ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චිකාගෝ වෙළඳ මධ්‍යස්ථානයේ (Chicago Mercantile Exchange) ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත, මැයි මාසයේ සැපයුම් වෙනුවෙන් WTI බොරතෙල් බැරලයක මිල 1.78%කින් ඉහළ ගොස් ඩොලර් 100.10ක් ලෙස සටහන් විය.
මීට සමගාමීව යුරෝපීය මිණුම්දණ්ඩ වන උතුරු මුහුදේ ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල ද 1.73%ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, එහි බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 113.44ක් වශයෙන්.ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් හමුවේ බලශක්ති සැපයුම් මාර්ගවල පවතින අවහිරතා මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ තෙල් සැපයුම අඩාල විය හැකි බවට පවතින බිය හේතුවෙන් ආයෝජකයින් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ තෙල් මිලදී ගැනීමට පෙළඹී තිබේ.ලෝක වෙළඳපොළේ මෙම මිල උච්චාවචනයන් ඉදිරි දින කිහිපය තුළ සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල ද ඉන්ධන මිල කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.