අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති


රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ හිතුවක්කාර ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිටිමින් ඔහු දෝෂාභියෝගයක් හරහා ගෙදර යැවූ දකුණු කොරියානු ජනතාව පසුගිය සතියේ අලූත් ජනාධිපතිවරයකු පත් කර ගත්හ. දැඩි දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටි දකුණු කොරියාව නැවත ස්ථාවර කිරීමේ අභියෝගය දැන් භාර වී ඇත්තේ පසුගිය 03 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති ධුරයට පත් වූ ලී ජේ-ම්යුංට ය. ඔහු පසුගිය කාලයේ දකුණු කොරියාවේ විපක්ෂ නායකවරයා වූ අතර ජනතාව ඔහු පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති ආකාරයක් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් දැකගත හැකි වේ.

ලී ජේ-ම්යුං අද වනවිට ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබුණත් ඔහු ජීවිතය තුළ බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන් කෙනෙකි. 1960 වසරේ ලී ජේ- ම්යුං දකුණු කොරියාවේ අන්දොං නැමැති ප‍්‍රදේශයේ උපත ලබා තිබුණේ ඉතාම දිළිඳු පවුලක ය. දරුවන් සත් දෙනෙකුගෙන් යුතු පවුලේ ඔහු පස්වැනි දරුවා විය.

ලී ගේ පවුලේ තිබූ අගහිඟකම්වලට ඔහුගේ පියා ද බෙහෙවින් වගකිව යුතු වූ බව පෙනේ. ඔහු සූදු කෙළීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කළ කෙනෙකු බවක් සඳහන් වේ.

පවුලේ දිළිඳු බව කෙතරම් දරුණු වී ද යත් කුඩා ලී ජේ-ම්යුංට ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පාසල් යාමට පවා හැකියාවක් තිබී නැත. ඒ නිසා ඔහු ඉගෙන ගැනීම නතර කර ළමා ශ‍්‍රමිකයකු ලෙස කර්මාන්ත ශාලා කිහිපයක රැකියා කර තිබිණි. මේ එක් කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී ඔහුගේ අතක් යන්ත‍්‍රයකට හසු වී බරපතල ආබාධයකට ලක් විය. ඔහු දැනටත් ආබාධිත පුද්ගලයකු ලෙස ලියාපදිංචි වී සිටින කෙනෙකු බව සඳහන් වේ.

ලී ජේ ම්යුං

එක් අවස්ථාවක ලී ජේ ම්යුං සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කර තිබිණි.

කෙසේ හෝ වේවා, විවිධ බාධක මැදින් දුෂ්කර ගමනක් පැමිණි ලී දැන් රටේ ජනාධිපතිවරයා බවට පත්ව සිටියි.

දේශපාලනය නිසා ඔහු පසුගිය වසරේ ජනවාරි මාසයේ  පිහි ඇනුමකට ද ලක් විය.  බූසාන් ප‍්‍රදේශයේ ඉදි කෙරෙමින් පැවති ගුවන් තොටුපලක කටයුතු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවක මෙලෙස පිහි ඇනුමට ලක් වූ ලී ගේ ගෙල පිටුපසට බරපතල තුවාල සිදු විය. ඔහු වහාම හෙලිකොප්ටරයක් මගින් රෝහලක් වෙත ගෙන යනු ලැබ එහිදී බරපතල සැත්කමකට ද මුහුණ දුන්නේය.

ඔහුට පිහි ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම අවස්ථාවේම  අත් අඩංගුවට පත් විය. ලී ජේ ම්යුං ඝාතනය කිරීම තම අරමුණ වූ බැව් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මෙම ප‍්‍රහාරකයා පිහි ප‍්‍රහාරය එල්ල කර තිබුණේ ලී ගෙන් සමරු අත්සනක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වමිනි. මෙම සිද්ධිය සිදු වූයේ දකුණු කොරියාවේ 2024 මහා මැතිවරණයට මාස තුනකට පෙර ය.

ප‍්‍රහාරය එල්ල වූ ආකාරය මාධ්‍යකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබූ අතර එම විඩියෝ දර්ශණ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය විය.

පසුගිය ජුනි 03 වැනි දින පැවති ජනාධිපතිවරණයට ලී ජේ ම්යුං  තරග කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙනි. ඔහු පසුගිය කාලයේ එම පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඒ වනවිට එරට ප‍්‍රධාන විරුදධ පක්ෂය විය.

ඔහු ජනාධිපතිවරණයෙන් ජය ලබනු ඇති බව ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ජනමත සමීක්ෂණවලින් ද ප‍්‍රකාශ වී තිබිණි. ඒ වනවිට ආණ්ඩු පක්ෂය වූ ජනතා බලය නැමැති පක්ෂය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබිණි. දෝෂාභියෝගයට ලක් වූ හිටපු ජනාධිපති යූන් සුක් යොල් ගේ ක‍්‍රියාකලාපය ද ඊට බෙහෙවින් හේතු විය.

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය පැවත්වීමට නියමිතව තිබුණේ 2027 වසරේ යි. නමුත් ඊට කලින් හදිසි  ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ ඉතා ආන්දෝලනාත්මක සිදුවීම් පෙලක් හේතුවෙනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ  හිටපු ජනාධිපතිවරයා  දෝෂාභියෝගයක් හරහා ධුරයෙන් පහ කරනු ලැබිණි.

හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ෙදාෂාභියෝගයක් ගෙන එන්නට සිදු වුණේ ඔහු හදිසියේම රට තුළ යුද නීතිය පැනවීමේ සිද්ධියක් හේතුවෙනි. රටක යුද නීතිය පැන වූ විට ක‍්‍රියාත්මක වන්නේ හමුදා පාලනයකට සමාන මර්ධනකාරී තත්වයකි.

යූන් සුක් යෝල්

2024 දෙසැම්බර් 03 වැනි දින යුද නීතිය පනවමින්  යූන් සුක් යෝල්  සඳහන් කළේ රටට සතුරු බලවේග රට තුළ හිස ඔසවමින් සිටින බවයි. මෙම බලවේග මර්ධනය කිරීම යුද නීතිය පැනවීමේ අරමුණ බව ද ඔහු ප‍්‍රකාශ කළේය. රටට සතුරු බලවේග ලෙස ඔහු ප‍්‍රධාන වශයෙන්ම හැඳින්වූයේ එරට විරුද්ධ පක්‍ෂ ය.  මෙම පක්ෂ දකුණු කොරියාවේ ලොකුම සතුරා ලෙස සැලකෙන උතුරු කොරියාව සමග හිතවත්කම් පවත්වන  බවට ද යූන් සුක් යෝල් චෝදනා කළේය.

කෙසේ නමුත් යූන් සුක් යෝල් යුද නීතිය පැනවීමට සැබෑ හේතුව ලෙස දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ  ඒ වනවිට විරුද්ධ පක්ෂ වෙතින් ඔහුගේ බලයට දැඩි තර්ජනයක් එල්ල වෙමින් තිබීම යි.  2024 වසරේ පැවැති මහා මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කරගෙන සිටියේ ද විරුද්ධ පක්ෂ ය. මේ හේතුවෙන්  යූන් සුක් යෝල්ට ඔහුගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම බෙහෙවින් අසීරු වී තිබිණි.

ඔහුගේ බිරිඳ වන කිම් කෝන්- හීට එරෙහිව ද විවිධ ¥ෂණ චෝදනා  එල්ල වී තිබූ අතර විරුද්ධ පක්ෂ මේවාට අදාළව ද පියවර ගනිමින් සිටියේය.  යුන් සුක් යෝල් යුද නීතියක් පනවමින් මර්ධනකාරී පාලනයකට සූදානම් වූයේ මෙවැනි පසුබිමක් තුළ යි.

කෙසේ නමුත් ඔහුට යුද නීතිය වැඩි වේලාවක් පවත්වාගෙන යාමට නොහැකි විය. මන්ද රට තුළින් ඊට එරෙහිව දැඩි විරෝධයක් මතු වූ බැවිනි. එම විරෝධය හමුවේ  යූන් සුක් යෝල්ට  පැය කිහිපයක් තුළ යුද නීතිය හකුලා ගන්නට සිදු විය. අනතුරුව  දෝෂාභියෝගයක් මගින් ඔහු ධුරයෙන් පහ කරන ලද අතර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ එ් හේතුවෙනි.

මෙවර ජනාධිපතිවරණය එරට මෑත ඉතිහාසයේ වැඩිම ඡුන්දදායකයන් ප‍්‍රතිශතයක් ඡුන්දය භාවිත කළ ජනාධිපතිවරණයක් ලෙස සැලකේ.  ලියාපදිංචි ඡුන්දදායකයන්ගෙන් සියයට 80 කට ආසන්න ප‍්‍රතිශතයක් ඡුන්දය පාවිච්චි කර තිබිණි. රට තුළ පසුගිය කාලයේ සිදු වූ  සිදුවීම් හේතුවෙන්  ජනතාව තුළ වෙනසක් සඳහා ව්ශාල වුවමනාවක් තිබූ බව පෙනිණි.

නව ජනාධිපති ලී ජේ ම්යුං වැඩ භාරගෙන ඇත්තේ දේශපාලන වශයෙන් ද ආර්ථික වශයෙන් ද දකුණු කොරියාව යම් අස්ථාවර බවකට මුහුණ දී ඇති අවස්ථාවක ය. පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් නිසා දේශපාලන ක්‍ෂේත‍්‍රයේ විශාල ව්‍යාකූලත්වයක් ඇති වී තිබිණි. එමෙන්ම ආර්ථික ක්‍ෂේත‍්‍රය ද යම් අවිනිශ්චිතතාවකට මුහුණ දී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය දා ප‍්‍රකාශයට පත් කළ  තීරුබදු ද මෙයට බලපාන සාධකයකි. දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ට‍්‍රම්ප් පරිපාලනය සියයට 25 ක තීරු බදු ප‍්‍රකාශයට පත් කළේය.

මෙම ගැටලූ කළමනාකරණය කරමින් රට තුළ යම් ස්ථාවරත්වයක් ඇති කිරීමේ අභියෝගය නව ජනාධිපති ලී ජේ ම්යුං  හමුවේ පවතී.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්