මහරගම අපේක්ෂා රෝහලට මඳක් නුදුරින්, කලබලකාරීත්වයෙන් මිදුණු මාවත් මැද බලාපොරොත්තු සහ මනුෂ්‍යත්වය පිරි එක්තරා ගොඩනැගිල්ලකි. එය නමින් ‘සුව අරණ’ වේ. එය හුදෙක් ගඩොලින්, සිමෙන්තියෙන්, ගලින් ඉදි කෙරුණු ගොඩනැගිල්ලක් පමණක්ම නොවේ. එය පිළිකා මාරයාට එරෙහිව ජීවිතය සමග සටන් කරන දරුවන් සිටින පවුල් වෙනුවෙන් ඉදි වූ කෙම් බිමකි. එය සෙවණක් පමණක් නොව, ජීවිතයේ වඩාත් දුෂ්කරතම අවධියක් පසු කරමින් සිටින පවුල්වලට ගරුත්වයක්, දයාබරත්වයක් සහ සුවපත්භාවයක් ළඟා කර දෙන්නට ඇපකැප වී සිටින මිනිසුන් සිටින ආයතනයකි.
අපේක්ෂා රෝහල සමීපයේ ඉදිකොට ඇති සුව අරණ, ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවටම ඇති ප්‍රථම ළමා සහන සත්කාර පහසුකම් සපයන ආයතනය වේ. එය, පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විවේකීව, සැනසිල්ලෙන් සිටින්නට, මානසිකව ශක්තිමත් වන්නට ඉඩ හසර ලබා දෙයි.

සුව අරණ ආයතනයෙහි දැක්ම, දුක සහ අපේක්ෂාව යන ගුණාංගයන් ද්විත්වයම මුසු කරමින් උපන්නකි. එය ඉදි කරවන ලද්දේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි කථානායකවරයකු වූ කරු ජයසූරියගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය අනුස්මරණය කරනු පිණිස ‘ඉන්දිරා පිළිකා භාරය’ මගිනි. පියයුරු පිළිකාවක් වැළඳීම නිසා ජීවිතය සමග සටන් වැදී 2016 වසරේ දී එම සටනින් පරාජය වුව ද, ඇයට අත් වූ ඉරණමින් පීඩා විඳින තවත් දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිතයට සරණක් වන්නට ඇය තුළ වූ අපේක්ෂාව මල්පල ගන්වන්නට ඇගේ හිතවත්හු ඉදිරියට පැමිණියහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 ජූනි 29 වැනිදා මහල් 6 කින් යුක්ත මේ ආයතනය ජනතා අයිතියට පත් කෙරිණි.
අපේක්ෂා රෝහල සමීපයේ ඉදිකොට ඇති සුව අරණ, ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවටම ඇති ප්‍රථම ළමා සහන සත්කාර පහසුකම් සපයන ආයතනය වේ. එය, පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විවේකීව, සැනසිල්ලෙන් සිටින්නට, මානසිකව ශක්තිමත් වන්නට ඉඩ හසර ලබා දෙයි.
සුව අරණ නම් කොට ඇත්තේ නිවසින් බැහැරව ඇති තවත් නිවහනක් ලෙසිනි. එහි නාන කාමර පහසුකම් සහිත එක් පවුලකට පහසුවෙන් සිටිය හැකි කාමර 32 ක් ඇති අතර ඒවා නොමිලයේ ලබා දෙයි. රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පෝෂ්‍යදායක ආහාර ලබා දෙයි. චිත්‍ර ඇඳීම, සංගීතය සහ දරුවන් කැමති සුරතල් සතුන් සමග කාලය ගත කරමින් ඔවුන්ගේ සිතට සහනයක් ලබා දීම සිදු වෙයි. ගොඩනැගිල්ල මුදුනේ ඇති උද්‍යානය තුළ ක්‍රීඩා කරමින් රෝග පීඩා මධ්‍යයේ වුව සහනයක් අත්පත් කර ගැනීමට ඉඩකඩ වෙන් කර දෙයි. දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මානසිකව සහ ආධ්‍යාත්මික වශයෙන් සහන සැලසීමට කැප වූ කණ්ඩායමක් එහි වෙයි. ආගමික වතාවත් කිරීම සඳහා වෙනම ඉඩකි.

සුවපත් බව යනු හුදෙක් ඔසු පමණක්ම නොව, කරුණාව, එකමුතු බව සහ අසරණ තත්ත්වයට පත් පවුල්වලට නිදහසේ හුස්මක් ගන්නට, වැලපෙන්නට, බලාපොරොත්තු ඇති කර ගන්නට සහ ජීවිතය නැවත ගොඩනගන්නට අවකාශයක් ලබා දෙන්නට ඇති හැකියාව ද බව මේ ආයතනය විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවේ බොහෝ පිළිකා රෝගීන් සිටින අතර විශේෂයෙන් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සිට පැමිණෙන්නන් ආර්ථික මෙන්ම මානසික ගැටලු බොහොමයකට මුහුණ දෙති. බොහෝ විට මේ පවුල් දුර පළාත්වල සිට අපේක්ෂා රෝහල කරා පැමිණෙන අතර එක් දිනකින් නිවෙස් බලා නැවත යාමට නොහැකි බැවින් තාවකාලික නවාතැන් පලවල නතර වෙති. කෙසේ නමුත් ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා කෑම බීම, නවාතැන්වලට ගෙවීම් හෝ ඒ කාලය අතරතුර මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෝ හරිහැටි මුදල් අතේ නොමැති අවස්ථාවන් බොහොමය.
සුව අරණ මේ බර කරට ගන්නට සූදානම්ය. රෝගීන්ට තව දුරටත් රෝහලේ බංකු මත නිදා ගන්නට අවශ්‍ය නැත. මුදල් ඉතිරි කර ගැනීම සඳහා ආහාර වේල් මග හැරීමට අවශ්‍ය නැත. විෂබීජ නාශක යෙදූ රෝහල් කාමරවල කොටු වී සිටින්නට දරුවන්ට අවශ්‍ය වන්නේ නැත. ඒ වෙනුවට දැන් ඔවුන්ව උණුසුමින්, සිනහවෙන් සහ ආදරයෙන් වැළඳ ගැනීමට ආයතනයක් තිබේ.
මේ මානුෂීය ස්පර්ශය අදහා ගත නොහැකි වෙනසක් ඇති කරයි. දරුවන් ප්‍රතිකාරවලින් පමණක් නොව කතන්දර, සිනහව සහ ගී ගායනාවලින් ද ශක්තිමත් වෙයි. ඔවුන්ගේ පවුල්, වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵලවලින් පමණක් නොව ඔවුන්ට සහමුලින්ම ආගන්තුක වූ කණ්ඩායමක් විසින් ලබා දෙන ආදරය කරුණාව නිසා ද බලාපොරොත්තු ඇති කර ගනියි.
සුව අරණ මගින් සැලසෙන සුව සහනය ශ්‍රී ලාංකිකයන්ට පමණක් හිමිවන්නක් වුව ද, එය ජාත්‍යන්තර සහකම්පනය පිළිබඳ මනා පිළිබිඹුවකි. මෙය ඉදිකිරීම සඳහා වූ අරමුදල්වලින් 70% ක් පමණ වූ ප්‍රතිපාදනයක් ලබා දෙන්නට මුල් වූයේ උතුරු ඇමරිකාවේ බටහිර කලාපයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (Sri Lanka Medical Association of North America – Western Region – SLMANA-WR) යි. එය සමන්විත ව ඇත්තේ ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය වෛද්‍යවරු සහ වෘත්තියවේදීන්ගෙනි.
මේ සඳහා අරමුදල් සැපයූ තවත් ප්‍රධාන පෙළේ ආයතනයක් වන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රොෂාන් මහානාම විසින් පිහිටුවා ඇති ‘රොෂාන් මහානාම භාරයයි’. ඊට අමතරව දේශීයව සහ විදේශීයව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ මෙයට ආධාර උපකාර ලබා දෙන්නට ඉදිරිපත් වූහ.
සුව අරණ ආයතනය පිහිටුවා ගැනීමේ සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලු දෙනා එක්ව රුපියල් මිලියන 900ක් එකතු කර ගත්හ. ඔවුන්ගේ පරාර්ථකාමී දායකත්වය, ‘යමෙකුගේ දේශයට සහ මිනිසුන්ට දක්වන ආදරයේ සීමාවක් නැත’ යන සත්‍යය ඉස්මතු කර පෙන්වන්නට දායක විය.
මේ වන විට සුව අරණේ දොරගුළු විවෘතව පවතින අතර සිය සේවා සැපයීමේ චාරිකාව ආරම්භ කොට තිබේ. සහන සලසන්නන් පුහුණු කිරීම, ජංගම සහන සත්කාර සැලසීමේ සේවය සහ පිළිකා රෝගියකු සිටින පවුල්වල සාමාජිකයන්ගේ සිත සැනසවීම සඳහා උපදේශකවරුන්ගේ සේවය ලබා ගැනීම වැනි අරමුණු ඉටු කරගන්නට ඉන්දිරා පිළිකා භාරය අපේක්ෂා කරයි. එමෙන්ම මෙවැනි තවත් ආයතන දිවයින පුරා පිහිටුවීම ද මේ භාරයේ තවත් අපේක්ෂාවකි.

බොහෝවිටම, ලාභය සහ බලය මතින් පමණක් දිව යන ලෝකයක් තුළ වඩාත්ම වැදගත් වන්නේ ගරුත්වය, මනුෂ්‍යත්වය සහ ආදරය යන කාරණා බව සුව අරණ ආයතනය අපට සිහිපත් කර දෙයි. එය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය අප අතර සිටින අතිශයින් අවදානම් සහගත පිරිසකගේ හදගැස්ම සහ අපේක්ෂාවේ පහන් කණුවයි.

නමුත් මෙය ඔවුනට පමණක් තනිව කළ හැක්කක් නොවේ.
සහකම්පනය, ප්‍රජාව සහ රැකවරණය පිළිබඳ විශ්වාස කරන මිනිසුන්ට ඔවුහු මේ සඳහා ආරාධනා කරති. ඔවුහු හුදෙක් මූල්‍ය පරිත්‍යාගයන් පමණක් නොව මේ වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළ හැකි පුද්ගලයන්ට ද ඇරයුම් කරති. ස්වේච්ඡාවෙන් වැඩකටයුතු කළ හැකි අයට ද මේ සඳහා සම්බන්ධ විය හැකිය. කලාකරුවන්, අධ්‍යාපනඥයින්, ප්‍රතිකාර සලසන්නන් සහ දරුවන් වෙනුවෙන් කතන්දර කියා දෙන්නට කැමති අයවලුන්ට අසරණ දරුවන්ගේ එක් දිනයක් හෝ ආලෝකවත් කළ හැකිය.
කරුණාවෙන් පිරි සෑම කුඩා ක්‍රියාවක්ම, සෑම රුපියලක්ම, සෑම පැයක්ම, සෑම සිනහවක්ම තවත් අයකුගේ සුවපත්වීමේ ගමනට රුකුලක් විය හැකිය.
බොහෝවිටම, ලාභය සහ බලය මතින් පමණක් දිව යන ලෝකයක් තුළ වඩාත්ම වැදගත් වන්නේ ගරුත්වය, මනුෂ්‍යත්වය සහ ආදරය යන කාරණා බව සුව අරණ ආයතනය අපට සිහිපත් කර දෙයි. එය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය අප අතර සිටින අතිශයින් අවදානම් සහගත පිරිසකගේ හදගැස්ම සහ අපේක්ෂාවේ පහන් කණුවයි.
මේ පණිවිඩය ලොව පුරා පැතිරවීම තුළින් එහි දොරගුළු සැමදා විවර කර තබන්නටත් අපේක්ෂාවක් නොමැති ජීවිත තුළට සිනහව සහ ආලෝකය ළඟ කර දෙන්නටත් දායක වන්නට හැකි වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක