ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ජනප්‍රියතම නවාංගයක් වන නාගරික ආහාර අතරේ වීදි ආහාර (Street Foods) වලට මුල් තැනක් හිමි වන බව රහසක් නොවේ. අද වන විට එහි අංක එකේ සන්නාමය වනුයේ විවෘත ආර්ථිකයත් සමඟ අප ජන සමාජයට පිවිසි කොත්තු රොටියයි. දෙමළ බසින් කැබලිවලට කැඩීම හෝ තැලීම යන අරුත ගෙනෙන “කුත්තු/කොත්තු” යන වදනින් අප සමාජය හඳුනාගත් කොත්තු රොටි යනු රස ගණනාවක සම්මිශ්‍රණයකි. එළවළු, බිත්තර, කුකුළු, හරක් මස් හෝ මාළු සහ විවිධ කුළුබඩු එක්කර සකසන හොද්දක් සහිත නිසා මෙයට ආවේණික වූ කටට කෙළ උනන රසයක් ඇත. එසේම අද වන විට චීස් කොත්තු, පාලන්ඩි කොත්තු සහ ඩොල්පින් කොත්තු වැනි විවිධ මාදිලි ගණනාවකින් මෙය විවිධාංගීකරණය වී තිබේ.
කොත්තු සකස් කරන විට නැඟෙන “ටක ටක” යන තහඩු ශබ්දය ශ්‍රී ලංකාවේ බොහෝ නගරබද ප්‍රදේශවල රාත්‍රී කාලයේදී ඇසෙන, අසන්නවුන් තුළ ආහාර රුචිය දනවන ඉතා හුරුපුරුදු හඬකි. පාරිභෝගිකයා ඉදිරිපිටම නැවුම්ව සකස් කර උණු උණුවෙන්ම පිළිගැන්වීම මත එය ක්ෂණික ආහාරයක් (Fast Food) ලෙස ද ඉහළම මට්ටමකට පත්ව තිබේ. මෙය සජීවී ලෙස දැකගත හැකි සූප ක්‍රමයක් (Live Cooking) වීම එහි ජනප්‍රියත්වය තවත් ඉහළ නැංවීමට සමත්ව තිබේ. එමෙන්ම අද සමාජයේ බොහෝ දෙනකුට දරාගත හැකි සාමාන්‍ය මිලකට ලබාගත හැකි නිසා ඕනෑම ආර්ථික මට්ටමක සිටින අයෙකුට මෙහි රස බැලීමට හැකි වීම ද මෙහි සාතිශය ජනප්‍රියත්වයට හේතු වී තිබේ. අද වන විට මෙම කොත්තු රොටිය සමාජමය වශයෙන් ව්‍යාප්ත වී තිබේ ද යත්, අප රටේ තරු පන්තියේ ඇතැම් හෝටල්වල පවා ‘කොත්තු නයිට්’ (Koththu Night) ආදී වශයෙන් හඳුන්වන තේමාගත ආහාර සැණකෙළි (Theme Nights) පවත්වනුයේ කොත්තු රිද්මය පදනම් කරගත් සංගීතාංග ද එක්කර ගනිමිනි. එමෙන්ම අද වන විට ලෝක ප්‍රකට කෝලා බීම සමාගම් පවා සිය ප්රචාරක කටයුතුවල දී කොත්තු රොටිය මඟින් තම බීමවලට අනියම් ප්රචාරක වාසි ලබා ගන්නා පුවරු අවන්හල්වල ප්‍රදර්ශනය කරනුයේ කොත්තු රොටියට වර්තමානයේ හිමිව ඇති ඉහළ ජනප්‍රියත්වය නිසා ය.

කොත්තු රොටි යනු හුදෙක් ආහාරයක් පමණක් නොවේ. එය ශ්‍රී ලාංකික අනන්‍යතාව ලොවට ගෙන යන සංකේතයකි. විදේශිකයන් පවා ශ්‍රී ලංකාවට පැමිණි විට අනිවාර්යයෙන්ම රස බලන ආහාරයක් ලෙස කොත්තු රොටිය ප්‍රසිද්ධ ය. මිතුරන් හෝ පවුලේ අය සමඟ රාත්‍රී කාලයේ දී එකතු වී කොත්තුවක් භුක්ති විඳීම නූතන ලාංකිකයන්ගේ විනෝදාශ්වාදයේ කොටසක් වී ඇත. එමෙන්ම එය මත්පැන් සඳහා කටගැස්මක් ලෙස ද යොදා ගැනෙයි. අද වන විට කොත්තු රොටි යනු විදේශයන්හි පවා ශ්‍රී ලාංකික අනන්‍යතාව විදහා දක්වන ආහාරයක් බවට පත්ව තිබේ. යුරෝපය, ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව යන මහාද්වීපවල ප්‍රධාන නගරවල පවා දැන් “Sri Lankan Koththu” අලෙවි කරන බොජුන්හල් දැකිය හැකි ය.

පුරාවිද්‍යාඥ සහ සූපවේදය පිළිබඳ ඉන්දියානු මානව විද්‍යාඥ කුරුෂ් එෆ්. දලාල් (Kurush F. Dalal) පවසන්නේ කොත්තු රොටියට පදනම් වූ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය මලබාර් පොරොට්ටා රොටී, පුරාණ බටහිර ආසියාවේ අරාබි වෙළෙඳුන් සමඟ පැමිණ ඇති බවයි. කේරළය, පූර්ව ඉස්ලාමීය යුගයේ සිටම බටහිර ආසියාව සමඟ වෙළඳ සබඳතා පවත්වා ඇතැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ පොරොට්ටා පිරිපහදු කළ පිටිවලින් සාදන ලද නමුත් කේරළය තිරිඟු නිපදවන රාජ්‍යයක් නොවන බවත්, එබැවින් එහි මූලාරම්භය පැහැදිලිවම මුහුදෙන් ඔබ්බට යා යුතු බව ය. ඉන්දියානු සූපශාස්ත්‍ර මාධ්‍යවේදිනී සොනාල් වෙඩ් (Sonal Ved) ප්‍රකාශ කරනුයේ පර්සියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග තම තමන්ට ආවේණික රොටී වර්ග තනා ගන්නා බවකි. ඒ අනුව කොත්තු රොටියේ මූලික අවස්ථාව ඒ හා සම්බන්ධ බව පෙනේ.

ඉහත සඳහන් සමාජමය අගයක් හිමි කරගත් කොත්තු රොටියේ යටගියාව පිළිබඳ මට යළි සිහිපත් වූයේ අම්පාර හිටපු මහ දිසාපතිවරයකු හා ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨතමයකු වන සුනිල් කන්නන්ගර පසුගිය දිනයෙක ලියා තිබූ අම්පාරේ “සිංහල කොත්තු” කතාව කියැවීමෙනි. මනාව සාදන ලද කොත්තුවක් මෙන් රසවත් එම විස්තරයෙන් පැවසෙනුයේ, එහි මුස්ලිම් හෝටලයක ‘සිංගල්’ (Single) කොත්තුව සිංහල කොත්තු ලෙසින් හඳුන්වමින් සිංහලයන්ට අලෙවි කෙරෙන බවට සිංහල පිරිස් අතරේ පැතිර ගිය සමාජමය දුර්මතයක් ගැන ය. මෙය 2018 වසරේ අම්පාරේ මුස්ලිම් ආපන ශාලාවක් වට කරගනිමින් එක්තරා වර්ගවාදී උන්මත්තකයන් පිරිසක් නැටූ “වඳ පෙති නාඩගමේ” ම අප්‍රකට ජවනිකාවක් විය යුතු ය.

පුරාවිද්‍යාඥ සහ සූපවේදය පිළිබඳ ඉන්දියානු මානව විද්‍යාඥ කුරුෂ් එෆ්. දලාල් (Kurush F. Dalal) පවසන්නේ කොත්තු රොටියට පදනම් වූ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය මලබාර් පොරොට්ටා රොටී, පුරාණ බටහිර ආසියාවේ අරාබි වෙළෙඳුන් සමඟ පැමිණ ඇති බවයි. කේරළය, පූර්ව ඉස්ලාමීය යුගයේ සිටම බටහිර ආසියාව සමඟ වෙළඳ සබඳතා පවත්වා ඇතැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ පොරොට්ටා පිරිපහදු කළ පිටිවලින් සාදන ලද නමුත් කේරළය තිරිඟු නිපදවන රාජ්‍යයක් නොවන බවත්, එබැවින් එහි මූලාරම්භය පැහැදිලිවම මුහුදෙන් ඔබ්බට යා යුතු බව ය. ඉන්දියානු සූපශාස්ත්‍ර මාධ්‍යවේදිනී සොනාල් වෙඩ් (Sonal Ved) ප්‍රකාශ කරනුයේ පර්සියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග තම තමන්ට ආවේණික රොටී වර්ග තනා ගන්නා බවකි. ඒ අනුව කොත්තු රොටියේ මූලික අවස්ථාව ඒ හා සම්බන්ධ බව පෙනේ.
මුස්ලිම් වෙළෙඳුන් සහ පසුව දකුණු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණික කම්කරුවන් අග්නිදිග ආසියාව තුළ එහි ජනප්‍රියතාව ව්‍යාප්ත කළ බව කියනු ලබන අතර, එමඟින් රොටි කනායි, රොටි පරෝටා සහ අනෙකුත් ප්‍රභේද ඇති වූ බව ද ඇය පවසයි. රොටි කනායි (Roti Canai) යනු සකස් කරගත් පිටි ගුලිය ලේන්සුවක් මෙන් විසිරුවා තනන රොටියට කියන නමකි. ඒ අනුව මෙම රොටී අප රටේ සමහරු “ලේන්සු රොටී” ලෙස ද හඳුන්වති. එසේම අප රටේ ඒවා ගෝදම්බ රොටී ලෙස ද හැඳින්වෙනුයේ පාන් පිටි සඳහා යෙදෙන “ගෝදුම” යන නම මුල් කරගනිමිනි. මෙය තිරිඟු පිටි සඳහා සංස්කෘත භාෂාවෙන් යෙදෙන “ගෝධුම” යන වදනින් බිඳී ආවකි.
කොත්තු පරෝටා හෙවත් කැබලි කරන ලද පරෝටා යනු සෑම කටගැස්මකම රසය, සුවඳ මත උද්යෝගය පුබුදු කරන ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු වීදි ආහාරයකි. තමිල්නාඩුවෙන් ආරම්භ වූ මෙම ආහාරය, එළවළු සහ කරපිංචා මුසු කොට සාදා ඇත. ඒ අනුව කොත්තු රොටි නිර්මාණය වූයේ සැලසුම් සහගතව නොව, ආහාර ඉතිරි වීම (Waste Management) වළක්වා ගැනීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. එදින විකුණා ඉතිරි වූ පරෝටා රොටි කැබලි, එළවළු සහ මස් හොදි එකට මිශ්‍ර කර නැවත රත් කර තුන්වන පන්තියේ ආහාරයක් ලෙස සකස් කිරීමෙන් මෙය ආරම්භ විය. මුල් කාලයේදී මෙය දුප්පත් මිනිසුන්ගේ අඩු මිල ආහාරයක් ලෙස සැලකුණත්, එහි ඇති සුවිශේෂී රසය නිසා කෙටි කලකින්ම එය සමාජයේ සෑම තරාතිරමකම ජනප්‍රිය වූ බව පෙනේ.

මෙම කොත්තු රොටී අප රටට මුලින්ම හඳුන්වා දෙන ලද්දේ මඩකලපුව කාත්තන්කුඩි මුස්ලිම් ව්‍යාපාරිකයන් බවට පිළිගැනීමක් තිබේ. ඒ 1977 වසරෙන් පසුව ය. අප රටේ මුස්ලිම් ජනතාව අතුරින් මැද පෙරදිග හා බොහෝ දුරට සම සංස්කෘතික සබඳතාවක් දක්වන කාත්තන්කුඩි වැසියෝ මැද පෙරදිග ඇඳුම් විලාසිතාවලට සේම ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි ද වැඩි නැඹුරුවක් පළ කරති. විශේෂයෙන් මැද පෙරදිග කතුන් අඳින ශරීරය සම්පූර්ණයෙන්ම වැසෙන අබායා (Abaya) නම් ලිහිල් ඇඳුම කාත්තන්කුඩි කතුන් අතර බෙහෙවින් ප්‍රචලිත ය. එපමණක් නොවේ, වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කොට ඇති නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ ආකෘතිය අනුව විදේශ ආධාර මත ගොඩනඟා 2022 වසරේ විවෘත කළ අල් අක්සා මහා ජුම්මා මස්ජීඩ් පල්ලිය කාත්තන්කුඩි ඉස්ලාමීය ජන සංස්කෘතියට තීරණාත්මක බලපෑමක් කොට තිබේ. නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලිය මක්කාවේ මහා පල්ලිය සහ මදීනාවේ නබිතුමාගේ පල්ලියෙන් පසු ඉස්ලාමයේ තුන්වන ශුද්ධ ස්ථානයයි. මේ හේතුව නිසාම අද වන විට සමහරෙකු කාත්තන්කුඩිය “පුංචි මක්කම” ලෙස ද හඳුන්වනු ලැබේ. ඒ කතෝලිකයන් බහුල මීගමුව “පුංචි රෝමය” ලෙස හඳුන්වන්නක් මෙනි.
එමෙන්ම කාත්තන්කුඩි යනු නැති දෙයක් නොමැති වෙළෙඳ නගරයක් ලෙස ද අතිශයින් ප්‍රසිද්ධ වන අතර ඉස්ලාමීය අවසර සහිත හලාල් ආහාර එහි අලෙවි කෙරෙන බවට පොදු පිළිගැනීමක් තිබේ. ඒ අනුව එහි ඉතා රසවත් කොත්තු අලෙවි කෙරෙන බව මගේ ද අනුමානයයි. නමුදු මා කිසි දිනෙක කාත්තන්කුඩි කොත්තුවක රස බලා නොමැති බව ද සද්භාවයෙන්ම කිව යුතුව තිබේ. නමුත් ඉහත තත්ත්වයන් යටතේ ශ්‍රී ලාංකේය කොත්තුවේ ආරම්භය කාත්තන්කුඩියට ලබා දිය යුතු බවට පිරිසක් යෝජනා කරන අතර තවත් පිරිසක් පවසනුයේ එහි ආරම්භය අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන සමන්තුරෙයි බවයි. ඒ කෙසේ හෝ මෙම කොත්තු උපත සම්බන්ධ ගෞරවය නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන්ගෙන් උදුරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අන්‍ය ජන වර්ගවලට මුස්ලිම්වරුන් තුති පිදිය යුතු වේ.

නමුත් කොත්තු රොටිය යනු නිකම්ම ආහාරයට නොගත යුත්තක් බවත්, කොත්තු රොටිවල සැබෑ රසය තීරණය වන්නේ ඒ සමඟ ලබා දෙන සාල්නා (Salna) හොද්ද නිසා බවත් කියනු ලැබේ. සාමාන්‍ය හොද්දකට වඩා තරමක් තුනී, තද කුළුබඩු රසයකින් යුතු සාල්නා අබ, සූදුරු, මහදුරු, ඉඟුරු, ළූණු, සුදු ළූණු, කරාබුනැටි, කරදමුංගු සහ කුරුඳු පොතු, කහ කුඩු, කරපිංචා සහ රම්පේ ආදිය මුසු කොට තනන, අවසානයට පොල් කිරි ස්වල්පයක් එකතු කරගන්නා හොද්දකි. මේ අතර පොල් කිරි රහිතව සාදන කරුප්පු සාල්නා හෙවත් “කළු හොදි” ක්‍රමයක් ද පවතී.

අප රටේ බොහෝ ප්‍රදේශවල කොත්තු රොටී ද සමඟ ලැබෙන නිකම්ම නිකම් මිරිස් හොදි වතුරක් නොවන මේ සාල්නාව සම්බන්ධ ඉතා වැදගත් රහසක් ද තිබේ. එනම් මේ සඳහා යොදන සංයෝගය අරාබියේ අතිශය ප්‍රචලිත සේම ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජයේ අදටත් ප්‍රචලිත යුනානි වෙදකම හා ඍජුව සම්බන්ධ වීම ය. අතීතයේ සෙරන්ඩිබ් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකාව අරාබි වෙළෙඳුන්ගේ අතිශය ආකර්ෂණීය දූපතක් වීමට හේතුව හුදු රසකාරකයකට වඩා ඖෂධීය ගුණයක් ඇති අපේ කුළුබඩුවල සැබෑ වටිනාකම ඔවුන් දැන සිටි නිසා ය. ඒ අනුව අද පවා එලෙස නියමිත ප්‍රමිතියෙන් යුතු කොත්තුවක්, සාල්නා හොද්දක් ද සමඟ රස බලන ඔබට සැබෑ රසයක් හා පෝෂණයක් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. එමෙන්ම එවිට ප්‍රමිතියෙන් තොර කොත්තු රොටියක් කෑම නිසා පසුදා උදේ සිට වැසිකිළි, නාන කාමර තුළ වැඩි කාලයක් ගත කිරීමට සිදුවන කරදරයෙන් මිදීමට ද ඔබට හැකි වනු ඇත.

එහෙත්, එබඳු ප්‍රමිතිගත කොත්තුවක් ලබාගත හැකි ප්‍රදේශ හෝ ස්ථාන පිළිබඳ සහතිකයක් ලබා දීමට නම් මට නොපුළුවන. ඒ එමඟින් ජන මාධ්‍යයේ තිබිය යුතු වාස්තවිකත්වය (Objectivity) හෙවත් මැදහත් බවට හානි පැමිණිය හැකි බැවිනි. කොටින්ම ප්‍රදේශ හා ජන වර්ග අනුව අප සමාජයේ අවංකයන් හා කපටි කයිරාටිකයන් මිනුම් කරන මිම්මක් හෝ කෝදුවක් මා සතුව නොමැති බැවිනි.
ෆාතිමා හලල්දීන්