දිවයිනේ විවිධ ප්රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්හිදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම අහස් පහන් කූඩු මගින් සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇත.
මෙම පහන් කූඩු පොළොවට පතිත වී ගිනි ගෙන විනාශ වීමේ අවදානමක් පවතින බැවින් මෙවන් තත්ත්වයක් මත ගිනි කෙළි කර්මාන්තශාලා, ඉන්ධන පිරවුම්හල්, ඉන්ධන ගබඩා කර ඇති ස්ථාන, නිවාස, ගොඩනැගිලි ආදිය මතට අහස් පහන් කූඩු ගිනිගෙන පතිත වුවහොත් ජීවිත හානි සිදු විය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
එබැවින් මේ පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර එවැනි කටයුතුවලදී සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.