අධ්‍යාපන රටාව තවමත් නිසි ලෙස සැකසී නැත.

මා පශ්චාත් උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ ඉන්දියාවේ බොහෝ සංවර්ධන උපාය මාර්ග ජන සංස්කෘතිය මත පදනම්ව ගොඩනැඟී ඇති අතර, ඒවා ප්‍රාදේශීය ප්‍රාන්ත මට්ටමින් ආරම්භ වී ජාතික තලය දක්වා විහිදී යයි. මෙය චිරාත් කාලයක් මුළුල්ලේ ඉන්දීය මානව චින්තනය තුළ මුල් බැසගත් ලක්ෂණයකි. පසුකාලීනව මහත්මා ගාන්ධිතුමන් ප්‍රමුඛ භාරත පුත්‍රයන් විසින් “ග්‍රාම රාජ්‍ය” සහ “ස්වරාජ්” වැනි සංකල්ප ඔස්සේ ව්‍යුහගත කොට ප්‍රවර්ධනය කරන ලද්දේ ද මෙම පෞරාණික සම්ප්‍රදායන්මය. නූතන ඉන්දීය අධ්‍යාපන ක්‍රමය බැලූ බැල්මට බටහිර ස්වරූපයක් ගත්තද, එහි හරය දෙස බැලීමේදී පැරණි දිසාපාමොක් අධ්‍යාපන සම්ප්‍රදායේ අක්මුල් තවමත් නොසිඳී පවතින බව පෙනේ. මෙම ඉන්දීය තිරසාර සංවර්ධන මාදිලිය තුළ අපට දැකිය හැකි විශේෂත්වයන් කිහිපයකි. ප්‍රාදේශීය අනන්‍යතාව සුරැකීම ඉන් ප්‍රධාන වේ. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම ආර්ථික දියුණුව එම ප්‍රාන්තයට ආවේණික වූ කර්මාන්ත, කලාවන් සහ සංස්කෘතික පසුබිම මත පදනම් වී ඇත. “ගම” කේන්ද්‍ර කරගත් ආර්ථික රටාව තුළින් ස්වයංපෝෂිත භාරතයක් බිහි කිරීමේ ගාන්ධි චින්තනය මත පදනම් වන අරමුණ අදටත් “Make in India” වැනි සංකල්ප හරහා නවීකරණය වී ක්‍රියාත්මක වේ.

අධ්‍යාපනයේ ගුරු-ගෝල සබඳතාව පිළිබඳව කීමට ඇත්තේ ද එයම ය. නූතන විශ්වවිද්‍යාල තුළ පවා ඉන්දීය ශිෂ්‍යයා තම ගුරුවරයාට දක්වන ගෞරවය සහ විනය, පැරණි තක්ෂිලා හෝ නාලන්දා වැනි මහා ශිල්ප මධ්‍යස්ථානවල පැවති දිසාපාමොක් පරම්පරාවේ ආභාසය මැනවින් විදහා දක්වයි. තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වෙමින් වුවද, ඉන්දියානු චින්තනය ස්වකීය ආහාර රටාව, ඇඳුම් පැළඳුම් සහ ආගමික වත්පිළිවෙත් හා දැඩිව බද්ධ වූ බවක් පෙනෙයි. අද වන විට අභ්‍යාවකාශ තාක්ෂණය, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණය සහ ආරක්ෂණ තාක්ෂණය සේම හරිත බලශක්තිය අතින් ලොව ඉදිරි පෙළේ පසුවන ඉන්දියාව ඒ සියලු දෙයක් සඳහාම තම සංස්කෘතික මූලයන් පාදක කර ගැනීම ඔවුන් තුළ ඇති සුවිශේෂීත්වයකි. ඒ සඳහා වන එක් නිදසුනක් වනුයේ අදටත් ඉන්දියානුවන් සකල විධ කර්මාන්තවලට අධිපති විශ්වකර්ම නම් දිව්‍ය පුත්‍රයා සැමරීමට දිනයක් වෙන් කර ගැනීම ය. එහෙත් අද වන විට මෙය හුදු දේව භක්තියකට වඩා ශ්‍රම ශක්තිය අගය කිරීමක් (Dignity of Labor) ලෙස ඔව්හු භාවිතා කරති.

“සැබෑ නිදහස යනු තමන්ගේම සංස්කෘතික මූලයන් මත නැඟී සිටිමින් ලෝකය දෙස බැලීමයි.” යනු පොදු ඉන්දීය සමාජයේ පවත්නා විශ්වාසයකි. සාරාංශයක් ලෙස පවසතොත්, ඉන්දියාවේ සැබෑ ශක්තිය පවතින්නේ ඔවුන්ගේ අක්මුල් නොසිඳුණු සංස්කෘතික උරුමය තුළයි. අතීතයේ පැවති ඒ උත්කර්ෂවත් දැනුම් පද්ධතිය නවීන විද්‍යාව සමඟ මුසු කිරීම ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සැබවින්ම ඵලදායී වීමට නම් එය ඉහළ සිට පහළට (Top-down) පනවන නියෝග මාලාවක් නොව, පහළ සිට ඉහළට (Bottom-up) ගොඩනැඟුණු, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන්ගේ අදහස් ඇතුළත් වූවක් විය යුතුය. නූතන අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව දරුවකුගේ ශිෂ්‍ය අවදිය යනු පාසල් කාලච්ඡේදයකට හෝ නිල ඇඳුමකට සීමා වූවක් නොව, එය උපතේ සිට පරිණතභාවයට පත්වන තෙක් දරුවා අවට ලෝකය සමඟ පවත්වන ගනුදෙනුවයි. සැබෑ අධ්‍යාපනය යනු පන්ති කාමරයේ හතරැස් බිත්ති අතර සිරවී ඇති අකුරු පෙළක් නොව, දරුවාගේ ජීවන ආරක්ෂාව, පෞරුෂ වර්ධනය සහ ප්‍රායෝගික කුසලතා සම්මිශ්‍රණය වූ පුළුල් ක්‍රියාවලියකි. එහෙත් වර්තමාන ලාංකේය අධ්‍යාපන ක්‍රමය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම පුළුල් අර්ථකථනය යම් තාක් දුරට අධ්‍යාපන පීඨවලට පමණක් සීමා වී ඇති බවයි. අධ්‍යාපනය ප්‍රායෝගික ජීවිතය සමඟ අන්තර්ග්‍රහණය වීමේ වැදගත්ම සන්ධිස්ථානයක් වන්නේ මඟ පෙන්වීම සහ ආරක්ෂාව පිළිබඳ විෂයයි. දරුවකුට ගණිත ගැටලුවක් විසඳීමට උගන්වනවාටත් වඩා වැදගත් වන්නේ, එම දරුවාට ස්ථානෝචිත ප්‍රඥාව යොදා ජීවිතය ආරක්ෂා කරගනිමින් නිවසට පැමිණීමට මඟ පෙන්වීමයි.

මෙහිදී ආරක්ෂාව යන්න භූගෝලීය සහ සමාජීය සාධක මත පදනම්ව වෙනස් විය යුතු ය. නාගරික පරිසරයක වෙසෙන දරුවකුට මාර්ග සංඥා හඳුනා ගැනීම සහ සුදු ඉරෙන් පාර පැනීම විනයානුකූල අධ්‍යාපනයක කොටසක් විය යුතු අතර, වන අලි තර්ජන පවතින ගම්බද ප්‍රදේශවල දරුවකුට වන අලින්ගෙන් බේරී ගමන් කරන ආකාරය සහ පරිසරය සමඟ ගනුදෙනු කරන ආකාරය ඉගැන්වීම එම අධ්‍යාපන ක්‍රියාවලියේම අත්‍යවශ්‍ය අංගයක් විය යුතු ය. මෙය ජීවන කුසලතා (Life Skills) ලෙස විෂය මාලාවට ඇතුළත් විය යුත්තේ හුදෙක් කටපාඩම් කරන පාඩමක් ලෙස නොව, ප්‍රායෝගික අභ්‍යාසයක් ලෙසිනි. එමෙන්ම බොහෝ කෘෂිකාර්මික කලාප සහිත ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය බෝග වැපිරීම සහ අස්වනු නෙළීම මුල් කොට ද අඩාල වනු ඇත. ඒ එම කටයුතු සඳහා ළමා ශ්‍රමය ද භාවිතා වන බැවිනි. නමුත් අගනුවරට මේවා නිසි ලෙස දර්ශනය නොවන බව ද අතිශයින් පැහැදිලි ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සැබවින්ම ඵලදායී වීමට නම් එය ඉහළ සිට පහළට පනවන නියෝග මාලාවක් නොව, පහළ සිට ඉහළට ගොඩනැඟෙන සංකල්ප යෝජනා සහ උපාය මාර්ග මත පදනම් විය යුතු බව අප අවධාරණය කරන්නේ එබැවිනි. ඕනෑම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යනු එම ජාතියේ ඉදිරි ශතවර්ෂය තීරණය කරන මාලිමාව මිස දේශපාලන වාසි තකා සිදුකරන ක්ෂණික තීන්දු හෝ විද්‍යාත්මක පදනමකින් තොර සංගණන වැනි අසාර්ථක ව්‍යාපෘති බවට පත් නොවිය යුතුය. මෑත කාලීනව අප දුටු ඇතැම් පරිපාලනමය තීරණ, උදාහරණයක් ලෙස වන සත්ව සංගණන සම්බන්ධයෙන් ගත් ඇතැම් මතභේදාත්මක පියවර මෙන්, අධ්‍යාපන ක්ෂේත්‍රය ද හාස්‍යයට ලක්වන තැනට පත් කළහොත් එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ අනාගත පරපුරටය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වය සහ සංස්කෘතික විවිධත්වය ඉහළ රටක, අධ්‍යාපනය අනිවාර්යයෙන්ම දේශීයකරණය විය යුතුය. පෙළපොතේ ඇති කරුණු වලට වඩා තමා අවට ඇති සම්පත් කළමනාකරණ හැකියාව, වාරි හා කෘෂිකාර්මික උරුමයන් සහ ස්වභාවික අභියෝග පිළිබඳව දරුවා දැනුවත් කිරීම හරහා ඔවුන් තුළ රට පිළිබඳ අවබෝධයක් සහිත පුරවැසියෙකු බිහි වේ. නාගරික සහ ග්‍රාමීය අත්දැකීම් අතර පවතින පරතරය අවම කරමින්, සෑම දරුවෙකුටම තම ජීවන පරිසරයට අදාළ ප්‍රායෝගික බුද්ධිය ලබා දීම රජයක සහ අධ්‍යාපන බලධාරීන්ගේ මඟ හැරිය නොහැකි වගකීමකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු ගොඩනැඟිලි අලුත් කිරීම හෝ පාඨමාලා විභාග ක්‍රම වෙනස් කිරීම පමණක් නොව, දරුවා තුළ ස්වාධීන චින්තනය සහ පරිසරයට ගැළපෙන දැනුම නිර්මාණය කිරීමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වය සහ සංස්කෘතික විවිධත්වය ඉහළ රටක, අධ්‍යාපනය අනිවාර්යයෙන්ම දේශීයකරණය විය යුතුය. පෙළපොතේ ඇති කරුණු වලට වඩා තමා අවට ඇති සම්පත් කළමනාකරණ හැකියාව, වාරි හා කෘෂිකාර්මික උරුමයන් සහ ස්වභාවික අභියෝග පිළිබඳව දරුවා දැනුවත් කිරීම හරහා ඔවුන් තුළ රට පිළිබඳ අවබෝධයක් සහිත පුරවැසියෙකු බිහි වේ. නාගරික සහ ග්‍රාමීය අත්දැකීම් අතර පවතින පරතරය අවම කරමින්, සෑම දරුවෙකුටම තම ජීවන පරිසරයට අදාළ ප්‍රායෝගික බුද්ධිය ලබා දීම රජයක සහ අධ්‍යාපන බලධාරීන්ගේ මඟ හැරිය නොහැකි වගකීමකි. අවසාන වශයෙන්, අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් යනු හුදෙක් “PowerPoint” ඉදිරිපත් කිරීමක් නොවිය යුතු අතර එය පාසල් සීනුව වැදුණු පසු අවසන් නොවන, දරුවාගේ ආරක්ෂාව සහ පෞරුෂය තහවුරු කරන සැබෑ අර්ථාන්විත ගමනක් විය යුතු ය. ජාතියේ අනාගතය අඳුරින් මිදීමට නම්, අධ්‍යාපනය යනු ජීවිතයම බව හඳුනාගත් පුළුල් ප්‍රතිසංස්කරණ මාලාවක අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා තදින් දැනෙමින් පවතී.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

නිතර නොඇසෙන කතා