ඖෂධ වර්ග තුන්සියපනහක මිල අඩු කිරීමෙන් පසු නියම කරන ලද මිලට වඩා වැඩි මිලට යම් අයකු හෝ ආයතනයක් ඖෂධ අලෙවි කරනු ලබන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනිමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.
ඖෂධ වර්ග තුන්සිය පනහක (350) මිල අඩු කිරිම සම්බන්ධව ඊයේ (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ වැඩි මිලට ඖෂධ අලෙවි කිරිමක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණිලි කරන ලෙසයි.
මේ වනවිට ඖෂධ මිල අඩුවීම සම්බන්ධයෙන් ඖෂධ සැපැයුම්කරුවන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල අඩුවිය යුතු බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.
මේ වනවිට නියම කරන ලද උපරිම සිල්ලර මිලට සහ ඊට අඩුවෙන් ඖෂධ අලෙවි කිරීම ඖෂධහල් විසින් සිදුකරනු ලබන බවත් එම කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබන බවත් සභාපතිවරයා සදහන් කරයි.
ඖෂධ මිල අඩුකිරීම යටතේ ළමා රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ, දීර්ඝ කාලීන රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ, පිළිකා ඖෂධ සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව පවසයි.
ඒ අනුව පිළිකා සඳහා භාවිත කළ රුපියල් 42,000 කට තිබු නික්ෂේපන ඖෂධ මේ වනවිට රුපියල් 26332 ක් දක්වා අඩුවී ඇත.
එසේම රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක ඖෂධ මිල ගණන් අඩුවී ඇති නිසා රෝගීන්ද ඒ පිළිබඳ අවධානයෙන් ඖෂධ මිලදී ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම්දීමක් කරයි.