මිහින්තලය-අනුරපුර අටමස්ථානය තන්තිරිමලය කේන්ද්‍ර කර පොසොන් කලාපයක්

මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් මෙවර පොසොන් කලාපයක් ක්‍රියාත්මක වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතා පවසයි.

මෙවර පොසොන් උත්සවය “අනුබුදු දහමින් ලොවම නිවේවා” තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන බව ද රත්නායක මහතා සදහන් කරයි.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට ලක්ෂ දහයකට අධික ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කරනලදි. එහිදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා මෙසේ ද සඳහන් කළේය.

“2333 වැනි පොසොන් උත්සවය ලබන දහවැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලය රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරෙනවා.

අපේ බෞද්ධයන් බුදුදහම පිළිබඳ තිබෙන අනන්ත ශ්‍රද්ධාව නිසාම දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධාන කරනවා. බුදු දහමේ අර්ථය අනර්ථවත් නොවන ලෙස විකෘති නොවන ලෙස ඒ කටයුතු සිදු කිරීමට අපි තීරණය කළා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එහිදී බුදු දහමේ හරය ආරක්ෂාව වන ආකාරයට කටයුතු කරන ආකාරය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ප්‍රතිපත්තිමය පූජා ආමිස පූජා පවත්වන්න මුල් තැන දෙන්න.

බුදු දහමේ හරයට අනර්ථයක් වන හොල්මන් මන්දිර සහ ඔළුබක්කන් නැටීම වැනි දේවල් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. දන්සල්වල බෞද්ධ කොඩිය යොදා ගැනීමේදී බෞද්ධ කොඩියේ ගෞරවය විනාශ නොවන ආකාරයට යොදා ගන්න.

බෞද්ධ කොඩිය ඔසවලා තිබුණට කමක් නැහැ. මිනිස්සු නවත්තන්න බෞද්ධ කොඩි භාවිත කරන්න එපා. ඒකට කහ පාට කොඩියක් යොදා ගන්න.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගෞරවනීය නාහිමි වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතුව මේ පොහොය දින වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා.

රාජ්‍ය පොසොන් උත්සවය රජයේ මැදිහත්වීම සහ අනුග්‍රහය මත මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදු කරනවා. රාජ්‍ය පොසන් උත්සවයට මෙවර අනුරාධපුරයට ලක්ෂ දහයකට වැඩි ජනතාවක් සහභාගි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොලීසිය, ත්‍රිවිධ හමුදාව දැනටමත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා.

සහභාගි වන ජනතාවට සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සියල්ල සැපයීමට කටයුතු කර තිබෙනවා.”

කාලීන පුවත්