ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් චිත්‍රපටයක්


ආසියාවේ ඉතා බලවත් නායකයකු ලෙස සැලකෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කීරීමේ සූදානමක් ගැන පසුගිය දා ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා වුණා. එම චිත‍්‍රපටය නිශ්පාදනය කරන Silver Cast Creations නැමැති චිත‍්‍රපට සමාගම මේ බව අනාවරණය කර තිබුණේ සුවිශේෂී අවස්ථාවක යි. එනම් පසුගිය 17 වැනි දින මෝදි සිය 75 වැනි උපන් දිනය සැමරූ අවස්ථාවේ යි.

වසර 10 කට වැඩි කාලයක් අඛණ්ඩව බලය රඳවා ගැනීමට සමත්ව සිටින අගමැති මෝදි ඉන්දියාවේ ඉතා ජනප‍්‍රිය සහ බොහෝ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වූ නායකයකු බව රහසක් නොවෙයි. ඒ නිසා මෙම චිත‍්‍රපටය බොහෝ දෙනා තුළ විශාල උනන්දුවක් ඇති කරන්නක් වනු ඇති බව නිසැක යි.

අගමැති මෝදි

සිනමාපටය නම් කර ඇත්තේ ”මා වන්දේ” (Maa Vande) යනුවෙන්. මෙහි ”මා” යන්නෙන් මව යන්නත්, ”වන්දේ” යන්නෙන් වැඳීම යන්නත් අදහස් වෙනවා.මෝදි සහ ඔහුගේ මව වූ හීරබන් අතර පැවැති ඉතා සමීප බැඳීම චිත‍්‍රපටයෙන් නිරූපනය වන ප‍්‍රධාන කාරණාවක් වනු ඇති බව සඳහන්. තම මවගෙන් සිය ජීවිතයට ලැබුණු ශක්තිය සහ ආභාෂය ගැන මෝදි බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා.

සිනමාපටය නම් කර ඇත්තේ ”මා වන්දේ” (Maa Vande) යනුවෙන්. මෙහි ”මා” යන්නෙන් මව යන්නත්, ”වන්දේ” යන්නෙන් වැඳීම යන්නත් අදහස් වෙනවා.

මෝදි සහ ඔහුගේ මව වූ හීරබන් අතර පැවැති ඉතා සමීප බැඳීම චිත‍්‍රපටයෙන් නිරූපනය වන ප‍්‍රධාන කාරණාවක් වනු ඇති බව සඳහන්. තම මවගෙන් සිය ජීවිතයට ලැබුණු ශක්තිය සහ ආභාෂය ගැන මෝදි බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා.
අගමැති ධුරයට පත් වීමෙන් පසුව පවා ඔහු නිතර සිය මව බැලීමට යමින්, ඇයගේ දුකසැප සොයා බැලූ ආකාරය ගැනත්, ඇයගෙන් තමාගේ කටයුතුවලට ආශීර්වාද ලබා ගත් ආකාරය ගැනත් බොහෝ අවස්ථාවල වාර්තා වුණා.

”මා වන්දේ” චිත‍්‍රපටයෙන් නිරූපනය වනු ඇත්තේ මෝදි ගේ ලමා කාලයේ සිට ඔහු අගමැති ධුරයට පත් වූ කාලය දක්වා කතාව බවයි සඳහන් වන්නේ.

ජශෝදාබන්

චිත‍්‍රපටය ගැන මාධ්‍ය වාර්තා කළ අවස්ථාවේ කා තුළත් විශාල කුතුහලයක් ඇති කළ කාරණයක් වූයේ අගමැතිවරයාගේ චරිතය නිරූපනය කරන නළුවා කව්ද යන්න යි. මලයාලම් නළුවකු වන උන්නි මුකුන්දන් මෙම චරිතය සඳහා තෝරාගෙන ඇති බවයි නිශ්පාදන සමාගම සඳහන් කර ඇත්තේ.
37 වැනි වියෙහි පසුවන ඔහු මෑත කාලයේ විශාල ආකර්ෂණයක් දිනා ගත් නළුවෙක්.
2022 වසරේ තිරගත වූ ඔහුගේ Malikappuram චිත‍්‍රපටය සහ 2024 වසරේ ප‍්‍රදර්ශණය වූ Marco චිත‍්‍රපටය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් ඉහළ ආදායම් උපයන්නට සමත් වුණා.

චිත‍්‍රපටයක මෝදි වැනි නායකයකුගේ චරිතය රඟපෑමට ලැබීම සිනමා නළුවකුට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම එය ඉතා අභියෝගාත්මක කටයුත්තක් ද වනු ඇති බව අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මන්ද යත්, ඔහු එය කෙතරම් සාර්ථකව රඟපානවා ද යන්න ගැන බොහෝ දෙනා මහත් අවධානයෙන් සිටිනු ඇති නිසා. මුකුන්දන් මේ අභියෝගය ජය ගතහොත් එයින් ඔහුගේ රංගන දිවියට විශාල දීප්තියක් එක්වනු ඇති බව නිසැකයි.

”මා වන්දේ” අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ක‍්‍රාන්ති කුමාර් නැමැති තෙලිගු අධ්‍යක්ෂවරයා විසිනු යි. ඔහුත් ජාතික සිනමා සම්මාන පවා දිනාගෙන ඇති සිනමාකරුවෙක්.

මව සමග

නරේන්‍ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඉතා නාටකීය සිදුවීම් බහුල එකක් බව රහසක් නොවෙයි. ඔහු ළමා කාලයේ ගුජරාත් ප‍්‍රාන්තයේ වද්නගර් නැමැති දුම්රිය ස්ථානයේ ඔහුගේ පියා ගේ තේ අලෙවිසලක පියාට උදව් කරමින් කටයුතු කළ බවට කතාවක් තිබෙනවා. 1950 සැප්තැම්බර් 17 වැනි දින ඔහු උපන්නේ එතරම් ධනවත් පවුලක නොවෙයි. අධ්‍යාපනික වශයෙන් සහ සමාජයීය වශයෙන් පසුගාමී සමාජ කොට්ඨාශයකට යි ඔහුගේ පවුලත් අයත්ව තිබුණේ.

උන්නි මුකුන්දන්

මෝදි ගේ පියා ගේ නම දමෝදර්දාස් මූල්චාන්ද් මෝදි. ඔහු මුලින් දුම්රිය ස්ථානයක සහ බස් නැවතුම් ස්ථානයක තේ විකුණන්නකු ලෙස සේවය කළ බවත් පසුකාලයේ තමාගේම තේ අලෙවිසලක් පවත්වාගෙන ගිය බවත් සඳහන්.

මෝදි දරුවන් සය දෙනෙකුගෙන් යුතු පවුලක තුන් වැනි දරුවා යි. ඔහු වයස අවුරුදු 18 දී විවාහ වීමත් ඔහුගේ ජීවිතයේ තවත් විශේෂ සිදුවීමක්. ඒ ආකාරයෙන් දරුවන් ලාබාල වියේදී ම විවාහ කර දීම මෝදි අයත් වූ සමාජයේ සම්ප‍්‍රදායක්. මව්පියන් ඔහුට විවාහ කර දුන්නේ ජශෝදාබන් චිමන්ලාල් නැමැති යුවතියක්. නමුත් ඔවුන්ගේ විවාහය සාර්ථක විවාහයක් වූයේ නැහැ. විවාහ වූ විගසම වාගේ මෝදි නිවසින් පිට වී ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල සැරිසරන්නට පටන්ගෙන තිබුණා. අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමේ වුවමනාවක් ඒ කාලයේ ඔහුට තිබූ බවයි පැවසෙන්නේ. මෝදිගේ මවත් අධ්‍යාත්මික පැත්තට බර ඉතා සරළ කාන්තාවක වූ බව සඳහන්. විවාහයෙන් පසු නිවසින් පිට වූ මෝදි හිමාල අඩවියේ හින්දු ආශ‍්‍රම වැනි තැන්වලත් කාලය ගත කළ බව පැවසෙනවා.

ඔහු කෙමෙන් දේශපාලන කටයුතු වෙත නැඹුරු වී තිබුණේ මෙම කාලයෙන් පසුව යි.

ඔහු සහ ජශෝදාබන් නීතියෙන් දික්කසාද වී නැහැ. නමුත් ඔවුන් විවාහයෙන් පසු එකට කාලය ගත නොකළ බවයි සඳහන් වන්නේ.

මෝදි පළමු වරට අගමැති ධුරයට පත් වූයේ 2014 වසරේ යි. ඒ, ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන භාරතීය ජනතා පක්‍ෂයෙන්. ජනතාව අතර ඉතා ජනපි‍්‍රය, ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයකු වූ ඔහු අද දක්වා වසර 11 ක් අඛණ්ඩව ඉන්දියාවේ අගමැති ධුරය හොබවා තිබෙනවා. පිට පිට තුන්වරක්ම මැතිවරණ ජයගනිමින් ඔහු අගමැති ධුරයට පත් වුණා.

මෝදි තරුණ කාලයේ

ජශෝදාබන් පසුව ගුරුවරියක ලෙස කටයුතු කර තිබුණා. මේ වනවිට විශ‍්‍රාමික දිවියක් ගත කරන ඇය ඇගේ සොහොයුරෙකු ගේ නිවසක දිවි ගෙවන බව පැවසෙනවා. ඇය ආගම වෙත නැඹුරු වූ ජීවිතයක් ගත කරන බවත් සඳහන්. සිය සැමියාගේ වැඩකටයුතු ගැනත් ඇය උනන්දුවක් දක්වනවා ලු.

මෝදි පළමු වරට අගමැති ධුරයට පත් වූයේ 2014 වසරේ යි. ඒ, ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන භාරතීය ජනතා පක්‍ෂයෙන්. ජනතාව අතර ඉතා ජනපි‍්‍රය, ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයකු වූ ඔහු අද දක්වා වසර 11 ක් අඛණ්ඩව ඉන්දියාවේ අගමැති ධුරය හොබවා තිබෙනවා. පිට පිට තුන්වරක්ම මැතිවරණ ජයගනිමින් ඔහු අගමැති ධුරයට පත් වුණා.

ඔහුගේ ජීවිතයේ මෙම අපූරු නාට්‍යමය සිදුවීම් ‘මා වන්දේ’ චිත‍්‍රපටයට ඇතුළත් වනු ඇති අතර එය පේ‍්‍රක්‍ෂක ආකර්ශණය දිනාගන්නා චිත‍්‍රපටයක් වනු නිසැක යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර