ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන සාමාජිකයින්ගෙන් යුක්තයි.
රජයේ ජාතික ප්‍රතිපත්ති ප්රකාශනයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි යටිතල පහසුකම් ඇතුළු සිසු සුබසාධනය වර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ නිර්දේශ කිරීම මෙම කමිටුව මගින් සිදුකෙරෙනු ඇති.
එසේම එහි පාලන කටයුතු, තිරසාරභාවය, ඉගෙනුම් පරිසරය හා ඇගයීම් ක්‍රමවේදය, ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය වැනි සාධක වැඩිදියුණු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගද එමගින් නිර්දේශ කිරීමට නියමිතව තිබේ.
රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රමිතිය නගාසිටුවීම සඳහා පත්කළ නව විද්වත් කමිටුවේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකදීයි.