රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි.
රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට එම මන්ත්‍රීවරයා ඇතුළේ සිටියදීම ගිනි තැබුවේ ද ප්‍රසිද්ධියේම ය. යම්තමින් පණ බේරා ගත්තත්, ඒ මන්ත්‍රීවරයා ද එම පහරදීම් නිසාම අකාලයේ මරණයට පත් විය. එහෙත් මේ වෛරී සමාජ ප්‍රවණතාව දුරු කිරීමේ අවශ්‍යතාව හොඳින්ම පැහැදිලි කර දුන්නේ ද ඒ මන්ත්‍රීවරයාම ය. කුමාර වෙල්ගම නම් වූ ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තමා පණපිටින් පුලුස්සා මරා දැමීමට උත්සාහ කළ අයට එරෙහිව කිසිවක් නොකරන ලෙසට ය. ඒ එය ඔවුන් නොමඟ යාම නිසා සිදු කළ ක්‍රියාවක් බව පවසමිනි. ඔහු එදා කියන්නට උත්සාහ කළේ ජන මනැස නොමඟට යැවූ පසු සිදු කරන සමාජ ඛේදවාචකයන්ට පෞද්ගලිකව දඬුවම් දීම නිෂ්ප්‍රයෝජන බව ය. ඒ සඳහා ජන මනස සුවපත් කරන සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බව ඔහුගේ අදහස විය. නමුත් එම මානවවාදී පණිවිඩය සමාජගත කළ ඔහු ද එම සමාජ ඛේදවාචකයේම ගොදුරක් වී අවසාන ය.


මේ පණිවුඩය මීට පෙරම අපට ලබා ගත හැකිව තිබුණු සිද්ධීන් සමාජයේ කොතෙකුත් සිදු විය. ඒ නාඳුනන වෙඩික්කරුවන්ගේ මිනීමැරුම් ය. ඒවා එකක්වත් රහසිගතව කළ ඒවා සේ සැලකිය නොහැක. මහ දවල් දෙනෝදාහක් ගැවසෙන මහ පාරේ, කඩපිලේ කළ අමු අමු මිනීමැරුම් ය. මේවා පාතාල ලෝකයේ කල්ලි කණ්ඩායම් අතර ගැටුම් සේ හුවා දක්වමින් සැහැල්ලුවෙන් බැහැර කිරීමට පාලකයිනුත් සමාජ බහුතරයකුත් පුරුදු වූහ. එහි දෙවැනි මට්ටම අරගලයත් සමඟ කෙරුණු ගිනි තැබීම් ය. එය පාතාල ඝාතන වැලක් සමඟ අඛණ්ඩවම තවමත් සිදු වෙයි. දැන් මෙය පාතාලේ යැයි කියන අයගේ හතර වරිගය ඇතුළු නෑදෑ හිතවතුන් මරා දැමීම තෙක් දිග්ගැස්සී ඇත.

බලය සඳහා කෙරෙන මේ තිරිසන් තරගය දේශපාලනමය අරමුණු මුල් කොට කරද්දී එය සාධාරණීකරණය කිරීමට සමාජ මාධ්‍යයේ ඒ ඒ දේශපාලන අනුගාමිකයෝ ද පිරිසක් සිටිති. තම විරුද්ධවාදියා ජීවත්ව සිටියදී “නිවන් සුව” පතන්නේ ඒ මානසිකත්වයේ සිටින පිරිස් ය. එය ඔවුන්ගේ යටි සිත් තුළ පවතින වෛරය, ක්‍රෝධය, ද්වේෂය වාන් දැමීමකි. අපගේ නිරීක්ෂණයට අනුව මේ පිරිස්වල සමාජ පන්තිය ග්‍රාමීය හෝ දිළිඳු ගණයට අයත් නොවේ. බොහෝ විට මධ්‍යම පාන්තික, යම් උගත්කමක් සහිත නාගරික හා අර්ධ නාගරික පිරිස්ය. ගම තවමත් ඒ තරම් පිරිහී ඇතැයි අප සිතුවේ නැත.

බලය සඳහා කෙරෙන මේ තිරිසන් තරගය දේශපාලනමය අරමුණු මුල් කොට කරද්දී එය සාධාරණීකරණය කිරීමට සමාජ මාධ්‍යයේ ඒ ඒ දේශපාලන අනුගාමිකයෝ ද පිරිසක් සිටිති. තම විරුද්ධවාදියා ජීවත්ව සිටියදී “නිවන් සුව” පතන්නේ ඒ මානසිකත්වයේ සිටින පිරිස් ය. එය ඔවුන්ගේ යටි සිත් තුළ පවතින වෛරය, ක්‍රෝධය, ද්වේෂය වාන් දැමීමකි. අපගේ නිරීක්ෂණයට අනුව මේ පිරිස්වල සමාජ පන්තිය ග්‍රාමීය හෝ දිළිඳු ගණයට අයත් නොවේ. බොහෝ විට මධ්‍යම පාන්තික, යම් උගත්කමක් සහිත නාගරික හා අර්ධ නාගරික පිරිස්ය. ගම තවමත් ඒ තරම් පිරිහී ඇතැයි අප සිතුවේ නැත.
එහෙත් ඉකුත් 16 වැනිදා රාත්‍රියේ අසන්නට ලැබුණේ ගම ඊටත් වඩා ගව් ගණනක් එහාට ගොස් ඇති බව ඇඟවෙන ශෝචනීය පුවතකි. ඒ මිහින්තලේ සීප්පුකුලමේදී ආබාධිත වනඅලියකු ගිනි පන්දම්වලින් පුලුස්සා මරා දැමීමේ සාතිශය බිහිසුණු සිදුවීමකි. අලි බලන්නත් බලි බලන්නත් බොහෝ ආසා ඇතැයි කතාවක් ඇති අපේ සමාජය, ඒ සද්දන්තයා පණපිටින් ගිනි තබා මරා දමනු බලන්නට තරම් කරන ලද පාපකර්මය කුමක්දැයි යන්න එම රාත්‍රිය පුරාම මගේ හිතේ හොල්මන් කළ ප්‍රශ්නය විය.

රූපවාහිනී මාධ්‍යයේ හා සමාජ මාධ්‍යයේ ඒ මහා අපරාධය දැක කම්පා නොවූ සිත් පිත් ඇති අයෙකු නොසිටින බව මගේ විශ්වාසයයි. ශරීරයෙන් කොතරම් විශාල වුවද තිරිසන් මිනිසුන්ගේ කුරිරුකම ඉදිරියේ තමන් කොතරම් අසරණදැයි ඒ සද්දන්තයාට දැනුණු හැඟීම කෑගසා කිව නොහැකිය. ඒ අසරණයා ගින්නෙන් දැවෙමින් හිමිහිට ඉවතට ගියේ අඩුම තරමින් ඉන් බේරී පැන දුවන්නවත් ශක්තියක් නොතිබූ නිසා බව ඉතා පැහැදිලි ය. මේ දේ සිදු වූයේ වාහනයක් පදවාගෙන යන අතර පාර හරහා පනින කටුසු පැටවකු දැක්කත් තිරිංග පාගා ඌ බේරා ගන්න හදන මිනිස්සු සිටි රටේ ය. තමන්ගේ වගාවට හානිකර කෑම සෙවූ අග්බෝ ඇතා ඔත්පලව සිටියදී වට්ටක්කා, කැකිරි ගෙඩි, කොස්, පොල් අතු ට්‍රැක්ටර්වල පටවාගෙන ඇවිත් ඌට කන්න දුන් මිනිස්සු සිටි රටේ ය. පැසුණු කුඹුර ඔත්පල ඇතාගේ ආහාරයට දී ඌ සුවපත් වෙනු දැක සතුටු කඳුළු හෙළූ මිනිස්සු සිටි රටේ ය.


මෙහිදී මට සිහිපත් වන්නේ අප කුඩා කාලයේ තිබුණු ඒ ගොවිතැනේ දී හේන කොටා ගහකොළ වියළුණු පසු ගිනි තැබීමට දින තුනකට පෙර සිට අපේ වැඩිහිටියන් කළ අපූරු චාරිත්‍රයකි. හේනේ හතර මායිමේ රොඩු බොඩු වියළුණු කැලය සුද්ද කර හේන හා වනය පැහැදිලිව වෙන් කර, හේන වටා යමින් මහ හඬින් සියලු සතුන්ගෙන් ඉල්ලා සිටින්නේ තමා මේ හේන කෙටුවේ තමාගේත් අඹු දරුවන්ගේත් ජීවිකාව සඳහා බවත්, තව දින තුනකින් හේන ගිනි තැබීමට අදහස් කර සිටින බැවින් කුරාකුහුඹුවාගේ සිට බඩගාන, කුරගාන, පැන පැන යන, පියාඹා යන සියලු අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් තමන්ට සමාවී හේන් භූමියෙන් ඉවත් වන ලෙසටත් ය. ඉන්පසු දෙදිනකට පෙරත් එක් දිනකට පෙරත් මේ ඉල්ලීම හේන වටා යමින් සිදු කරන ගැමියෝ අවසානයේ හේනට ගිනි තබති. මෙසේ දැවී පිළිස්සී ගිය හේනේ වී, කුරහන් හෝ වෙනත් ධාන්‍ය වර්ග වපුරන ගැමියෝ වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, අල, බතල වර්ග වගා කර අස්වැන්න රැගෙන එය වල් බිහි වන්නට හරියි. ඒ ළපටි කැලය සතුන්ගේ ආහාර ගබඩාව බවට පත් වෙයි. මේ අන්දමේ කුරාකුහුඹුවාගේ පවා ආරක්ෂාවට පියවර ගෙන තම බඩවියත සඳහා ගොවිතැන් කළ ගැමියන් අතර, වනයේ සද්දන්තයා වූ අලියා ගිනිපන්දමින් පිළිස්සීමට තරම් කුරිරු හිතක් ඇති පුද්ගලයන් පහළ වීම බලවත් සමාජ ඛේදවාචකයකි. මෙම රෝගී සද්දන්තයාට ගිනි තැබීම අප ජන සමාජයේ වූ මිනිසත්කම දවා අළු කර ගැනීමකැයි කීමට අපට සිදුව ඇත්තේ එනිසා ය.

මේ ආබාධිත සද්දන්තයාට සිදු කළ විපත සුළුපටු සිද්ධියක් නොවේ. උසස් මනැසක් සහිතව ජෛව ලෝකයේ නායකත්වය දරන මිනිසා මේ අන්දමින් තිරිසන් ලෙස හැසිරෙන මට්ටමට පිරිහී තිබීම වහා ප්‍රතිකාර කළ යුතු මට්ටමේ අතිශය බරපතළ මට්ටමේ සමාජ ව්‍යාධියකි.

ග්‍රාමීය සමාජය තුළ අදටත් සිටින, අර පැසුණු කුඹුර ඔත්පල අලියාගේ ආහාරයට දන් දෙන හා ඔත්පල ඇතා බලන්නට පොල් අතු, කොස් අතු, කොස් ගෙඩි පටවාගෙන ඇවිත් කම්පා වන බහුතර ගැමියන්ගේ සහය දිනාගෙන, වනසම්පත වනසන, වනසතුන්ට හිංසා කරන තිරිසන් මිනිසුන්ට එරෙහි බලවේගය නිර්මාණය කළ යුතු ය. මේ සද්දන්තයාගේ මරණයේ කම්පනය සමස්ත වනසත්ව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් වූ ස්ථාවර වැඩපිළිවෙළක් බවට පත් කළ හැක්කේ එබඳු නව ක්‍රියා මාර්ගයකිනි. එසේ නොමැතිව මෙම සද්දන්තයාට කළ විපතට වගකිව යුතු පාපතරයන්ට එම දඬුවමම හිමි කළ යුතු බවට සමාජ ජාලවලින් ඉවක් බවක් නොමැතිව පළ වන අදහස් පදනම් ව යම් බලවේගයක් ගොඩනැඟුණහොත් තත්ත්වය මීටත් වඩා බිහිසුණු විය හැකි බව ද සියලු වගකිව යුත්තන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමි.

රටේ වන සතුන්ගේ ආරක්ෂාව නීති පොතේ පිටු පෙරළමින් පමණක් කළ හැකියැයි සිතන හා වනසතුන්ට හිංසා පීඩා සිදු වූ පසු නීතිය ක්‍රියාත්මක කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් තමන්ගේ දෘෂ්ටිකෝණය වෙනස් කර ගත යුතු ය. ඔවුන් සිය ප්‍රමුඛ කාර්යය ලෙස කළ යුත්තේ වනසත්ව-මිනිස් සහජීවනය සඳහා උපාය මාර්ග සෙවීමයි. දැනට ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රියාමාර්ගය වනජීවීන්ට එරෙහිව කෙරෙන හිංසන ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව බහුලව ක්‍රියාත්මක විය යුත්තේ වන ජීවීන් ගැවසෙන පරිසරයේ වසන ගම්වැසියන් අතර මිස මහ වනාන්තරයේ හෝ කාර්යාලවල නොවේ. වන දෙපාර්තමේන්තුවත් වනජීවී දෙපාර්තමේන්තුවත් දෙකම මේ රටේ සංරක්ෂණ දෙපාර්තමේන්තු ය. ඒ සඳහා ඔවුන් වැඩිපුර කරන්නේ වැටලීම් කිරීමත්, වැරදි කරන්නන් අත්අඩංගුවට ගෙන උසාවි දක්කාගෙන යාමත් ය.

ඒ කාර්යයේදී ඔවුන්ට වන හා වනජීවී නාශකයන්ගෙන් බලවත් තර්ජන ද පවතී. ඊට මුහුණ දීමට ඒ නිලධාරීන්ට ප්‍රහාරක ගිනිඅවි පවා එක් කලෙක සපයා තිබුණි. එසේ වුවද එයින් පමණක් වනය හෝ වනජීවීන් රැකීම කළ නොහැකි බව දැන්වත් තේරුම් ගෙන වනජීවීන්ට, වන සම්පතට තර්ජන නිර්මාණය කරන මිනිසුන් සිටින ග්‍රාමීය සමාජයේ ස්ථාපිතව, ජනතාව සමඟ මේ සම්පත්වල ආරක්ෂාවට නව වැඩපිළිවෙළක් ඇරඹිය යුතුව ඇත.

ග්‍රාමීය සමාජය තුළ අදටත් සිටින, අර පැසුණු කුඹුර ඔත්පල අලියාගේ ආහාරයට දන් දෙන හා ඔත්පල ඇතා බලන්නට පොල් අතු, කොස් අතු, කොස් ගෙඩි පටවාගෙන ඇවිත් කම්පා වන බහුතර ගැමියන්ගේ සහය දිනාගෙන, වනසම්පත වනසන, වනසතුන්ට හිංසා කරන තිරිසන් මිනිසුන්ට එරෙහි බලවේගය නිර්මාණය කළ යුතු ය. මේ සද්දන්තයාගේ මරණයේ කම්පනය සමස්ත වනසත්ව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් වූ ස්ථාවර වැඩපිළිවෙළක් බවට පත් කළ හැක්කේ එබඳු නව ක්‍රියා මාර්ගයකිනි. එසේ නොමැතිව මෙම සද්දන්තයාට කළ විපතට වගකිව යුතු පාපතරයන්ට එම දඬුවමම හිමි කළ යුතු බවට සමාජ ජාලවලින් ඉවක් බවක් නොමැතිව පළ වන අදහස් පදනම් ව යම් බලවේගයක් ගොඩනැඟුණහොත් තත්ත්වය මීටත් වඩා බිහිසුණු විය හැකි බව ද සියලු වගකිව යුත්තන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමි.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

නිතර නොඇසෙන කතා