
ඉකුත් පැය 48 තුළ ලැබුණු තොරතුරු අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට සැතපුම් 2,300ක් දුර ගෙවා පැමිණෙන සුවිශේෂී “සාම පා ගමන” (Walk for Peace), භික්ෂූන් වහන්සේලා 19 නමකගේ සහභාගීත්වයෙන් ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් ඩී.සී. (Washington, D.C.) වෙත ළඟා වෙමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ. මෙය මුලින් බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයකට පෙර අවසන් වීමට නියමිත අතර, මේ වන විටත් විවිධ නගරවල පළාත් පාලන ආයතන නිල පිළිගැනීමේ උත්සව සහ මාර්ග වසා තැබීම් සඳහා සූදානම් වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලා සමඟ මෙම ගමනට එක්වී සිටින, “සාම සුනඛයා” යන අභිධානයෙන් පිදුම් ලබන ආලෝකාගේ කතාව ද දැන් මෙම වන්දනාවේ අතිශය වැදගත් කොටසක් බවට පත්ව තිබේ.

දින 108කට අධික කාලයක් පා ගමනින් පැමිණෙන මෙම භික්ෂූන් වහන්සේලා, 2026 පෙබරවාරි 10 හෝ 11 යන දිනවල වොෂින්ටන් ඩී.සී. අගනුවරට ළඟා වන බව දැන් සංවිධායකයෝ තහවුරු කරති. මීට පෙර වාර්තා වී තිබුණේ පෙබරවාරි මැද භාගයේදී මෙය සිදුවනු ඇති බවයි. මෙම වේගවත් නිමාව නිසා සාම පා ගමනට සහාය දක්වන පිරිස් සහ ප්‍රදේශයේ ආගමික නායකයන් තුළ මේ පිළිබඳ විශාල උනන්දුවක් ඇති වී තිබේ. ඔවුන් මේ වන විට ප්‍රසිද්ධ පෙරහැරවල් පමණක් නොව, ඓතිහාසික වොෂින්ටන් ජාතික දේවස්ථානයේදී සර්ව ආගමික වැඩසටහන් ද සංවිධානය කරමින් සිටිති.
ඇමරිකානු ජනතාව තුළ ඇති වී තිබෙන මේ පෙර නොවූ විරූ උනන්දුව සාම පා ගමන සම්බන්ධයෙන් මෑතකදී සිදු වූ වැදගත්ම වෙනස්කම් ලෙස සැලකේ. මෙයින් පෙනී යන්නේ සාම පා ගමන අවසානයට ළඟා වන බව පමණක් නොව, එහි අවසාන දින කිහිපය හුදෙක් දීර්ඝ පා ගමනක නිමාවකට වඩා සිවිල් සහ ආධ්‍යාත්මික වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වෙමින් පවතින බවයි.

සාම පා ගමන ආරම්භ වූයේ 2025 ඔක්තෝබර් 26 වැනිදාය. ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) හි පිහිටි හ්යුං ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ (Hương Đạo Vipassana Bhavana Center) ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්, පාත්‍රයක් සහ සිවුරක් පමණක් ඇතිව, ඇමරිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රාන්ත හරහා සාමයේ පණිවිඩය රැගෙන පයින්ම පිටත් වූහ. කරුණාව, අවිහිංසාව සහ සතිමත් බවින් යුතුව ජීවත් වීම වැනි බෞද්ධ ඉගැන්වීම් මත පදනම් වූ මෙම සාම පා ගමන, හුදෙක් වචනවලට සීමා නොවී ප්‍රායෝගිකව සාමය පෙන්වා දෙන ජීවමාන භාවනාවක් ලෙස නිර්මාණය කරන ලද්දකි.
සාම පා ගමන ආරම්භ වූයේ 2025 ඔක්තෝබර් 26 වැනිදාය. ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) හි පිහිටි හ්යුං ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ (Hương Đạo Vipassana Bhavana Center) ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්, පාත්‍රයක් සහ සිවුරක් පමණක් ඇතිව, ඇමරිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රාන්ත හරහා සාමයේ පණිවිඩය රැගෙන පයින්ම පිටත් වූහ. කරුණාව, අවිහිංසාව සහ සතිමත් බවින් යුතුව ජීවත් වීම වැනි බෞද්ධ ඉගැන්වීම් මත පදනම් වූ මෙම සාම පා ගමන, හුදෙක් වචනවලට සීමා නොවී ප්‍රායෝගිකව සාමය පෙන්වා දෙන ජීවමාන භාවනාවක් ලෙස නිර්මාණය කරන ලද්දකි.

සාමාන්‍ය විරෝධතා පා ගමන් මෙන් නොව, මෙම සාම ගමන කිසි විටෙකත් රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලපෑම් කිරීමට සැලසුම් කළ එකක් නොවේ. ඒ වෙනුවට, දේශපාලන සහ සමාජීය වශයෙන් නොසන්සුන්කාරී කාලයක, මිනිසුන් තුළ අභ්‍යන්තර සාමය ඇති කිරීම තුළින් පුළුල් එක්සත්කමක් ඇති කිරීම මෙහි බලාපොරොත්තුව බව එහි නායකයෝ පවසති. භික්ෂූන් වහන්සේලා ඉතා සන්සුන්ව, බොහෝ විට පාවහන් රහිතව ගමන් කරති. ඔවුන් විවිධ නගරවල නතර වී සතිමත් බවින් යුතුව ජීවත් වීම ගැන කෙටි දේශනා පවත්වන අතර රැස්වන පිරිසට සංකේතාත්මක ආශිර්වාද ලබා දෙති.

භික්ෂූන් වහන්සේලා සමඟ මෙම ගමනට එක්වී සිටින ආලෝකා යනු හුදෙක් සහායකයෙකු පමණක් නොව, මෙම පා ගමනේ පණිවිඩයේ සංකේතයකි. ආලෝකාගේ කතාව ආරම්භ වන්නේ ඉන්දියාවේ කොල්කටා නුවර ජනාකීර්ණ වීදිවලිනි. එහිදී ඔහු වාහන තදබදය, වෙළෙඳපොළවල් සහ නිරන්තර මිනිස් ගැවසීම් මධ්‍යයේ හුදෙකලාව ජීවත් වූ වීදි සුනඛයෙකි. 2022 වසරේදී ඉන්දියාවේ පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් පැවැත්වූ සාම පා ගමනකදී ආලෝකා මුලින්ම කැපී පෙනුණේ ඔහුගේ එක්තරා අසාමාන්‍ය හැසිරීමක් නිසාය. ඒ භික්ෂූන් වහන්සේලා වඩින මඟ දිගේ ඔවුන් පසුපස ඒමට ඔහු පටන් ගැනීමයි. කෑම සෙවීම පිණිස හෝ කුතුහලයට කෙටි දුරක් පසුපසින් යන අනෙකුත් වීදි සුනඛයන් මෙන් නොව, ඔහු නැවත හැරී ගියේ නැත.
දිනෙන් දින ආලෝකා දැඩි හිරු රශ්මිය, වැස්ස සහ කාර්යබහුල මාර්ග මධ්‍යයේ දීර්ඝ දුරක් උන්වහන්සේලා සමඟ ගමන් කළේය. ඇතැම් අවස්ථාවලදී ඔහු කෙටි වේලාවකට අතුරුදන් වුවද, නැවත පැමිණ එම පිරිස සමඟම එක් විය. එම ගමන අතරතුරදී ඔහු රිය අනතුරකට ලක්ව බරපතළ ලෙස රෝගාතුර වූ නමුත්, භික්ෂූන් වහන්සේලා තම ගමන නවත්වා ඔහුට සාත්තු සප්පායම් කර සුවය ලබන තෙක් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළහ. මාස තුනකට වැඩි කාලයක් අඛණ්ඩව එකට ගමන් කිරීමෙන් පසුව, භික්ෂූන් වහන්සේලා ඔහුව සලකනු ලැබුවේ හුදෙක් අතරමං වූ සුනඛයෙකු ලෙස නොව, තම ආධ්‍යාත්මික ගමනේ සහකරුවෙකු ලෙසය.ඔවුහු ඔහුට “ආලෝකය” යන අරුත ඇති “ආලෝකා” යන නම තැබූහ. එතැන් සිට එම ඉන්දීය වන්දනාව පුරාම ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ රැඳී සිටි අතර, පසුව ඔවුන්ගේ සාම පා ගමන ඇමරිකා එක්සත් ජනපදය දක්වා ව්‍යාප්ත වූ විට ආලෝකා එහි රැගෙන යන්නට භික්ෂූන් වහන්සේලා අමතක නොකළහ.

ඇමරිකානු සාම පා ගමන ඉදිරියට යද්දී, සිවුරු දරාගත් භික්ෂූන් වහන්සේලා අසලින්ම ගමන් කරන ආලෝකා ගැන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබුණි. ඇතැම් විට පයින් ගමන් කරන ආලෝකා, ඔහුගේ කකුලේ තිබූ තුවාලයක් නිසා විවේක ගැනීමට අවශ්‍ය වූ විට සහායක වාහනවල ගමන් කළේය. නමුත් ආලෝකාට නිතැතින්ම අවශ්‍ය වූයේ භික්ෂූන් වහන්සේලා සමඟ පා ගමනේ යෑමටය.
භික්ෂූන් වහන්සේලා සහ ආලෝකා මෙම දීර්ඝ සාම පා ගමනින් ඉදිරියට යද්දී, වර්ජිනියා ප්‍රාන්තයේ හෙන්රිකෝ ප්‍රාන්තය (Henrico County) පසුකර යන අවස්ථාවේදී ආලෝකාට සුවිශේෂී ඇගයීමක් හිමි විය. එහිදී හෙන්රිකෝ ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආලෝකා වෙත පොලිස් ලාංඡනයක් (Police pin) සහ “සත්ත්ව ආරක්ෂක පොලිස්” (Animal Protection Police) නිල ලාංඡනයක් පිරිනමන ලදී.
මෙම උපහාරය පිරිනැමීම සිදු වූයේ 2026 පෙබරවාරි මස මුලදී වන අතර, ඒ වන විට භික්ෂූන් වහන්සේලා වොෂින්ටන් ඩී.සී. නගරය දෙසට සිය ගමන අඛණ්ඩව සිදු කරමින් සිටියහ. ආලෝකා සහ මෙම සාම පා ගමනට සම්බන්ධ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා පසුව මෙම පුවත බෙදාගෙන තිබුණි.
භික්ෂූන් වහන්සේලා සහ ආලෝකා පෙබරවාරි මැද භාගයේදී ගමන නිම කිරීමට සැලසුම් කර තිබුණද, ඔවුන්ගේ ගමනේ වේගය නිසා බලාපොරොත්තු වූවාට වඩා කලින් වොෂින්ටන් වෙත ළඟා වීමට හැකි වී තිබේ. පෙබරවාරි මුල වන විට ඔවුන් වර්ජිනියා ප්‍රාන්තයේ ෆ්රෙඩ්රික්ස්බර්ග් (Fredericksburg) සහ ස්ටැෆර්ඩ් (Stafford) ප්‍රදේශ පසුකරමින් සිටි අතර, ජනාකීර්ණ ප්‍රදේශ මැදින් ඔවුන්ගේ ආරක්ෂිත ගමන තහවුරු කිරීමට බලධාරීන් මාර්ග උපදේශන පවා නිකුත් කළහ.

මාර්ගය දෙපස සිටින ජනතාව ඔවුන්ව ඉතා ගෞරවයෙන් පිළිගනිති. වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයේදී දහස් ගණන් ජනතාව රැස්වී, ඇතැම් පිරිස් මල් පූජා කරමින් සහ තවත් පිරිසක් භාවනා වැඩසටහන්වලට එක්වෙමින් ඔවුන්ව පිළිගත්හ. රජයේ නිලධාරීන් සහ අනෙකුත් ආගමික නායකයන් ද ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමෙන් පෙනී යන්නේ මෙම ගමන ආගමික සීමාවන් ඉක්මවා ගිය එකක් බවයි.
මෙම සතියේ වැදගත්ම පුවත වන්නේ වොෂින්ටන් ජාතික දේවස්ථානය විසින් සැලසුම් කර ඇති සර්ව ආගමික පිළිගැනීමේ උත්සවයයි. දේවස්ථානයේ වෙස්ට් ලෝන්හිදී (West Lawn) මහජනයා සඳහා විවෘත ආශීර්වාදාත්මක වැඩසටහනක් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. ඉන්පසු ආගමික නායකයන් සමඟ පැවැත්වෙන මෙම හමුව, බෞද්ධ සීමාවලින් ඔබ්බට ගිය එකමුතුකමේ ප්‍රබල සංකේතයක් වනු ඇත.
මෙම සිදුවීම වැදගත් වන්නේ එය ඇමරිකානු අගනුවර පවතින ප්‍රමුඛතම ආගමික ස්ථානයක පැවැත්වෙන නිසා පමණක් නොවේ. එයින් පෙනී යන්නේ මෙම සාම පා ගමන බෞද්ධ ආගමික මුහුණුවරක් ලෙස ආරම්භ වී, දැන් විවිධ ජනයා අතර සංහිඳියාව සහ සුවපත් වීම පිළිබඳ පුළුල් පණිවිඩයක් ලෙස මහජන අවධානයට ලක්ව ඇති බවයි.
සාම පා ගමනේ මූලික අරමුණ ෆෝට් වර්ත් හි විහාරස්ථානයෙන් තැබූ පළමු පියවරේ සිටම වෙනස් වී නැත. එනම්, සාමය යනු පුද්ගලයෙකුගේ හදවතේ ඇති වන නිහඬ වෙනසක් බවත්, කුඩා යහපත් ක්‍රියාවලින් මුළු සමාජයම යහපත් කළ හැකි බවත් ලොවට පෙන්වා දීමයි. මෙය කිසිදු ආගමික පටු බෙදීමක් නොමැති, එක් ආගමක් තවත් ආගමකට වඩා උසස් ලෙස පෙන්වීමට උත්සාහ නොකරන ගමනක් බව සංවිධායකයෝ අවධාරණය කරති. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ කරුණාව, දයාව සහ පොදු මනුෂ්‍යත්වය ගැන මිනිසුන්ට සිහිපත් කර දීමටයි.

ආලෝකා සුනඛයා ගැන ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඔහු කිසියම් විශේෂිත දහමක් නියෝජනය කරන නිසා නොව, ඔහුගේ පැමිණීම එම සාමයේ පණිවිඩයට ආදරණීය බවක් එක් කරන බැවිනි.
ගමනේ මුල් භාගයේදී ආලෝකාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුවද, ඔහු දිගටම ගමනට දායක විය. එයින් නොපසුබට උත්සාහය සහ සන්සුන්ව සිටීම ගැන හොඳ ආදර්ශයක් ලැබුණි.
බෞද්ධ සාහිත්‍යයේ එන ‘කුක්කුර ජාතකය’ වැනි කතා මඟින් සතුන්ගේ බුද්ධිමත් බව සහ සදාචාරාත්මක බව ගැන කියවේ.
ඇතැමුන් ආලෝකාව “බෝධිසත්ව සුනඛයෙකු” ලෙස හඳුන්වන අතර, එය බුදු දහමට අනුව වඩාත්ම නිවැරදි නිර්වචනයක් නොවුවද ආලෝකාගේ කැපවීම අගය කිරීමට භාවිතා කරන ආදරණීය නාමයක් ලෙස සඳහන් කළ හැකිය.
මුළු ගමන පුරාම භික්ෂූන් වහන්සේලා විවිධ කාලගුණික තත්ත්වයන්, පාළු ගම්බද මාර්ග සහ ශාරීරික මෙන්ම මානසික ශක්තිය පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවන්ට මුහුණ දුන්හ.
සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතා ගමන නිරීක්ෂණය කරන පිරිස් පවසන්නේ, දිනකට සැතපුම් 15-20ක් පමණ ගමන් කරන උන්වහන්සේලාගේ මෙම ගමන තුළ විශාල විනයක් මෙන්ම ජනතාව සමඟ සුහදව කටයුතු කිරීමේ විවෘත බවක් ද පවතින බවයි.

දැන් වොෂින්ටන් ඩී.සී. නුවරට ළඟා වීමට ඇත්තේ සැතපුම් කිහිපයක් පමණි. එබැවින් පෙබරවාරි 10-11 කාලය තුළ විවිධ භාවනා වැඩසටහන් සහ සර්ව ආගමික රැස්වීම් සංවිධානය කර ඇත. සාම පා ගමනේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය පිටු මඟින් කාලසටහන් සහ ස්ථාන පිළිබඳ නිතර තොරතුරු යාවත්කාලීන කරනු ලබයි.
වොෂින්ටන් නුවරදී දින දෙකක වැඩසටහන් මාලාවක් පැවැත්වේ. එයට ජාතික දේවස්ථානයේ වැඩසටහන මෙන්ම “නැෂනල් මෝල්” (National Mall) සහ ලින්කන් ස්මාරකය අසල පැවැත්වෙන පොදු භාවනා වැඩසටහන් ද ඇතුළත් වේ. මෙම ස්ථාන තෝරාගෙන ඇත්තේ මුළු ලෝකයටම එකමුතුකමේ පණිවිඩය ලබා දීමටයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා බස් රථයකින් නැවත ටෙක්සාස් බලා වැඩම කරති. එහිදී උන්වහන්සේලා බස් නැවතුමේ සිට විහාරස්ථානය දක්වා කුඩා පා ගමනකින් වැඩම කිරීමෙන් මෙම වන්දනාව සංකේතාත්මකව නිම කරනු ඇත.
සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ලැබුණද, ඇතැම් පිරිස් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි දේශපාලන නායකයන් මේ සඳහා සහභාගී වේදැයි ප්‍රශ්න කරති. එහෙත් මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව එවැනි කිසිදු දේශපාලන සම්බන්ධයක් තහවුරු වී නැත. මෙය දේශපාලන සිදුවීමකට වඩා ආධ්‍යාත්මික සහ ප්‍රජා සත්කාරක ව්‍යාපාරයක් ලෙසම පවතී.
පෙබරවාරි මාසය ගෙවී යද්දී, මෙම සාම පා ගමන හුදෙක් භෞතිකව අවසන් වූ ගමනක් පමණක් නොව, මුළු ලෝකයටම ඉදිරිපත් කරන ලද සාමයේ ආරාධනාවක් ලෙස ඉතිරි වනු ඇත. මෙම වේගවත් නිමාව සහ ඉහළ මට්ටමේ සර්ව ආගමික වැඩසටහන් එක්වීම නිසා මෙම ගමන හුදෙක් නගරයකට පැමිණීමකට වඩා, කරුණාව සහ සහජීවනය ගැන ගැඹුරින් සිතන මොහොතක් බවට පත්ව තිබේ. ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා භික්ෂූන් වහන්සේලා සහ ආලෝකා ගමන් කළ මාර්ගයම දැන් ඔවුන් ලොවට දුන් සාමයේ පණිවිඩයේ කොටසක් බවට පත්ව ඇත.

ගමන නිම කිරීමෙන් පසු වුවද, සාමය යනු අප ළඟා විය යුතු ගමනාන්තයක් නොව එය ප්‍රායෝගිකව පුහුණු කළ යුතු දෙයක්ය යන අදහස ජනතාව අතර පවතිනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
පෙබරවාරි මාසය ගෙවී යද්දී, මෙම සාම පා ගමන හුදෙක් භෞතිකව අවසන් වූ ගමනක් පමණක් නොව, මුළු ලෝකයටම ඉදිරිපත් කරන ලද සාමයේ ආරාධනාවක් ලෙස ඉතිරි වනු ඇත. මෙම වේගවත් නිමාව සහ ඉහළ මට්ටමේ සර්ව ආගමික වැඩසටහන් එක්වීම නිසා මෙම ගමන හුදෙක් නගරයකට පැමිණීමකට වඩා, කරුණාව සහ සහජීවනය ගැන ගැඹුරින් සිතන මොහොතක් බවට පත්ව තිබේ. ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා භික්ෂූන් වහන්සේලා සහ ආලෝකා ගමන් කළ මාර්ගයම දැන් ඔවුන් ලොවට දුන් සාමයේ පණිවිඩයේ කොටසක් බවට පත්ව ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක