ආදායම් බලපත්‍ර නැති වාහනවලට සහන කාලයක්

ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ​නොවීම නිසා බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබේ.

රජයේ සේවාවන් රැසක්ම මෙම පද්ධතිය ඔස්සේ සිදුවන අතර එම පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්ව බිඳ වැටීමට ලක්වූයේ ඉකුත් 10 වනදායි. මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවරුන් දින හතක් තිස්සේම මෙම පද්ධතිය යථාවත් කිරීමට උත්සහා දැරුවත් තවමත් එම උත්සාහය සාර්ථකව නැහැ.

කෙසේ වෙතත් මෙම පද්ධතිය බිඳවැටීමත් සමග රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 හරහාම සිදුකරනු ලබන උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම්, බස්නාහිර හැර සෙසු පළාත් අටෙහිම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම්, විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවාවන්, පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීම් ඇතුළු සේවාවන් රැසක්ම අඩාළ වී ඇත.

එමෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය නිසා රාජ්‍ය ආයතන අටකට බලපෑමක් එල්ලවී ඇති බවයි.

කාලීන පුවත්