ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!

සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පසුගිය කාලයේ ලංකාවේත් දැවෙන ප්‍රශ්නයක් බවට පත්වුණා. අවසානයේ මිල පාලනය කිරීමට රජයට පවා මැදිහත් වෙන්න සිදු වුණා.

අපි බොහෝ විට සිතන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව අපේ වගේ රටවල පවතින නොදියුණු බව සහ වෙනත් ප්‍රශ්න නිසා මෙවැනි අර්බුද මතුවන බව යි. නමුත් ඉතා දියුණු කෘෂිකර්මාන්තයන් පවතින රටවල පවා ඇතැම් අවස්ථාවල මේ වගේ ගැටලු මතු වෙනවා. මේ දිනවල ජපානයේ ඇති වී තිබෙන උග්‍ර සහල් අර්බුදය ඊට හොඳ නිදසුනක්.

ජපානයේ මෙම  අර්බුදය කෙතරම් දරුණු තත්වයකට පත්ව ඇත් ද යත් එරට සහල් මිල ජනතාවට  දැරිය නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා. කිලෝ 5 ක සහල් මල්ලක මිල ජපාන යෙන්  4,285 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජපානයේ මාධ්‍ය වාර්තා කරන්නේ.  මෙය ලංකා මුදලින් ගණන් බැලුවහොත් රුපියල් 9,000 කට ආසන්න මුදලක්. පසුගිය වසරේ මේ කාලය වනවිට පැවති සහල් මිල මේ වනවිට දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

ජපානයේ මෙම  අර්බුදය කෙතරම් දරුණු තත්වයකට පත්ව ඇත් ද යත් එරට සහල් මිල ජනතාවට  දැරිය නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා. කිලෝ 5 ක සහල් මල්ලක මිල ජපාන යෙන්  4,285 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජපානයේ මාධ්‍ය වාර්තා කරන්නේ.  මෙය ලංකා මුදලින් ගණන් බැලුවහොත් රුපියල් 9,000 කට ආසන්න මුදලක්. පසුගිය වසරේ මේ කාලය වනවිට පැවති සහල් මිල මේ වනවිට දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

සහල් මිල මේ තරම් ඉහළ යාම ජනතාව තුළ මහත් කෝපයක් සහ නොසන්සුන්කමක් ජනිත කර ඇති අතර මීට අදාළව ඇති වූ සිද්ධියක් නිසා එරට කෘෂිකර්ම ඇමැතිවරයාට ගෙදර යාමටත් සිදු වුණා.

තාකු එතෝ නැමැති ඇමතිවරයාට මෙවැනි අකරතැබ්බකට මුහුණ දෙන්නට සිදු වුණේ සහල් ගැන විහිළුවක් කරන්නට යාම නිසා යි. තමාට නම් කිසි විටෙක වෙළෙඳපොලෙන් සහල් මිල දී ගන්නට සිදු නොවන බවත්, තමාගේ ආධාරකරුවන් තමාට ඇති වෙන්නට සහල් තෑගි දෙන බවත් ඔහු මීට ටික දිනකට පෙර එක්තරා උත්සවයකට සහභාගි වූ අවස්ථාවක ප්‍රකාශ කර තිබුණා. ඔහු මෙය කියා තිබුණේ විහිළුවක් හැටියට වුවත් මේ වනවිට ජපානයේ පවතින්නේ සහල් ගැන විහිළු කළ හැකි පරිසරයක් නොවෙයි.  බොහෝ දෙනා ඇමති ගේ ප්‍රකාශය විවේචනය කරමින් ඊට විරෝධය දැක්වීමට පටන් ගත්තා.

“දේශපාලනඥයන් කවදාවත් වෙළෙඳසල්වලින් හාල් මිල දී ගන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට ජනතාවගේ පීඩනය තේරෙන්නේ නෑ”  එක් ජපාන වැසියකු එලෙස  පවසා තිබුණා.

තමා කළේ නොමනා විහිළුවක් බව පිලිගනිමින්  තාකු එතෝ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබුණත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. එරට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පවා සූදානම් වූ අතර ඊට පෙර එතෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තා.

සහල් මිල පිලිබඳ ප්‍රශ්නය මේ වනවිට කෙතරම් සංවේදී ප්‍රශ්නයක් වී ඇත් ද යන්න මේ සිදුවීම තුළිනුත් පිලිඹිබු වෙනවා.

ජපාන ජනතාව දැන් කාලයක සිටම තමුන් ගේ එදිනෙදා වියදම් ඉහළ යාමේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. සහල් මිල දැරිය නොහැකි ආකාරයෙන් ඉහළ යාමත් සමග මේ පීඩනය තවත් උග්‍ර වී තිබෙනවා. සමහරුන් මේ වනවිට බත් කෑම අඩු කර ඇති බවත් වාර්තා වෙනවා.

ජපාන ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහතට ඇද දැමීමටත් මේ  සහල් අර්බුදය හේතු වී ඇති ආකාරය දැකගත හැකියි.

මෙම අර්බුදය ඇති වීමට රජයේ වැරදි ඇස්තමේන්තුවක් හේතු වී ඇති බවටත් අදහස් පළ වී  තිබුණා.

රට තුළ  සහල් සඳහා පවතින ඉල්ලුම පිළිබඳව රජය නිරන්තරයෙන් ඇස්තමේන්තු ප්‍රසිද්ධියට පත් කරන බවයි සඳහන් වන්නේ. එසේ ප්‍රසිද්ධියට පත් කරන්නේ ගොවීන් වුවමනාවට වඩා වැඩියෙන් සහල් නිශ්පාදනය කිරීම වැලැක්වීම සඳහා යි. කෙසේ නමුත්  පසුගිය වසරේ මෙම ඇස්තමේන්තුවල දෝෂ පැවති බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබුණා. සහල් සඳහා ඉල්ලුම ටොන් මිලියන 6.8 ක් වනු ඇති බවයි රජය ඇස්තමේන්තු කර තිබුණේ. නමුත්  සැබෑ ඉල්ලුම ඊට වඩා වැඩි වී තිබුණා. එක් ආර්ථික විද්‍යාඥයකු පවසා තිබුණේ සහල්වලට තිබූ සැබෑ ඉල්ලුම ටොන් මිලියන 7.05 ක් පමණ වූ බවයි.

හිටපු ඇමැති තාකු එතෝ

ඒ අතර ගොවීන්  නිශ්පාදනය කර තිබුණේ ඇස්තමේන්තු කළ ටොන් මිලියන 6.8 ටත් වඩා අඩු ප්‍රමාණයක්.  එම ප්‍රමාණය ටොන් මිලියන 6.6 ක් පමණක් වූ බැව් වාර්තා වෙනවා. රටේ පැවති අයහපත් කාලගුණික තත්වය ද සහල් නිශ්පාදනයට බල පා තිබුණා. රට තුළ දරුණු සහල් හිඟයක් ඇති වී තිබුණේ මෙම ප්‍රශ්න හේතුවෙනු යි.

සහල් සඳහා වන ඉල්ලුම පසුගිය කාලයේ  ඉහළ යාමට හේතු වී තිබුණේ රටට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව වැඩි වීම,  ජපාන ජාතිකයන් අතර ද පසුගිය කාලයේ සහල් පරිභෝජනය ඉහළ යාම වැනි තත්වයනු යි.

සහල් මිල වැඩි වීම බත් ප්‍රධාන ආහාරය වන බොහෝ රටවල  ඉතා සංවේදි කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය  ආණ්ඩු බිඳ වැටීමට පවා හේතු වන බව රහසක් නොවෙයි.  ජපානයේ ද අතීතයේ එවැනි සිදුවීම් සිදු වී තිබෙනවා.

මෙම තත්වය තුළ ජපානයට පිටරටින් සහල් ආනයනය කිරීමට පවා සිදුව තිබුණා. දකුණු කොරියාවෙන් සහල් ආනයනය කළ බවයි සඳහන් වන්නේ. ජපානය මේ ආකාරයෙන් සහල් ආනයනය කර තිබුණේ වසර 25 කට පමණ පසු පළමු වතාවට යි.

බොහෝ සුපිරි වෙළෙඳසැල් ඔවුන්ගේ  පාරිභෝගිකයන්ට යම් සීමා පනවා ඇති බවත් වාර්තා වෙනවා. එක් කෙනෙකු එක් සහල් බෑගයකට වඩා මිල දී නොගන්නා ලෙස මෙම වෙළෙඳසැල් දැනුම් දී තිබෙනවා.

සහල් මිල වැඩි වීම බත් ප්‍රධාන ආහාරය වන බොහෝ රටවල  ඉතා සංවේදි කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය  ආණ්ඩු බිඳ වැටීමට පවා හේතු වන බව රහසක් නොවෙයි.  ජපානයේ ද අතීතයේ එවැනි සිදුවීම් සිදු වී තිබෙනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර