ශ්‍රී ලංකාවේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවයි.
කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර – උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කරන ලද අනතුරු ඇගවීම ඉවත් කර තිබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත සඳහන් කරයි.