
උත්සව සමය යැයි වෙළඳ ප්‍රජාව විසින් හඳුන්වනු ලබන දෙසැම්බර් – අප්‍රේල් කාල සීමාව උදා වී ඇත. රටේ බොහෝ දෙනෙක් අලුත් අවුරුදු උත්සව දෙකක් ඔය කාලවකවානුවේ සමරති. ඒ ජනවාරි 1 වැනිදාට යෙදෙන සම්මත අලුත් අවුරුදු උදාව සහ අප්‍රේල් 13-14 දිනවලට යෙදෙන සම්ප්‍රදායික සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව ය. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳීමට බොහෝ දෙනෙක් පුරුදුවී සිටිති. එමෙන්ම නිවෙස් පිරිසිදු කිරීම, කෑම බීම වර්ග සෑදීම, නෑ හිතමිතුරන්ට තෑගිබෝග රැගෙන ඔවුන් බලන්නට යාම ආදී සිරිත් ද අවුරුද්ද වෙනුවෙන් සිදු කරති. මේ නිසා රටේ වෙළඳ ප්‍රජාවගේ වෙළඳාම සැලකිය යුතු ලෙස වර්ධනය වීමක් මේ වකවානුවේ සිදු වෙයි. මේ නිසාම වෙළඳුන් අතර දැඩි තරඟකාරිත්වයක් ද දැකගත හැකිය. වෙළඳාමේ තරගකාරිත්වය වැඩිවීම පාරිභෝගිකයාට වාසිදායක යැයි ආර්ථික විද්‍යාවේ ඉගැන් වේ. ඒ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට වෙළඳුන් විසින් විවිධ අලෙවි උපක්‍රම අනුගමනය කිරීම නිසා යම් යම් වාසි සහගත තත්ත්වයන් පාරිභෝගිකයින්ට සැලසෙන බැවිනි.
1986 දී අම්පාරේ රාජකාරියට මා යොමු වූ අවධියේ අපේ කොළඹ ගමන සිදු වූයේ නුවර මාර්ගයේ ය. අම්පාර සිට කොළඹට ඒමට මොණරාගල හරහා මාර්ගයක් තිබුණත් අප කවුරුත් ඉක්මනින් කොළඹ ඒමට භාවිතා කළේ මහියංගනය – හුන්නස්ගිරිය හරහා නුවරට එන සුප්‍රකට දහඅට වංගුව මාර්ගයයි. මේ මාර්ගයේ එන අපි තේ පානය කරන්නේ අම්පාරේ සිට කිලෝ මීටර් 100 ක් පමණ පැමිණි පසු හුන්නස්ගිරියේ වංගු දෙක ළඟ පිහිටි “නානා අයියාගේ” රොටි කඩෙනි. “නානා අයියා” මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ රොටි කඩේ උණු උණු රොටි සහ කොච්චි සම්බෝලය තරම් රසවත් කෑමක් මෙතෙක් මට කිසිම තැනකින් කන්නට ලැබී නැත. මේ රොටිය තවත් රසවත් වන්නේ නානා අයියාගේ හරක් මස් කරියත් එකතු වූ පසුව ය.
මෙසේ පාරිභෝගිකයින් බහුලව වෙළඳපොළ ඇසුරු කරන මේ කාල පරිච්ඡේදයේදී යම් යම් ව්‍යාපාරවලට එරෙහිව විවිධ අසත්‍ය කටකතා පැතිරවීම මඟින් එම වෙළඳසල්වලට යන පාරිභෝගිකයින් ඈත් කිරීමේ උත්සාහයන් ගැන ෆාතිමා හලල්දීන් “විනිවිද “ට ලියූ ලිපියකින් දුටු මගේ සිත යොමු වූයේ අම්පාරට ය.
1986 දී අම්පාරේ රාජකාරියට මා යොමු වූ අවධියේ අපේ කොළඹ ගමන සිදු වූයේ නුවර මාර්ගයේ ය. අම්පාර සිට කොළඹට ඒමට මොණරාගල හරහා මාර්ගයක් තිබුණත් අප කවුරුත් ඉක්මනින් කොළඹ ඒමට භාවිතා කළේ මහියංගනය – හුන්නස්ගිරිය හරහා නුවරට එන සුප්‍රකට දහඅට වංගුව මාර්ගයයි. මේ මාර්ගයේ එන අපි තේ පානය කරන්නේ අම්පාරේ සිට කිලෝ මීටර් 100 ක් පමණ පැමිණි පසු හුන්නස්ගිරියේ වංගු දෙක ළඟ පිහිටි “නානා අයියාගේ” රොටි කඩෙනි. “නානා අයියා” මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ රොටි කඩේ උණු උණු රොටි සහ කොච්චි සම්බෝලය තරම් රසවත් කෑමක් මෙතෙක් මට කිසිම තැනකින් කන්නට ලැබී නැත. මේ රොටිය තවත් රසවත් වන්නේ නානා අයියාගේ හරක් මස් කරියත් එකතු වූ පසුව ය.
මස් මාංශ අනුභව නොකරන සිල්වතුන්ට කොච්චි සම්බෝලය හා රොටි වෙනම මේසයකත්, මස් අනුභව කරන අයට හරක් මස් කරිය සමග රොටි වෙනම මේසයකත් සංග්‍රහ කිරීමට නානා අයියා වැරද්දුවේ නැත. රොටි තුනක් පමණ අනුභව කර නානා අයියාගේ උණු කහට කෝප්පය කිතුල් හකුරු කැබැල්ලක් සමග රස විඳීමටත් අපි අමතක නොකළෙමු. නානා අයියාගේ කහට එකේ නියම තේ රසය තිබුණි. ඒ කහට එකේ කවදාවත් කහට අඩු හෝ වැඩි වුණේ නැත. කහට එක ඒ විදියට හදන්නේ කෙසේදැයි ඇසූ විට නානා අයියා කිව්වේ තමන් තේ කොළ ගන්නේ තේ කර්මාන්තශාලාවෙන් බැවින් හොඳ තේ කොළ ලැබෙන බවත්, අලුත් තේ කොළ යොදමින් පමණක් තේ කෝප්පය සාදන බවත් ය.
තේ කෝප්ප දෙකක් සෑදිය යුතු නම්, තේ ගොටුවේ ඇති තේ කොළ ඉවත් කර ගොට්ට සෝදා අලුත් තේ කොළ කෝප්ප දෙකට සරිලන ප්‍රමාණයට එක් කරන බව අපි ද නිරීක්ෂණය කර ඇත්තෙමු. හරක් මස් කරිය සඳහා මස් ගෙන ඒමට නානා අයියාම නුවර මාර්කට්ටුවට එයි. ඇතැම් දිනවලට ඔහු අපේ වාහනයේ පැමිණ මාර්කට්ටුව අසලින් බැස යන්නේ මස් ගැනීමට ය. නානා අයියාගේ රොටි කඩේ පිරිසිදුකම ඉතාමත් ඉහළ ය. මේ පිරිසිදුකමත්, සංග්රහශීලීත්වයත්, ආහාරවල රසවත් භාවයත් නිසා නානා අයියාට ස්ථාවර පාරිභෝගිකයින් සෑහෙන පිරිසක් සිටියහ. ඔවුන් අතර පී. දයාරත්න මහතා, ඒ. ආර්. මන්සූර් ඇමතිතුමා, ඒ. එම්. අබ්දුල් මජීඩ් නියෝජ්‍ය ඇමතිතුමා වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ද රාජ්‍ය සේවයේ හා මහවැලි අධිකාරී සේවයේ ඉහළ නිලධාරීහුද වූහ. වඩාත් රසවත් කතාව නම්, මුස්ලිම් නානා අයියාගේ රොටි කඩයේ සංග්‍රහශීලීත්වය, පිරිසිදුකම හා ඉහළ රසය ගැන ඔත්තුව මුස්ලිම් ඇමතිවරුන් වූ ඒ. ආර්. මන්සූර් සහ අබ්දුල් මජීඩ් යන අයට පවසා ඔවුන්ව එතැනට යොමු කළේ සිංහල බෞද්ධ නායකයෙකු වූ පී. දයාරත්න ඇමතිතුමා වීම ය.
88 භීෂණ කාලයේ අප මිත්‍ර නානා අයියාගේ රොටි කඩය නාඳුනන පිරිසක් විසින් ගිනි තබා විනාශ කරන ලදී. අප මිත්‍ර නානා අයියාට වූ දේ විපරම් කර බැලූ විට ඔහුගේ ජීවිතයට හානියක් වී නැති බව පමණක් දැනගන්නට ලැබුණි. නානා අයියාගේ රොටී කඩය තිබුණේ නුවර – මහියංගන පාරේ හුන්නස්ගිරියට නගින විට දැන් සුප්‍රසිද්ධ වංගු දෙකේ රොටි කඩය පසු කරනවාත් සමග ඇති පහළ වංගුව අසලම ය. අදටත් එතැනින් යන එන සෑම මොහොතකම නානා අයියාගේ සංග්‍රහශීලීත්වය සිහිපත් වේ.
අම්පාරේ දෙවැනියට සිහිපත් වන්නේ මගේ හිතවතෙකුගේ අත්දැකීමකි. ඔහු කලක් අම්පාර නගරයේ ව්‍යාපාරයක් කරමින් සිටි අයෙකි. බෙහෙවින් නීති ගරුක අයෙකු වන මගේ හිතවතා ඕනෑම කරුණක් අරබයා ස්වාධීන මතයක පිහිටා අදහස් දක්වන්නෙකි. ඔහු කිසි දිනක රැල්ලට හෝ තම වාසියට හෝ කිසිදු බලපෑමකට තම මතය වෙනස් කරන්නේ නැති, සෘජුව ක්‍රියා කරන අයෙකි. අසාධාරණ දෙයක් දුටු විට එය පෙන්වා දෙන්නට ඔහු පැකිළෙන්නේ නැත. සිංහල බෞද්ධ අයෙකු වන ඔහු පසු කාලෙක ව්‍යාපාරවලින් ඉවත්වූ අතර මේ වන විට ස්වාධීන රැකියාවක නිරත වෙමින් සිටින්නෙකි.
එකල “වඳ කොත්තු රොටි” කතාව රට පුරා ප්‍රචලිතව තිබුණු සමයකි. බොහෝ සිංහල බෞද්ධ පිරිස් අතර මුස්ලිම් අයගේ ආපනශාලාවලින් “වඳ පෙති” නම් වන මේ ලොකයේ වත් නැති පෙති ජාතිඅයක් දමා කොත්තු සකසා සිංහල අයට දෙන බවට අසත්‍ය කටකතා පතුරුවා තිබුණු අතර, කාන්තා යට ඇඳුම්වලටත් වඳ බෙහෙත් දමා ඇතැයි පදනම් විරහිත ප්‍රචාරයක් යවමින් තිබුණි. මේ සමයේ දිනක් අප හිතවතාට අයෙකු පැවසුවේ අම්පාර නගරයට ආසන්න කුඩා කඩමණ්ඩියක ඇති මුස්ලිම් හෝටලයේ සිංහල අයට දෙන කොත්තුවට වඳ බෙහෙත් දමා දෙන බවය. එම හෝටලයේ කොත්තු රොටිය අම්පාරේ බෙහෙවින් ප්‍රසිද්ධ බැවින් බොහෝ සිංහල පිරිස් එම හෝටලයෙන් කොත්තු කෑමට පුරුදුව සිටිය හ.
මගේ හිතවතා මෙබඳු කතා කී පලියට පිළිගන්නා අයෙකු නොවේ. ඔහු ආරංචිය කිවූ අයගෙන් “ඔබ එලෙස කියන්නේ කෙසේද?” කියා විමසීය. ආරංචිය දුන් කෙනා කීවේ, “ඒ හෝටලයට කොත්තු රොටි කෑමට ගොස් සිංහලෙන් කොත්තු රොටි ඇණවුම් කළොත් ‘සිංහල කොත්තු එකයි’ කියා වේටර්වරයා ඇණවුම කොත්තු බාස්ට දෙන බවත්, එවිට කොත්තු බාස් වඳ පෙත්තක් දමා කොත්තුව දෙන බවත්” ය. තමාට ද මෙය සිදු වූ බවත්, දුන් කොත්තුව නොකා තමන් මුදල් ද ගෙවා ආපසු ආ බවත් ඔහු පැවසීය. “සිංහල කොත්තුවක්” යනුවෙන් ඇණවුම දීම වඳ පෙත්ත දැමීමට දෙන සංඥාව ලෙස ඔහුට තේරුණු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මගේ හිතවතා එවෙලේම සිතා ගත්තේ මෙය තමා විසින්ම පරීක්ෂා කර බලා නිගමනය කළ යුතු බවය. ඔහු එදිනම සවස අදාළ මුස්ලිම් හෝටලයට ගියේය. යතුරුපැදිය නවතා හෝටලයට ගොඩවී මේසයක අසුන්ගත් සැනින් වේටර්වරයෙකු ඔහු වෙත පැමිණියේ ය.
“මට කොත්තු එකක් ගන්න පුළුවන්ද?”
“සර් කෑමටද? ගෙනියන්නද?”
“කෑමට, කෑමට.”
වේටර්වරයා එතැනම සිට මහ හඬින් “සිංගල් කොත්තු එකයි!” කියා ඇණවුම කුස්සියට දුන්නේය. මේ ඇසීමෙන් කලබල වුණු මගේ මිත්‍රයා, “මේ මේ පොඩ්ඩක් ඉන්නවා, මම ඉල්ලුවේ කොත්තුවක්නේ. ඇයි ඔයා සිංහල කොත්තුවක් දාන්න කිව්වේ?”
“සර් කෑමටනේ ඉල්ලුවේ.”
“ඔව් මනුස්සයෝ, ඉතින් ඇයි සිංහල කොත්තුවක් කියලා තමුසේ කිව්වේ? මෙතන සිංහල අයට වෙනම කොත්තු හදනවාද?” මගේ මිත්‍රයා තදින් විමසුවේය.
“ෂරි ෂරි සර්, කෑමට ඕඩර් කරන්නේ සිංගල් කොත්තු තමා. ගෙනියනවා නම් පාර්සල් කොත්තු තමා. අපේ මුදලාලි කියලා තියෙන්නේ එහෙමයි.” වේටර්වරයා කැෂියර් එකේ සිටි මුදලාලි දෙසට අත දිගු කර පැවසීය.
මගේ මිත්‍රයා සැනින් කැෂියර් එකට පැමිණ, “ඇයි මුදලාලි මෙතන කෑමට එන සිංහල අයට වෙනම කොත්තු ඕඩර් කරන්න කියලා තියෙන්නේ?” කියා විමසීය. මුදලාලි පිළිතුරු දුන්නේ, “නෑ නෑ මහත්තයා, එහෙම විශේෂයක් කරන්නේ නෑ. අපි කාටත් එකම විදියටනේ කෑම දෙන්නේ” කියාය.
“එහෙනම් මොකද ඔයාගේ වේටර් මම කෑමට කොත්තුවක් ඉල්ලුවාම සිංගල් කොත්තුවක් කියලා ඕඩරේ දුන්නේ?”
මේ වන විට වේටර් ද කැෂියර් එක ළඟට ආ බැවින් මුදලාලි ඔහුගෙන් සිද්ධිය විමසීය. වේටර් පැවසුවේ අනෙක් අයට වගේම කෑමට කොත්තුවක් ඉල්ලූ විට තමා එය කුස්සියට පැවසූ බව ය. මුදලාලි මගේ මිත්‍රයාට පැවසුවේ, “මහත්තයා අපේ සාමාන්‍යයෙන් දෙන කොත්තුව ටිකක් ලොකුයි. එක්කෙනෙකුට වැඩියි. ගෙදර ගෙනියන්න ගන්න අයට ඒක ඒ විදියටම දෙනවා. මෙතන කෑමට ඉල්ලන කොට ඒ ප්‍රමාණයට කොත්තුව දැම්මොත් කෑවට පස්සේ ටිකක් ඉතිරි වෙලා ඒ ටික අහක දාන්න වෙනවා. කෑම අහක දාන එක පව් සිද්ධ වෙන වැඩක්. ඒ නිසා කෑමට කොත්තුවක් ඉල්ලුවාම කුස්සියට කියන්නේ ‘සිංගල් (Single) කොත්තුවක්’ කොත්තූ කියලයි. ගෙනියන එකක් නම් ‘පාර්සල් කොත්තුවක්’ කියලයි කියන්නේ.” මුදලාලි පැහැදිලි කළේ ය.
කරුණු පැහැදිලි වූ මගේ මිත්‍රයා, “මුදලාලි දන්නවාද? මෙතන සිංහල අයට කොත්තු දෙන කොට ‘සිංහල කොත්තුවක්’ දාන්න කියලා ඔයාලා ඒ කොත්තුවට වඳ බේත් දාලා දෙනවා කියලා කතාවක් සිංහල මිනිස්සු අතර යවලා තියෙනවා කියලා. ඇත්තටම මම ආවෙත් ඒක හරිද බලන්න. හොඳ වෙලාවට මම මුදලාලිගෙන් ඇහුව නිසා මට තේරුම් ගන්න පුළුවන් වුණා. මීට පස්සේ ‘සිංගල් කොත්තු’ නෙවෙයි ‘කෑමට කොත්තුවක්’ කියලා කුස්සියට පණිවුඩය දෙන එක කරන්න කියා ගෝලයන්ට කියන්න.”
“දැන් තේරුණානේ වැඩේ, මට එහෙනම් කොත්තුවක් දෙන්න ගෙනියන්න” කියා මගේ මිත්‍රයා කොත්තුවක් ද රැගෙන ආවේ ය.
අම්පාරේ ගොවි ජනපද වැසියෙකු හා මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක් වන සියඹලාවැව ඒ. ජී. සිරිසේන, ගල්ඔය ගොවි පරපුරේ දෙවැනි පරම්පරාවේ සාමාජිකයෙකි. ඔහුගේ පාසල් අවදියේ ඔහුගේ පියා මුහුණ දුන් අත්දැකීමක් මට පැවසීය. එකල සියඹලාවැව වැසියන් බඩු මුට්ටු ගත්තේ කල්මුණේ නගරයෙනි. කල්මුණේ ස්වර්ණාභරණ වෙළඳාම බහුලව කළේ ඉන්දීය දෙමළ ජනතාව ය. සිරි ගේ සහෝදරියකගේ විවාහ මඟුල සඳහා ස්වර්ණාභරණ ගැනීමට පියා කල්මුණේ ඉන්දීය ස්වර්ණාභරණ වෙළඳසැලකට ගියේය. ඔහු සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා ගෙලේ පළඳින මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය විය. එතැන තිබුණු ඔහුගේ සිත්ගත් මාලයේ මිල රුපියල් 1250 ක් පමණ විය. එසේ වුව ද ඔහු සතුව තිබුණේ රුපියල් නවසිය ගණනකි. ප්‍රමාණයෙන් කුඩා වූ මාලය රුපියල් නවසියයක් විය. අතේ ඇති මුදලට මිලට ගත හැක්කේ රුපියල් නවසීයේ මාලය වුණත් ඔහු සිතුවේ දියණියට රුපියල් 1250 මාලය වඩාත් ගැලපෙන බව ය.
කීපවරක්ම ඒ මාලය අතපත ගා බැලූ ඔහු, අවසානයට අතේ ඇති මුදලට කුඩා මාලය ගැනීම හැර වෙන විකල්පයක් නොවූයෙන් කුඩා මාලය දෙන ලෙස ඉල්ලා සිටියේය. ස්වර්ණාභරණ වෙළඳසැල් හිමි ඉන්දීය ව්‍යාපාරිකයා මේ ගොවි මහතා රුපියල් 1250 මාලය බොහෝ ආසාවෙන් කීප වරක්ම බලනු දුටු නිසා “මේක ඉල්ලුවාට හිත ගියේ අර 1250 මාලයට නේද?” යි විමසීය. “ඔව් මුදලාලි, මේ දුවගේ මංගල්ලයට මාලයක් ගන්න ආවේ. ඒ මාලය ලස්සනයි. ඒ වුණාට මගේ අතේ තියෙන්නේ නවසිය ගණනයි. ඒ නිසා ඔය නවසීයේ මාලය දෙන්න” යැයි පැවසුවේය.
මට ඒ කතාවලින් පෙනෙන්නේ මේ ජාති ආගම් අතර භේද හදන්න පතුරුවන කටකතා, ඔය “සිංගල් කොත්තුව” “සිංහල කොත්තුව” කරන තාලේ ඒවා බව ය.ජන වර්ගය කුමක් වුවත් සාර්ථක ව්‍යාපාරිකයා යනු පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මැනවින් සොයා බලා ඊට අනුරූපව තම වෙළඳාම සකස් කර ගන්නා කෙනෙකු මිස පාරිභෝගිකයාගේ මුදලට ලොබ බැඳි නරුමයෙක් නොවේ. ඒ නිසා පාරිභෝගිකයන් ලෙස මේ පතුරුවන අභූත කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගෙන කටයුතු කිරීම අපගේ කාර්යයයි.
සිය දියණියගේ විවාහයට මාලය මිලදී ගන්න යන ගල්ඔය ගොවියාගේ මුහුණ බැලූ ස්වර්ණාභරණ වෙළඳසැල් හිමිකරු, “මේ දුවගේ විවාහ මඟුල දෙසැරයක් ගන්නේ නෑනේ. ඒ නිසා දෙන්න ඕන හිත පිරෙන්න ලස්සන මාලයක්නේ. ඔය නවසීය දීලා 1250 මාලය අරගෙන ගිහින් දුවට දෙන්න. පුළුවන් කාලෙක ඉතුරු සල්ලි ගෙනැත් දෙන්න” යයි පවසා 1250 මාලය ඔහු අත තබා රුපියල් නවසීය රැගෙන ලාච්චුවට දමාගෙන සිනාසුණේය. සිරිගේ පියාට හිසේ මලක් පිපුණා වැනි සතුටක් දැනුණු බව ඔහු පැවසූ බව සිරි කියයි. කිසිම දැන හැඳුනුම්කමක් නැති ස්වර්ණාභරණ සල් හිමිකරු තමා කවරෙක්දැයි වත් නොසොයා නොබලා, කිසිදු ඇපයක් නැතිව මෙසා විශාල මුදලක් පසුව දෙන්නට කියා මාලය දීම ඔහුට සිතා ගත නොහැකි විය. ඔහු මාලයත් රැගෙන ගොස් විවාහ මංගල්‍යයත් නිම කර, ඒ කන්නයේ වී අස්වැන්න නෙලා සමුපකාරයට වී විකුණා මුදල් ගත් සැනින් කල්මුණේට ගොස් ඉතිරි රුපියල් 350 ගෙවා දැමූ බවත්, ආපසු එන විට ඒ වෙළඳසැලෙන් කැලැන්ඩරයක් ද දී තිබුණු බව සිරි මා සමග පවසා ඇත. ඒ නාඳුනන ස්වර්ණාභරණ වෙළඳසල් හිමිකරු කළ උපකාරය සමීප ඥාතියෙකුවත් නොකරන උපකාරයක් බව අදත් ඔහු පවසයි.
මට ඒ කතාවලින් පෙනෙන්නේ මේ ජාති ආගම් අතර භේද හදන්න පතුරුවන කටකතා, ඔය “සිංගල් කොත්තුව” “සිංහල කොත්තුව” කරන තාලේ ඒවා බව ය.ජන වර්ගය කුමක් වුවත් සාර්ථක ව්‍යාපාරිකයා යනු පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මැනවින් සොයා බලා ඊට අනුරූපව තම වෙළඳාම සකස් කර ගන්නා කෙනෙකු මිස පාරිභෝගිකයාගේ මුදලට ලොබ බැඳි නරුමයෙක් නොවේ. ඒ නිසා පාරිභෝගිකයන් ලෙස මේ පතුරුවන අභූත කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගෙන කටයුතු කිරීම අපගේ කාර්යයයි.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති