ඉරාන යුද්ධය ඉවරයක් වෙන්නේ කවදා ද?

ඉරාන යුද්ධය ඉවරයක් වෙන්නේ කවදාද යන්න මේ වනවිට අප වැනි රටවල ජනතාවට ද ඇති ලොකුම ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මන්ද යත්, මැද පෙරදිග මේ යුද්ධය දැන් අපේ ජීවිත ද අවුල් කරන්නට පටන් ගෙන ඇති නිසා ය. තෙල් මිල, ගෑස් මිල මේ වනවිටත් වැඩි වී ඇති අතර ඉදිරියේ දී වෙනත් භාණ්ඩවල මිල ගණන් ද, විදුලි බිල් ආදිය ද වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

කෙසේ නමුත් මේ වනවිට බොහෝ විශ්ලේෂකයන් ගේ අදහස වී ඇත්තේ මෙය දිග් ගැස්සුණු යුද්ධයක් බවට පත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි.

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ඝාතනය වීමෙන් පසු ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග නම්‍යශීලී ආකාරයෙන් කටයුතු කරන නායකයකු පත් වී මෙම ගැටුම සමතයකට පත් වීමට ඉඩ ඇති බව මුලින් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් ගේ විශ්වාසය විය. නමුත් අලී කමේනීගෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූයේ එවැනි නම්‍යශීලී කෙනෙකු නොව දැඩි මතධාරියකු සහ දැඩි ඇමරිකා-ඊශ්‍රායල විරෝධියකු ලෙස සැලකෙන මොජ්ටබා කමේනී ය. මෙය ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට හෝ වුවමනා ආකාරයෙන් කටයුතු කිරීමට ඉරානය සූදානම් නැති බව ඉතා පැහැදිලිව පෙන්වා දුන් කාරණයක් විය. එමෙන්ම සිතූ තරම් ඉක්මනින් යුද්ධය අවසන් නොවනු ඇති බවට මුලින්ම ලැබුණු සංඥාව ද එය වූයේය.

ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කමේනී

මේ අතර බොහෝ දෙනා සිතුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල යුද බලය ඉදිරියේ ඉරානය ඉක්මනින් පසුබානු ඇතැයි කියා ය. ඩොනල්ඩ් ට්‍රම්ප්, බෙන්ජමින් නෙතන්යාහු වැනි නායකයන් පවා සිතන්නට ඇත්තේ එසේ යි. නමුත් ඉරානය දැන් පෙන්වමින් සිටින්නේ ඊට වඩා බෙහෙවින් වෙනස් තත්වයකි. බොහෝ දෙනා විස්මයට පත් කරමින් ඔවුන් දරුණු ලෙස ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරය දැකිය හැකි වේ. මේ තත්වය තුළ සතුරු පාර්ශ්ව එකිනෙකා වෙත එල්ල කරගන්නා ප්‍රහාර අඩු වනු වෙනුවට තවත් වැඩි වෙමින් ඇති ආකාරයක් දැකගන්නට ලැබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්

පසුගිය දිනවල ඇමරිකා- ඊශ්‍රායල ප්‍රහාර නිසා ඉරානයේ ප්‍රධානම පෙලේ නායකයෝ දෙදෙනෙක් මරණයට පත් වූහ. ඒ අලී ලරිජානි සහ ඉස්මයිල් ඛතිබ් යන දෙදෙනා යි. 17 වැනි දින ඝාතනය කෙරුණු ලරිජානි ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වූ අතර යුද්ධයට අදාල තීන්දු තීරණ ගැනිමේ ක්‍රියාවලියේ ප්‍රධානම චරිතයක් විය. එවැනිම ප්‍රබල චරිතයක් වූ ඛතිබ් එරට බුද්ධි කටයුතු පිලිබඳ අමාත්‍යවරයා වූයේය. ඔහු ඝාතනය කෙරුණේ 18 වැනි දින යි.

සිය පාලන තන්ත්‍රයේ මෙවැනි ප්‍රබල සාමාජිකයන් මිය යද්දීත් ඉරානය පසුබැසීමට සූදානම් බවක් පෙන්වන්නේ නැත. ඔවුන් එල්ල කරමින් සිටින ප්‍රහාරවල අඩුවක් පෙනෙන්නේ ද නැත. ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ ඉරානය මේ සියල්ලට මුහුණ දෙමින් යුද්ධය ඇදගෙන යාමට සමත්ව ඇති බවකි. යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බවට බොහෝ දෙනා තුළ තිබූ අපේක්ෂාවන් මේ තත්වය තුළ බිඳ වැටෙමින් තිබෙනු දැකිය හැකි වේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු

ලොව බොහෝ දෙනා බියට පත් කළ තවත් කාරණයක් වී ඇත්තේ දෙපාර්ශ්වය එකිනෙකාගේ ගෑස් සහ තෙල් බිම්වලට ද ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබීමයි.

ඉරානයේ සවුත් පාර්ස් (South Pars) යනු ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් බිමකි. පසුගිය 17 වැනි දින ඊශ්‍රායලය ඊට ප්‍රහාරයක් එල්ල කළේය. එයින් පසු ඊට ප්‍රතිචාරයක් ලෙස ඉරානය කටාර් හි පිහිටි රාස් ලෆාන් නැමැති ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) පිරිසැකසුම් මධ්‍යස්ථානයට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එය ද ලෝකයට LNG සපයන මධ්‍යස්ථාන අතර විශාලතම මධ්‍යස්ථානය යි.

රාස් ලෆාන්

මේ ආකාරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වීමට පටන් ගැනීමත් සමග ලෝක වෙළෙඳපොලේ තෙල්මිල සහ ගෑස් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගත්තේය. සවුත් පාර්ස් ප්‍රහාරයට පෙර ඇ. ඩොලර් 100-102 අතර පැවති බොරතෙල් බැරලයක මිල මෙම සටහන ලියන බ්‍රහස්පතින්දා වනවිට ඇ.ඩොලර් 115-119 අතර අගයකට ඉහළ ගොස් තිබිණි.

මේ අතර ගෑස් මිල ද විශාල ලෙස ඉහළ ගොස් තිබූ අතර යුරෝපයේ ගෑස් මිල 25%-35% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බවක් ද වාර්තා විය.

කටාර් හි රාස් ලෆාන් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඊට දැඩි හානි සිදුව ඇති බව සඳහන් ය. විශාල ගිනි ගැනීම් ඇතිව තිබෙනු ද මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබිණි. මෙම ප්‍රහාරය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ද තරමක් කළබල වී තිබූ බවක් පෙනිණි. නැවත කටාර් වෙත මෙවැනි ප්‍රහාර එල්ල කළහොත් සම්පූර්ණ සවුත් පාස් ගෑස් බිමම පුපුරුවා හරින බවට ඔහු අනතුරු ඇඟවූයේය.

මේ සියල්ල තුළින් පෙනෙන්නේ යුද්ධය දැන් වඩ වඩාත් ආර්ථික ඉලක්ක වෙත ද පැතිරෙමින් ඇති බව යි. මෙය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යුද්ධය ඉදිරියට කරගෙන යාම සඳහා තවත් ඇ.ඩොලර් බිලියන 200 කට වැඩි මුදලක් අනුමත කරන මෙන් ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලීමක් කර තිබේ. ධවල මන්දිරය එය අනුමත කිරීමෙන් පසු කොංග්‍රසයෙන් ද ඊට අනුමැතිය ලැබිය යුතුය. මේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් අලුතෙන් අවි නිශ්පාදනය සඳහා යෙදවෙනු ඇති බවක් ද සඳහන් ය.

මෙවැනි ඉල්ලීම් පවා යුද්ධය ඉක්මනින් අවසන් නොවනු ඇති බවට කෙරෙන ඉඟි කිරීම් ලෙස සැලකිය හැකිය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර