පිළිකා උවදුරෙන් මිදෙන්න පුළුවන්

vinivida

මෑතක දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ වැදගත් ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පමණක් නොව සමස්ත සමාජයටම බලපාන භයානක සත්‍යයක් හෙළිදරව් කළේය. ඒ අනුව, මෙරට දිනකට පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනාගන්නා බවත්, එමගින් වසරකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 35,000ක් පමණ වන බවත්ය. මෙම විශාල සංඛ්‍යාවෙන් 13,000කට ආසන්න ප්‍රමාණයක් මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන බවත් රටේ සමස්ත ඖෂධ වියදමෙන් 30%ක් වැනි දැවැන්ත මුදලක් මෙම රෝගය වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇති බවත් ඔහු පවසා සිටියේය.

මෙම තත්ත්වය සරල සෞඛ්‍ය ගැටලුවකට වඩා රටේ ආර්ථිකයට සහ සංවර්ධනයට ඍජුවම බලපාන ජාතික අර්බුදයක් බව පැහැදිලිය. විශේෂයෙන්ම වයස අවුරුදු 30ත් – 70ත් අතර රටේ සක්‍රීය ජනගහනයෙන් වැඩිම පිරිසක් මිය යන්නේ බෝ නොවන රෝග හේතුවෙන් වන අතර, එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ ප්‍රධානතම මරණ හේතුව වී ඇත්තේ ද පිළිකාවයි.

මෙම තත්ත්වය සරල සෞඛ්‍ය ගැටලුවකට වඩා රටේ ආර්ථිකයට සහ සංවර්ධනයට ඍජුවම බලපාන ජාතික අර්බුදයක් බව පැහැදිලිය. විශේෂයෙන්ම වයස අවුරුදු 30ත් – 70ත් අතර රටේ සක්‍රීය ජනගහනයෙන් වැඩිම පිරිසක් මිය යන්නේ බෝ නොවන රෝග හේතුවෙන් වන අතර, එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ ප්‍රධානතම මරණ හේතුව වී ඇත්තේ ද පිළිකාවයි.

ශ්‍රී ලංකාවේ පිළිකා ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට, ගෝලීය වශයෙන් රටවල් සහ කලාප අතර තත්ත්වය කෙබඳුදැයි දැන ගැනීම වැදගත් වේ. පිළිකා රෝගීන්ගේ ව්‍යාප්තිය තක්සේරු කිරීමේදී වයසට අනුව ප්‍රමිතිකරණය කරන ලද සිදුවීම් අනුපාතය (Age-Standardized Rate – ASR) භාවිත වේ. මෙම දත්ත මත පදනම්ව, ඉතා ඉහළ මානව සංවර්ධන දර්ශකයක් (Very High HDI) ඇති රටවල්වල පිළිකා සිදුවීම් අනුපාතය ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි.

පිළිකා සිදුවීම් අනුපාතය (ASR) අනුව ඉහළම රටවල් සහ කලාප ලෙස වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය (ඕෂනියාව), උතුරු ඇමරිකාව (එක්සත් ජනපදය, කැනඩාව) සහ බටහිර හා උතුරු යුරෝපයේ රටවල් (ඩෙන්මාර්කය, නෝර්වේ, අයර්ලන්තය) ය.

මෙම රටවල ඉහළ අනුපාතයන්ට හේතු වී ඇත්තේ දියුණු රෝග විනිශ්චය ක්‍රම මගින් මුල් අවධියේදී පිළිකා හඳුනාගැනීම, වැඩි ආයු කාලය, දුම්පානය, සහ තරබාරුකම වැන ඇතැම් ජීවන රටා බහුල වීමයි. කෙසේ වෙතත්, නව රෝගීන්ගේ සමස්ත සංඛ්‍යාව අනුව සලකන විට චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි විශාල ජනගහනයක් සහිත රටවල් ඉහළින්ම සිටී.

මෙම සංඛ්‍යා දත්ත හේතුවෙන් පැන නගින ප්‍රධානතම ප්‍රශ්නය නම්, අතීතයට සාපේක්ෂව පිළිකා රෝගීන් මෙතරම් බහුලව දකින්නට ලැබෙන්නේ ඇයිද යන්නය. එයට හේතුව සැබෑ රෝගීන්ගේ වැඩිවීම සහ හඳුනාගැනීමේ දියුණුව යන කාරණා දෙකය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි පිළිකා රෝගීන්ගේ වර්ධනයට මූලිකවම හේතු වී ඇත්තේ ජීවන රටා සහ වයස්ගත වීමේ ප්‍රවණතාවයි.

පිළිකාව යනු වයසට යෑමත් සමඟ ඇතිවීමේ අවදානම ඉහළ යන රෝගයකි. අද වන විට මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇත. මෙයින් අදහස් වන්නේ සෛලවල ජානමය දෝෂ (DNA mutations) එක්රැස්වීමට වැඩි කාලයක් ලැබෙන බවයි. අතීතයේදී හෘද රෝග හෝ ආසාදන වැනි හේතූන් මත අඩු වයසින් මියගිය පුද්ගලයන්, අද වන විට වයස්ගත වන නිසා, ඔවුන් පිළිකා අවදානමට නිරාවරණය වීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ. මෙය පිළිකා රෝගීන් සංඛ්‍යාවේ විශාලතම වැඩිවීමට බලපාන ස්වාභාවික සාධකයයි.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව ද බටහිර පන්නයේ ජීවන රටාවකට හුරු වීම මෙම වර්ධනයට ඍජුවම බලපා ඇත. දුම්කොළ සහ මද්‍යසාර භාවිතය, පෙනහළු, මුඛය, ගලනාලය සහ අක්මාව ආශ්‍රිත පිළිකා ඇතිවීමට ප්‍රධානතම වළක්වාගත හැකි හේතුව බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ පිරිමින් අතර මුඛ පිළිකා බහුල වීමට බුලත් විට සැපීමේ පුරුද්ද ප්‍රධාන හේතුවක් වී ඇත.

නුසුදුසු ආහාර පුරුදු තවත් එක් හේතුවකි. අධික තෙල් සහිත, කෘත්‍රිම රසකාරක හා කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු සැකසූ ආහාරවලට නැඹුරු වීම සහ පලතුරු, එළවළු හා තන්තු අඩු ආහාර රටා නිසා මහා බඩවැල්, ආමාශය සහ පියයුරු පිළිකා අවදානම වැඩි වී තිබේ.

තරබාරුකම සහ ශාරීරික අක්‍රියතාව ද පිළිකා වර්ධනය වන්නට හේතුවක් බවට පත්ව තිබේ. ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීම හේතුවෙන් අධික බර සහ තරබාරුකම පිළිකා වර්ග 13ක් පමණ පැන නැගීමේ අවදානම ඉහළ නංවයි. ඒ අතර ගර්භාෂ පිළිකාව, අග්නාශය ඇඩිනොකාර්සිනෝමාව, පශ්චාත් ආර්තවහරණයෙන් පසු පියයුරු පිළිකාව, මහා බඩවැලේ සහ ගුද මාර්ගයේ පිළිකාව, අක්මා පිළිකාව, වකුගඩු පිළිකාව, අග්න්‍යාශ පිළිකාව, පිත්තාශ පිළිකාව, ආමාශ පිළිකාව, තයිරොයිඩ් පිළිකාව, ඩිම්බකෝෂ පිළිකාව, මෙනින්ජියෝමා සහ මල්ටිපල් මයිලෝමා වේ.

පාරිසරික බලපෑම් ද පිළිකා රෝගය ඇති වීමට හේතුවක් වී තිබේ. වායු දූෂණය සහ කර්මාන්තශාලා හා කෘෂිකාර්මික කටයුතු හරහා රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම ද පිළිකා කාරක සාධක ලෙස ක්‍රියා කරයි.

වර්තමානයේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇතැයි පෙනීමට දෙවන ප්‍රධාන හේතුව වන්නේ අපේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව දියුණු වීමයි. අතීතයේ CT/MRI ස්කෑන් හෝ නිවැරදි පටක පරීක්ෂණ වැනි ක්‍රම නොතිබුණු නිසා, බොහෝ අභ්‍යන්තර පිළිකා හඳුනා නොගැනුණි. අද වන විට ශ්‍රී ලංකාව තුළ පිළිකා ලේඛන (Cancer Registries) මගින් රෝගීන්ගේ දත්ත නිවැරදිව වාර්තා කිරීම සිදුවේ. එබැවින් අතීතයේ මෙන් රෝගීන්ගේ තොරතුරු මග හැරී යන්නේ නැත.

මෙම ජාතික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, රෝගය වැළැක්වීම සහ කල් ඇතිව හඳුනාගැනීම පිළිබඳව ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යය.

ඉන් මුල් තැනක් ගන්නේ මුල් අවධියේදී හඳුනාගැනීම (Screening) ය.බොහෝ පිළිකා මුල් අවධියේදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි හෝ සාර්ථකව කළමනාකරණය කළ හැකිය. ඒ සඳහා රෝග ලක්ෂණ පහළ වීමට පෙර නිතිපතා පරීක්ෂණවලට (Screening) සහභාගී වීම වැදගත් ය. පියයුරු පිළිකා පිළිබඳ සඳහන් කළහොත් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් සඳහා නිතිපතා මැමෝග්‍රෑම් (Mammogram) පරීක්ෂණ සිදු කළ යුතුය. එමෙන්ම ගැබ්ගෙල පිළිකා සඳහා විවාහක කාන්තාවන් නිතිපතා පැප් ස්මියර් (Pap Smear) පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යය. මහා බඩවැල් පිළිකා සඳහා අවදානම් සාධක ඇති හෝ වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් මළපහ සමග මිශ්‍රවී පැමිණෙන රුධිරය පරීක්ෂා කිරීම සිදු කළ යුතු වේ.

සමස්තයක් වශයෙන් ගත කල, දිනකට රෝගීන් 100ක් වාර්තා වීමේ ඛේදනීය සංඛ්‍යාලේඛනය වෙනස් කිරීමේ වගකීම රජයට පමණක් පැවරිය නොහැක. දුම්කොළ, මත්පැන් සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදුවලින් මිදී නිරෝගී ජීවන රටාවක් තෝරා ගැනීමෙන් සෑම පුද්ගලයෙකුටම පිළිකාවට එරෙහි සටනට ඍජුවම දායක විය හැකිය. මන්දයත්, පිළිකාවෙන් තුනෙන් එකක්ම වළක්වාගත හැකි සාධක මත පදනම් වී ඇති බැවිනි.

ඇතැම් පිළිකා වෛරස් ආසාදන නිසා ඇති වේ. මේවා එන්නත් මගින් වළක්වා ගත හැකිය.

පුද්ගලයෙකු පහත දැක්වෙන කිසියම් ලක්ෂණයක් අත්විඳින්නේ නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ:

• සුව නොවන තුවාලයක් හෝ ශරීරයේ ඇතිවන අසාමාන්‍ය ගැටිත්තක්.

• දිගුකාලීන කැස්සක් හෝ උගුරේ ගොරෝසු බවක්.

• අක්‍රමවත් රුධිර වහනයක් (සාමාන්‍ය ඔසප් චක්‍රයෙන් පිටත යෝනි මාර්ගයෙන් හෝ මළපහ/මුත්‍රා මාර්ගයෙන්).

• ගිලීමේ අපහසුතාවක් හෝ කෑම අරුචියක්.

• හේතුවක් නොමැතිව බර අඩු වීමක්.

මෙම ව්‍යසනයට විසඳුම ඇත්තේ පිළිකා මුල් අවධියේදී හඳුනාගැනීම සහ වැළැක්වීමේ පියවර ශක්තිමත් කිරීම තුළය. ඖෂධ සඳහා වැය වන දැවැන්ත පිරිවැය පාලනය කළ හැකි හොඳම අවස්ථාව එයයි.

සමස්තයක් වශයෙන් ගත කල, දිනකට රෝගීන් 100ක් වාර්තා වීමේ ඛේදනීය සංඛ්‍යාලේඛනය වෙනස් කිරීමේ වගකීම රජයට පමණක් පැවරිය නොහැක. දුම්කොළ, මත්පැන් සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදුවලින් මිදී නිරෝගී ජීවන රටාවක් තෝරා ගැනීමෙන් සෑම පුද්ගලයෙකුටම පිළිකාවට එරෙහි සටනට ඍජුවම දායක විය හැකිය. මන්දයත්, පිළිකාවෙන් තුනෙන් එකක්ම වළක්වාගත හැකි සාධක මත පදනම් වී ඇති බැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර