මේ අපේ දරුවන් සඳහා මිනිස් සමාජයක් හදන්න ලැබෙන අවසාන අවස්ථාව ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

අතීතයේ සිට අපේ සංස්කෘතිය තුළ ගුරුවරුන්ට හිමි වූයේ ඉතා ගෞරවනීය තත්ත්වයක්. ළමයි විතරක් නෙවෙයි, දෙමාපියන්ද ගුරුවරුන්ට ඒ ගෞරවය දැක්වූයේ නිතැතින්මයි. වැටුප අඩු වුණත් එය නොතකා, සමහර විට වැටුප් නොමැතිව පවා ස්වේච්ඡා ගුරුවරුන් ලෙස තවත් බොහෝ ගුරුවරුන් කටයුතු කළේ වෘත්තියේ ඇති ගෞරවනීය බව සහ දරුවන්ගේ ඇස් පෑදීමේ පින, සතුට මෙන්ම ආත්ම තෘප්තිය මුදලින් මනින්න බැරි නිසයි.

අපි පාසල් ගිය මෑත අතීතයේදී පවා අපි ගුරුවරුන්ට දැක්වුවේ අසීමිත ගෞරවයක්. ගුරුවරයකු එනකොට ඉඳි අස්නෙන් නැගිටින්න අපි පුරුදු වෙලා හිටියා. අපේ බොහෝ ගුරුවරුත් අපට දෙමාපියන්ටත් වඩා ආදරය කළා. තමන් දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නේ මුදලට නොවෙයි. පාසල් කාලයෙන් පස්සේ අතිරේක පන්ති පවත්වා ඉගැන්නුවේ කිසිදු මුදලක් ලබා නොගෙනයි. ඒ විතරක් නෙවෙයි, ඒ ගුරුවරු නිරතුරුවම තමන්ගේ ගෞරවය ආරක්ෂා වන විදිහට ඇඳුම් පැළඳුම් ඇන්දා විතරක් නෙවෙයි, පෞරුෂය ආරක්ෂා වන විදිහටත් හැසිරුණා. අපේ ලෝකයේ වීරයෝ වුණේ ගුරුවරු. අපි හිතුවේ ඒ ගුරුවරු ලෝකේ ඕනෑම දෙයක් දන්නවා කියලා. ඒ තරමට ඔවුන්ගේ පෞරුෂය ගොඩනැඟී තිබුණා.

කාලයේ ඇවෑමත් සමඟ ටියුෂන් සංස්කෘතිය ඇති වුණා. ගුරු වෘත්තිය පිළිබඳව හෝ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන මෙලොව හසරක් නොදන්නා, උගන්වීමේ ක්‍රම කිසිවක් නොදන්නා පිරිසක් තමයි මෙයට මුලින්ම යොමු වුණේ. එහිදී ඔවුන් ඉගැන්වීමේ ක්‍රම වෙනුවට බොහෝ විට තමන් ජනප්‍රිය වෙන්න විවිධ ක්‍රම සොයාගත්තා. ළමයි ඉදිරියේ අසභ්‍ය දේවල් වක්‍රව කියන්න මුලින් යොමු වූ ඔවුන්, පසුකාලීනව සෘජුවම ළමයි ඉදිරියේ අසභ්‍ය දේවල් කියන්න විතරක් නෙවෙයි, සමහර විට විෂයට කිසිසේත් අදාළ නොවන පෞද්ගලික මතිමතාන්තර පන්තිවල කියවා ඒවා අන්තර්ජාලයටත් එක් කර තිබෙනවා.

කාලයේ ඇවෑමත් සමඟ ටියුෂන් සංස්කෘතිය ඇති වුණා. ගුරු වෘත්තිය පිළිබඳව හෝ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන මෙලොව හසරක් නොදන්නා, උගන්වීමේ ක්‍රම කිසිවක් නොදන්නා පිරිසක් තමයි මෙයට මුලින්ම යොමු වුණේ. එහිදී ඔවුන් ඉගැන්වීමේ ක්‍රම වෙනුවට බොහෝ විට තමන් ජනප්‍රිය වෙන්න විවිධ ක්‍රම සොයාගත්තා. ළමයි ඉදිරියේ අසභ්‍ය දේවල් වක්‍රව කියන්න මුලින් යොමු වූ ඔවුන්, පසුකාලීනව සෘජුවම ළමයි ඉදිරියේ අසභ්‍ය දේවල් කියන්න විතරක් නෙවෙයි, සමහර විට විෂයට කිසිසේත් අදාළ නොවන පෞද්ගලික මතිමතාන්තර පන්තිවල කියවා ඒවා අන්තර්ජාලයටත් එක් කර තිබෙනවා.

සිංහල භාෂාවේ මෑත කාලීනව භාවිත නොකළ “මධ්‍යම පුරුෂ භාෂාව” සමහර ගුරුවරු භාවිත කරන්න පටන් ගත්තා. සිසුන්ගේ විනය මේ හේතුවෙන්ම පිරිහෙන්න පටන් ගත්තා. පාසල් ගුරුවරයාගේ සාම්ප්‍රදායික ප්‍රතිරූපය ගිලිහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඔවුන්ට තිබුණු ගෞරවය අඩු වුණා. තමන්ගේ අනාගතය පාදන්නේ ටියුෂන් ගුරුවරයා මිස පාසල් ගුරුවරයා නොවන බව දරුවන් විශ්වාස කරන්න පටන් ගත්තා. දෙමාපියන්ද ඒ විශ්වාසය දරන්නට පෙළඹුණා. ඒ අතර පාසල් ගුරුවරු ද ටියුෂන් පන්ති කරන්න පටන් ගත්තා. තරගකාරීව ඔවුන්ටත් සිදුවුණා අර ටියුෂන් ගුරුවරුන්ගේ තත්ත්වයටම වැටෙන්න. මේ සිදුවන සංස්කෘතික සහ සදාචාරාත්මක පිරිහීමට එරෙහි වෙන්න හෝ එය වළක්වන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම කළේ ඒවා ප්‍රවර්ධනය කිරීමයි.

ඊට පස්සේ පෞද්ගලික රූපවාහිනී නාලිකා ඇරඹීමත් සමඟ ඉතා අවර ගණයේ ටෙලි නාට්‍ය නරඹන්නන්ට මුදල් ගෙවමින් ප්‍රචාරය කළා. බොහෝ නාලිකාවල කොණ්ඩය වවාගත්, අපිළිවෙළට ඇඳගත් පාසල් ළමයින් පෙන්වමින් පාසල් ඇතුළත ප්‍රේම සබඳතා සහ ලිංගිකත්වය සාමාන්‍යකරණය කරමින් ටෙලි නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. වර්තමානයේ රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා අමු අමුවේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය පෙන්වනවා. දෙමාපියොත් දරුවන් සමඟ එකට ඉඳලා ඒවා බලනවා. එතකොට මේවා ඔක්කොම සාමාන්‍යකරණය වෙනවා. ලජ්ජාව, බය සහ සාරධර්ම නැතිවෙලා යනවා. කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. ඉස්සර රැඟුම් පාලක මණ්ඩලයක් තිබුණා. පවුලේ සියලු දෙනාට එකට ඉඳලා බලන්න පුළුවන්, සදාචාරයට පටහැනි නොවන ටෙලි නාට්‍ය විතරයි පෙන්වන්න ඉඩ දුන්නේ. සමහර ටෙලි නාට්‍ය ඒ හේතුවෙන්ම අතරමග නතර කළා. ඒත් දැන් එහෙම තත්ත්වයක් නැහැ.

මේත් එක්කම අන්තර්ජාලය සහ ජංගම දුරකථන දරුවන් අතට පත් වුණා. එයින් සිදුවූ සහ සිදුවෙමින් පවතින විනාශය මෙතෙකැයි කියන්න බැහැ. විශාල දරුවන් ප්‍රමාණයක් ජංගම දුරකථන සහ සමාජ ජාල වෙබ් අඩවි නිසා කුඩා වයසේදීම ලිංගික චර්යාවන්ට පෙළඹිලා. ප්‍රේම සබඳතා නෙවෙයි, ලිංගික සබඳතා. මේ වන විට ලංකාවේ ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරු වන ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙන්න මේක හේතුවක්. ඒ විතරක් නෙවෙයි, මේවා මගින් විශාල දරුවන් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බව නොරහසක්.

ජංගම දුරකථන සහ සමාජ ජාල වෙබ් අඩවි දරුවන්ට අහිතකර බව තේරුම් ගත් ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය වැනි රටවල් අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීම නීති මගින් තහනම් කර තිබෙනවා. මැලේසියාව, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඩෙන්මාර්කය, ඊජිප්තුව වැනි රටවල් රාශියක් මේ අවුරුද්දේ සිට ඒ තහනම ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. අපේ රටේ පළමු ශ්‍රේණියේ සිටම දරුවන් අන්තර්ජාලයට රජය මගින්ම යොමු කරන්න කටයුතු කරනවා. අන්තර්ජාලය සමඟ දුරකථනය දරුවාට දුන්නාට පස්සේ දෙමාපියන්ට නිරතුරුවම ඒ අයව නිරීක්ෂණය කරන්න බැහැ. ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පවුල්වල ඒක කොහොමත්ම කරන්න බැහැ. ඉතින් මේ දරුවන් අනාගතයේදී පත්වන ඉරණම කුමක් වේවිද කියලා හිතන එකත් හරිම අමාරු දෙයක්. මේ දක්වා වෙච්ච විනාශයට මේවාට විරුද්ධ නොවී ඇස කන පියාගෙන සිටි වැඩිහිටි අපි හැමෝම වග කියන්න ඕනෑ.

ආගමක්, ධර්මයක්, සාරධර්මයක් හෝ සංස්කෘතියක් මොකුත් ඕනෑ නැති කාලකන්නි සෑහෙන ප්‍රමාණයක් සමාජ ජාල වෙබ් අඩවිවල ඉන්නවා. ඒ අයට රටක්, ජාතියක්, පවුලක්, සමාජයක් මොකක්වත් ඕනේ නැහැ. නිදහසේ ලිංගික සම්බන්ධතා පවත්වලා, සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරලා, කුඩු පාරක් අයිස් පාරක් ගහලා, හරිහමන් රස්සාවක් කරන්නේ නැතුව අනුන්ගෙන් හරි රජයෙන් හරි කාලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේවා සාමාන්‍යකරණය කරනවා.

පාසල් ළමයෙක් තමන්ගේ මව වගේ ගෞරවයෙන් සලකන්න ඕනෑ ගුරුවරියන් කිහිප දෙනෙකු සමඟ සහ තමන්ගේම මව වැනි තමාගේ මිතුරාගේ මව සමඟ අන්තර්ජාලය භාවිත කොට ලිංගිකව හැසිරීම සුළුවෙන් තකන්න පුළුවන්ද? ඒක සාමාන්‍ය දෙයක් කියලා සාමාන්‍යකරණය කරන්න පුළුවන්ද? තමන්ගේම දරුවෙක් වගේ කෙනෙක් සමඟ එහෙම හැසිරෙන්න ගුරුවරියන්ට හෝ මව්වරුන්ට පුළුවන්ද? තමන්ට තමන්ව පාලනය කර ගත හැකි “මනසින් උසස්” හෙවත් මනුෂ්‍ය බව මේ අය අතර නැති වුණේ කොහොමද? බල්ලෝ බළල්ලු වගේ මෙලෙස හැසිරෙන්නේ කොහොමද?

නීතියෙන් වැරැද්දක් නොවුණාට ඒක සදාචාරය අතින් කොතරම් ලොකු වැරැද්දක්ද? අන්තර්ජාලය පුරා ඇති නළු නිළියන් යොදා රඟපාන ලිංගික දර්ශනවල ඒවා සිදු කරන්නේ ගුරුවරියන් සමඟ, මිතුරාගේ මව සමඟ, මිතුරාගේ බිරිඳ සමඟ, මවගේ සහෝදරිය සමඟ, ඥාති සහෝදරිය සමඟ ලෙස නම් කොට තිබෙනවා. ඉතින් මේ සමාජයේ දරුවෝ ඒවා යථාර්ථයක් කර ගන්න උත්සාහ කරනවා. මෙයට විරුද්ධ විය යුතු නැද්ද?

නීතියෙන් වැරැද්දක් නොවුණාට ඒක සදාචාරය අතින් කොතරම් ලොකු වැරැද්දක්ද? අන්තර්ජාලය පුරා ඇති නළු නිළියන් යොදා රඟපාන ලිංගික දර්ශනවල ඒවා සිදු කරන්නේ ගුරුවරියන් සමඟ, මිතුරාගේ මව සමඟ, මිතුරාගේ බිරිඳ සමඟ, මවගේ සහෝදරිය සමඟ, ඥාති සහෝදරිය සමඟ ලෙස නම් කොට තිබෙනවා. ඉතින් මේ සමාජයේ දරුවෝ ඒවා යථාර්ථයක් කර ගන්න උත්සාහ කරනවා. මෙයට විරුද්ධ විය යුතු නැද්ද?

ආගම්වලින් සිදු කළේ ස්වයං ශික්ෂණය. නමුත් අපි දැන් ඒවායින් ඈත් වෙලා. ඒවා රකින්න කාටවත් ඕනේ නැහැ, සිරිත් විරිත් මඟහැරිලා. මේ අපෙන් ගිලිහී යන්නේ අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් මිනිස් සමාජයක් හදන්න අපට ලැබෙන අවසාන අවස්ථාව නෙමෙයිද?

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

එතෙර - මෙතෙර