වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය.
මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි.
ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් තිබේ. නමුත් මෙම තත්ත්වයෙන් ගැලවීමට ඖෂධ නොමැත. කළ හැක්කේ සිදුවන දෙය තේරුම් ගැනීම සහ එයට ගැළපෙන ලෙස අපේ ජීවිතය වෙනස් කර ගැනීම ය. මේ ගැන දැනුවත් වීමෙන් මෙම අභියෝගය ජය ගැනීමට ඔබට ශක්තියක් ලැබෙනු ඇත.
නමුත් ඔබ දැනටමත් පෙරදියවැඩියාවේ ගොදුරක් වී ඇතිද නැද්ද යන්න දැනගැනීමට ක්‍රමයක් ඔබට නැත. මේ සඳහා වෛද්‍යවරයෙක් හමු වී ඔබගේ සීනි තත්වය කුමක්ද යන්න සොයා බැලිය යුතු වෙයි.
ඔබගේ ජීවිතයේ ඉදිරි සැලසුම් ගණනාවක් ඔබ දැනටමත් නිර්මාණය කර තිබෙන්නට පුළුවන. නමුත් ශරීරය දිනෙන් දින වෙනස් වෙමින් අද තිබෙන තත්ත්වයට කෙසේ හෝ පැමිණියේ ඔබේ සැලසුමකට අනුව හෝ ඔබගේ කැමැත්තට අනුව නොවෙයි නේද? ඉදිරි කාලයේ ශරීරය ගත කරන්නට යන්නේ ද ශරීරයේම සැලසුම් අනුව මිස අපේ සැලසුම් සලකමින් නොවේ. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් තිබේ. නමුත් මෙම තත්ත්වයෙන් ගැලවීමට ඖෂධ නොමැත. කළ හැක්කේ සිදුවන දෙය තේරුම් ගැනීම සහ එයට ගැළපෙන ලෙස අපේ ජීවිතය වෙනස් කර ගැනීම ය. මේ ගැන දැනුවත් වීමෙන් මෙම අභියෝගය ජය ගැනීමට ඔබට ශක්තියක් ලැබෙනු ඇත.
දියවැඩියාව විසින් ඔබට ලබා දීමට නියමිත සියලු දුක් වේදනා එලෙසින් ම ලබා දෙන්නට පෙරදියවැඩියාව නමින් හඳුන්වන මෙම තත්ත්වයට නොහැකිය. නමුත් හෘදයාබාධයක් ඇති කරවමින් ජීවිතය නැවැත්වීමට තරම් ශක්තියක්, නොඑසේ නම් අංශභාගයක් ඇති කර ඔබව සදහටම ඇඳට කොටු කරන්නට ශක්තියක් පෙරදියවැඩියාවට තිබෙන බව අමතක කළ යුතු නොවේ. මේවා සිදුවන්නේ අප කිසිසේත්ම නොසිතන වෙලාවක සහ අප නොසිතන තැනකදී ය. අප අන්ත අසරණ වන්නේ මේ හේතුව නිසා ය. යමක් සිදු වුණත් අප සාමාන්‍යයෙන් කියන්නේ “වෙන්න තියෙන දෙයක් සිදුවුණා” යනුවෙනි. එලෙස වෙන්න තියෙන දෙයක් සිදු වන්නට ඕනෙ නම් සෞඛ්‍ය පද්ධතියක්, රෝහල් පද්ධතියක් කුමකටද? ඔබත් මෙලෙස සිතන්නේ නම් එය මේ මොහොතේම නැවැත්විය යුතුය. ඒ වෙනුවට කළ යුතු දේ සහ කළ හැකි දේ සොයා බලන්න.
පෙරදියවැඩියාව යනු කුමක්ද?
හරියටම කිවහොත් මෙය දියවැඩියාව ඇත්තේත් නැති, නැත්තේත් නැති තත්ත්වයයි. එනම් “වැට උඩ ඉන්නාක්” වැනි දෙයකි. පෙරදියවැඩියාව යනු පෝෂණය පිළිබඳ ගැටලුවකි. එය සිදුවන අන්දම ගැන මුලින්ම සොයා බලමු.
“සීනි සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා ටිකක් වැඩි වෙලා” යනුවෙන් අප හඳුන්වන්නේ මෙයයි. සීනි ගොඩක් වැඩි වෙලා නම් ඒ දියවැඩියාව ය. පෙරදියවැඩියාව සහ දියවැඩියාව අතර ඇති වෙනස එයයි. පෙරදියවැඩියාව යනු “වැට උඩ ඉන්නාක් බඳු” තත්ත්වයක් බව කීවේ එනිසා ය. එබැවින් මෙය කිසිසේත්ම නොසලකා හැරිය යුතු නැති තත්ත්වයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සීනි යනුවෙන් අදහස් කරන්නේ තේ වලට මිශ්‍ර කරන සීනි නොවේ. මෙම සීනි වර්ගය හඳුන්වන්නේ ග්ලුකෝස් ලෙසිනි. එය සුදු පැහැති කුඩා සියුම් කුඩකි. මේවාත් පැණි රස ය.
පාරේ ගමන් කරන වාහන පෙට්‍රල්, ඩීසල් යන ඉන්ධන මගින් ධාවනය වන බව අපි දනිමු.
අපට වාහන මෙන් වේගයෙන් දුවන්නට නොහැකි වුණත් අපටත් ඇවිදින්නට, කඳු නඟින්නට හැකියාව තිබේ. එයත් නිකන් කරන්නට බැරිය. ඊට ඉන්ධන වර්ගයක් අවශ්‍ය වේ. ඒ පෙට්‍රල් ඩීසල් නොව ඉහතින් සඳහන් කළ ග්ලුකෝස් නමැති සීනි වර්ගය යි. අපේ ඉන්ධනය එයයි.
මේ සීනි වර්ගය ලේ වල දියවී නහරවල පවතී. මොන ආහාරය බඩට වැටුණත් අපේ ශරීරය බලන්නේ ග්ලුකෝස් නමැති සීනි වර්ගය එහි තිබෙිද යන්නය. එය පැමිණි සැණින් එක්වරම මේ සීනි වර්ගය ලේ වලට උරාගනී. ඉන්පසු ශරීරය පුරාම බෙදා හරිනු ලබයි. ශරීරයේ සෑම තැනකටම මේ සීනි වර්ගය අවශ්‍ය ය. අතපය වැඩ කරන්නේ, මොළය කල්පනා කරන්නේ හැම අවයවයක්ම වැඩ කරන්නේ මෙය ලැබෙනතුරු පමණි . ලේ වලට මේවා භාර දෙන්නේ ශරීරයේ නඩත්තුවට ය.
නමුත් දියවැඩියා රෝගීන්ට තිබෙන ප්රශ්නය වන්නේ ලේ වල ඇති මේ සීනි වර්ගය ශරීරයේ මස් පිඬු ඇතුළට රිංගවන්නට තිබෙන අසීරුව ය. නිරෝගී කෙනෙකුගේ නම් එ්වා මස්පිඬු තුළට ගමන් කරනු ඇත. නමුත් දියවැඩියා රෝගීන් ගේ ශරීරයේ මස්පිඬු ඇතුළට ග්ලූකෝස්වලට ගමන් කරන්නට බැරි නිසා ලේ නහර තුළ ඇති ලේවල සීනි මට්ටම එන්න එන්නම ඉහළ යයි. මෙය හරියටම කිවහොත් කෑම ගෙනැවිත් ගෙදර දොර ළඟම ගොඩ ගසා තිබෙන්නාක් වැනි දෙයකි. එවිට කෑම දොර ළඟම නරක් වෙමින් අවට සෑම තැනම දුගඳ පැතිරුණත් ගෙදර අය කුසගින්නේ ය.
සීනි දිගටම ඉහළ යන විට ලේ ගමන් කරන නහර ඇතුළත බිත්ති නරක් වෙන්නට පටන් ගනී. සමහර විට නහර පුපුරා යයි. ලේ කැටි මගින් නහර සිරවී යන්නටත් පුළුවන. එහි ප්‍රතිඵලය එම නහර දිගේ යන ලේ ගමන සම්පූර්ණයෙන් අඩාල වීමයි.
අපේ ශරීරය ඇතුළේ වැඩ බෙදාගෙන තිබෙන්නේ අපේ රටේ අමාත්‍යාංශ වැඩ බෙදාගෙන තිබෙන ආකාරයට ය. යම් අවයවයක රුධිර සැපයුම නැවතුනොත් එම අවයවය මිය යාමට ඉඩ ඇත. ශරීරයේ වටිනාම අවයවයක් මෙසේ ක්‍රියා විරහිත වීම නිසා ශරීරය රෝගී වීමක් හෝ ක්ෂණික මරණයක් සිදු විය හැකිවේ. සමහර අවයව කොටස්වලට පෝෂණය සඳහා ඇත්තේ එකම එක නහරයක් පමණි. එම නහරය හිරවුණු පසු එම අවයව කොටස මිය යයි.
අපේ වගකීම විය යුත්තේ ශරීරයට කරදරයක් සිදු නොකර ජීවිතය පවත්වාගෙන යාමය. අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් එය ප්‍රමාණයට වඩා වැඩි වීම කොතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙන දෙයක්දැයි ඔබ මෙතෙක් කල් දැන නොසිටියා විය හැකිය.
එක්වරම සීනි බඩට වැටෙන එක වැළැක්වීම, මේ සඳහා අපිට කළ හැකි දෙයකි. කිසිවෙක් ග්ලුකෝස් ආහාරයක් ලෙස ගත්තේ නැතත් බඩට වැටුණු ආහාරවල තිබෙන දේවල් තෝරා බේරා ගෙන ඒවායේ ඇති ග්ලුකෝස් සීනි සොයා ගැනීමට අපේ උදරය අති දක්ෂයෙකි.
අප ගන්නා ආහාරවලට උදරය තුළදී සිදුවන දේ දැන් සොයා බලමු.
තේ වලට මිශ්‍ර කරන සීනි ගැන සැලකුවහොත් මේ සීනි හඳුන්වන්නේ සුක්‍රොස් යන නමිනි. මෙම සීනි කැටයක් දියවන විට අති සියුම් අංශුමාත්ර බවට පත්වේ. ඒවා අපට පියවි ඇසට නොපෙනෙන තරම් අති සියුම් වුවද, අපේ දිවට ඒ රස දැනෙයි. ඕනෑම දෙයක තවදුරටත් කඩන්නට නොහැකි තරම් අති සියුම් අංශුමාත්රයක් අප හඳුන්වන්නේ අණුවක් ලෙස ය. මේ නිසා, මේ අංශුමාත්ර අපි සුක්රෝස් අණු ලෙස හඳුන්වමු. සුක්රෝස් අණුවක් දෙකට කැඩුවොත්, තවත් අණු දෙකක් ලැබේ. දැන් තවදුරටත් එතැන සුක්‍රොස් නැත. දැන් ලැබෙන අණු දෙකෙන් එකක් ෆ්රක්ටෝස් වන අතර අනෙක් අණුව නම් අප හොඳින් දන්නා ග්ලුකෝස් ය. පොල් ගෙඩිය බෑ දෙකකට එක්වරම කැඩෙන අයුරින් සුක්‍රොස් අනුව එක්වරම දෙකට කැඩෙයි. සීනි අංශුමාත්‍රය උදරය තුළදීම ඉතා ඉක්මනින් ග්ලුකෝස් අණුවක් බවට පත්වන අන්දම දැන් ඔබට වැටහෙනු ඇත. අපේ ශරීරය විනාශ කිරීම සඳහා මේ දේ සිදු වන්නට ඉඩ දී තවදුරටත් බලා සිටිය යුතුද?
මෙන්න මේ හේතුව නිසා අද සිට සුක්‍රොස් නම් සීනි වර්ගය අපේ තේ කෝප්පයට දැමීමෙන් සම්පූර්ණයෙන්ම අප වැළකී සිටිය යුතුය. එපමණක් නොව සීනි දමා සකස් කළ පැණි රස කෑම, අතුරුපස, කිතුල් හකුරු ඇතුළු සියලු හකුරු වර්ග, රට ඉඳි, බිස්කට්, පැණි බීම කිසිසේත්ම සිරරට හිතකර වන්නේ නැත.
මීළඟට අප නිතරම ආහාරයට ගන්නා පිටි ගැන සොයා බලමු.
බනිස්, පාන්, රොටී වැනි ආහාර සියල්ලම පාහේ සාදා ඇත්තේ තිරිඟු පිටිවලිනි. තිරිඟු ඇට කුඩු කර තිරිඟු පිටි සාදනු ලබයි. තිරිඟු ගස තුළ තිරිඟු සාදන්නේ කෙසේදැයි ඔබ දන්නවාද ?
මුතු ඇට මාලයක මුතු ඇට එකිනෙක අමුණා මාලය සාදා ඇති ආකාරයෙන් ග්ලුකෝස් අණු එකින් එක මුතු ඇටයක මාලය මෙන් ඇමිණූ කල ඔබට ලැබෙන්නේ තිරිඟු ය. තිරිඟු පිටි උදරයට වැටුණු වහාම තිරිඟු පිටි අංශුව කෑලි කෑලිවලට කඩා ග්ලුකෝස් අණු සියල්ල උදරය තුළ දී නිදහස් කරගන්නේ ඉතා ඉක්මනින්ම ය. මෙයින් ඔබට සිදුවන්නේ විපතක් බව ඔබේ උදරය දන්නේ නැත. උදරය නොපමාව ම ඉටු කරන්නේ තමන්ගේ රාජකාරිය ය.
කවුරු කෙසේ කීවත් අපට බඩගින්න නම් ඉවසන්නට නොහැකිය. කුස පිරෙන්නට යමක් ආහාරයට ගැනීම හැර වෙන විකල්පයක් ඊට නැත. අප ආහාර ගන්නේ කුස පිරෙන්නට පමණක්ද? කොහෙත්ම නැත. තවත් විවිධාකාර හේතු තිබේ. අපි රස ආහාර සොයා යන්නෙමු. පෝෂ්‍යදායී ආහාර සොයමු. වෙලාවට ආහාර ගන්නට තවත් සමහරුන් උනන්දු ය. සමහරුන් ආහාර සොයන්නේ හිත පිරෙන්නට ය. අනෙක් අයගේ හිත සතුටු කිරීමට ද ආහාර ගන්නට සිදුවිය හැකිය. ආහාරවල වටිනාකම දන්නා නිසාම කුස පිරී තිබෙන විටෙකත් බෙදාගත් බත් පත අහක දැමීමට නොහැකිකමට අමාරුවෙන් හෝ උගුරෙන් පහළට යවා ගන්නා අවස්ථා ද තිබේ. මේ සියල්ල සලකා බැලූ විට අප මෙතෙක් කල් ආහාර ගෙන ඇත්තේ කුසගින්නට පමණක්ම නොවන බව ඔබට වැටහෙනවා ඇත. මේ සියල්ල අදින් පසු අවසන් කළ යුතුය.
කුසගින්නට බඩ පිරෙන්නට ගතහැකි ආහාර කොතෙකුත් තිබේ. ඒවා එතරම් රස නැත. නමුත් බඩ පිරුණු පසු හිතට සැනසීම ලැබෙනු ඇත. එම සැනසීම කුමන දෙයක් ආහාරයට ගත්තත් එකම එක විදියට ලැබේ. ඒ සැනසීමේ වෙනසක් නැත. එයට රස ගුණ අදාළ නොවේ. පැය ගණනාවක් එහි සතුට භුක්ති විදීමට ඔබට පුළුවන.
අප ගත යුත්තේ කෙඳිවලින් බහුල ආහාරයකි. එවැනි ආහාරයකින් ඉක්මනින් බඩ පුරවා ගන්නට පුළුවන. කඩල, කව්පි, මුං ඇට, රතු කඩල උදේ ආහාරයට ගත හැකිය. දවල් ආහාරයට රතු බත් සමග එළවළු, මාළු, කුකුල් මස්, බිත්තර ගැනීම සුදුසුය. පිටි ආහාර ගැනීමෙන් වළකින්න. එනම් පාන්, බනිස් වැනි බේකරි ආහාර, රොටී, බිස්කට් වැනිදෑ මෙන්ම අල, බතල, කොස්, දෙල්, මඤ්ඤොක්කා ගැනීමෙන් ද වැළකිය යුතුය. අතුරුපස ලෙස ගත හැක්කේ එක පැපොල් කැබැල්ලක් සහ එක කෙසෙල් ගෙඩියක් පමණි. රාත්‍රී ආහාරයට තම්බපු එළවළු ගැනීම සුදුසුය. නමුත් අල සුදුසු නැත. අමුවෙන් ගත හැකි එළවළු වන්නේ සලාද, තක්කාලි, පිපිඤ්ඤා, ලූණු, මාළුමිරිස් වැනි ආහාර වර්ගයි. පරලු පාන්, සුප් වර්ග ද තවදුරටත් ගන්නට පුළුවන. ඔබ තේ, කෝපි පානය කරන කෙනෙක් නම් සාමාන්‍ය සීනි වෙනුවට සුක්‍රලෝස් නමැති සීනි වර්ගය ෆාමසියකින් ඔබට වෛද්‍ය උපදෙස් අනුව ලබාගන්නට පුළුවන. පිටි කිරි බොන්නට කැමති කෙනෙක් නම් ඒ සඳහා සුදුසු පිටිකිරි වර්ගයක් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.
අප කුඩා කල මව් කිරි බිවූ හැටි ඔබට මතක නැතත්, දැන් ඔබට මව් කිරි කෝප්පයකට දමා දුන්නොත් බොන්නට බැහැ නේද ? කුඩා අවධියේ දුවපු හැටි, උඩ පැනපු හැටි, ඔබටත් මතක තිබෙනු ඇත. නමුත් වයස්ගතවන විට ඒවා තවදුරටත් කරන්නට බෑ නේද ? දැන් ශරීරය වෙනස් වෙලා ය. වයස්ගතවන විට ආහාර රටාවත් වෙනස් විය යුත්තේ මේ නිසා ය .
ශරීරයට නුසුදුසු පැණිරස වර්ග අතුරුපස වර්ග ඔබ ඉදිරියේ ඕනෑ තරම් තිබිය හැකිය. මේවා ඔබේ ඇස් ඉදිරියට පැමිණෙන්නේ දාන ගෙදරක්, දන්සලක්, උත්සවයක්, විනෝද ගමනක් ලෙස විය හැකිය. කිසිම කරදරයක් නැතුව මේ සියලු දේ කුඩා කල අප රස විඳි අයුරු ඔබට මතක තිබෙනු ඇත. අප කුඩා කල මව් කිරි බිවූ හැටි ඔබට මතක නැතත්, දැන් ඔබට මව් කිරි කෝප්පයකට දමා දුන්නොත් බොන්නට බැහැ නේද ? කුඩා අවධියේ දුවපු හැටි, උඩ පැනපු හැටි, ඔබටත් මතක තිබෙනු ඇත. නමුත් වයස්ගතවන විට ඒවා තවදුරටත් කරන්නට බෑ නේද ? දැන් ශරීරය වෙනස් වෙලා ය. වයස්ගතවන විට ආහාර රටාවත් වෙනස් විය යුත්තේ මේ නිසා ය . වෙනස් වුණු ශරීරයට ගැළපෙන ආකාරයෙන් ඉදිරියට යාමෙන් ලෙඩ දුක් කරදරවලින් තොර දීර්ඝ අනාගතයක් සකස් කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.
මෙම තත්ත්වය යටතේ මාස කීපයක් ගතවන විට ලේ වල සීනි පහළ බසින අතර ශරීරයේ අනවශ්‍ය බර ද බසින්නේ නිරායාසයෙනි. වෙනදා නොතිබුණු ශරීර සුවපහසුවක් ඔබට අත්විඳින්නට හැකි වෙයි. එනම් සිත සතුටින් දවස ගෙවන්නට හැකිවේ. මෙතැනින් එහාට ඔබට නොගැළපෙන ආහාරයක් කිසිම කෙනෙකුට ඔබට බලෙන් ශරීරගත කිරීමට නොහැකිය . බුද්ධිමත් ඔබ ඒ සඳහා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැත. දිගින් දිගටම සුදුසු ආහාරවලට පමණක් හුරු වූ පසු කිසිම ප්‍රශ්නයක් මතු නොවේ. නව ජීවන රටාවට ඔබ අනුගත වන්නේ ඔබවම පුදුමයට කරවමිනි. දැන් පෙරදියවැඩියාවට ඔබව දියවැඩියාව කරා රැගෙන යා නොහැක්කේ පෙරදියවැඩියාව ද දැන් ඔබ තුළ නැති නිසා ය.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම – ඉන්දු පෙරේරා