
මීට මඳ කලෙකට ඉහත මම කිසියම් අවශ්‍යතාවක් සඳහා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියෙමි. නමුදු එහි පිවිසි සැනින් කාර්ය මණ්ඩලයේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබිණි. පසුව ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මට දැනගත හැකි වූයේ, එදින එම ප්‍රාදේශීය ලේකම්වරියගේ උපන් දිනය වන අතර එහි කාර්ය මණ්ඩලය රාජකාරී වේලාව තුළ විශේෂ උපන්දින සැමරුමක් සංවිධානය කොට ඇති බව ය. එහිදී ඇගේ කාර්යාල කාමර උළුවස්සේ බැලුම් කිහිපයක් ද එල්ලා තිබෙනු දක්නා ලදී. ඒ අනුව ඔවුන් තම “ලොකු මැඩම්”ගේ උපන් දිනය සමරා නිම වන තුරු අපි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආලින්දයේ වූ බංකුවලට වී කල් මරන්නට වීමු.
මානව ඉතිහාසය විමර්ශනාත්මකව පිරික්සීමේදී උපන්දින සැමරුම යනු සාපේක්ෂව නූතන, බටහිර ආභාසය මත ගොඩනැඟුණු සංකල්පයකි. එමෙන්ම මෙම සැමරුම, වර්තමානය වන විට හුදු පෞද්ගලික ප්‍රීතියක් ඉක්මවා ගිය, සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන (Social Status) සංකීර්ණ සමාජීය සංසිද්ධියක් බවට පත්ව තිබේ. මෙම නැඹුරුව ගෘහමය මට්ටම ඉක්මවා රාජ්‍ය සහ ප්‍රජා මට්ටම තෙක් ව්‍යාප්ත වීම හේතුවෙන්, මෙවන් සැමරුම් සඳහා අත්‍යවශ්‍ය සේවා කාලය මිඩංගු වීම රටේ ආර්ථික සංවර්ධනයට පවා අහිතකර ලෙස බලපාන බව අතිශය පැහැදිලි ය.
මානව ඉතිහාසය විමර්ශනාත්මකව පිරික්සීමේදී උපන්දින සැමරුම යනු සාපේක්ෂව නූතන, බටහිර ආභාසය මත ගොඩනැඟුණු සංකල්පයකි. එමෙන්ම මෙම සැමරුම, වර්තමානය වන විට හුදු පෞද්ගලික ප්‍රීතියක් ඉක්මවා ගිය, සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන (Social Status) සංකීර්ණ සමාජීය සංසිද්ධියක් බවට පත්ව තිබේ. මෙම නැඹුරුව ගෘහමය මට්ටම ඉක්මවා රාජ්‍ය සහ ප්‍රජා මට්ටම තෙක් ව්‍යාප්ත වීම හේතුවෙන්, මෙවන් සැමරුම් සඳහා අත්‍යවශ්‍ය සේවා කාලය මිඩංගු වීම රටේ ආර්ථික සංවර්ධනයට පවා අහිතකර ලෙස බලපාන බව අතිශය පැහැදිලි ය. ඉහත සඳහන් අන්දමට රාජ්‍ය කාර්යාල පවා පෙර පාසල් මට්ටමට ඇද දමමින්, බැලුම් සහ සැරසිලිවලින් සරසා නිලධාරීන්ගේ උපන්දින සැමරීම තුළින් පෙනී යන්නේ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවා පෞද්ගලික ආටෝපයන්ට යට වී ඇති ආකාරයයි. අපගේ දේශීය ඓතිහාසික මූලාශ්‍ර දෙස බලීමේදී සාමාන්‍ය ජනයා අතර මෙවන් උපන් දින සැමරුම් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරක් හමු නොවේ. ඉන් තහවුරු වන්නේ මෑතක් වන තුරුම මෙය මෙරටට ආගන්තුක සංකල්පයක් බවයි. ඒ වන විට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව හිඳින මාපිය වැඩිහිටියන් උදෙසා ද මීට පෙර කිසි දා සිදු නොකළ අන්දමින් ඔවුන්ගේ දූ දරුවන් උපන්දින සාද සංවිධානය කිරීමෙන් එම නව නැඹුරුව කදිමට වටහා ගත හැක.

උපන් දිනයක් සැමරීම සඳහා නිවැරදි දින දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ක්‍රි.පූ. 46 දී ජුලියස් සීසර් විසින් හඳුන්වා දුන් ජුලියානු දින දර්ශනය තුළ වසරකට මිනිත්තු 11ක පමණ දෝෂයක් පැවති අතර, එය නිවැරදි කරමින් 13 වන ග්‍රෙගරි පාප්වහන්සේ විසින් 1582 දී වර්තමාන ලෝක සම්මත ග්‍රෙගරි දින දර්ශනය හඳුන්වා දෙන ලදී. සූර්ය වර්ෂයක සැබෑ කාලය හා දින දර්ශනය අතර පරතරය පියවීම මෙහි අරමුණ විය. ඊට අනුව අප සමරන ‘දින’ යනු පරම සත්‍යයක් නොව, විවිධ කාලයන්හිදී සංශෝධනයන්ට ලක්වූ සාපේක්ෂ මිනුම් දඬු පමණක් බව වටහා ගත යුතු ය. වසර සියයක් ජීවත් වන්නකු හට උපන් දින සැමරුම් අනූනවයක් තිබිය යුතු මුත්, අධික අවුරුද්දක පෙබරවාරි 29 දින උපත ලබා වයස අවුරුදු සියයක් වන අයකුට සැමරිය හැකි උපන් දින ගණන 24ක් හෝ 25ක් වීම ද ඒ සම්බන්ධ රසවත් කරුණකි.
වෛදික යුගයේ භාරතීය උපන්දින සැමරුම් අද අප දකින බටහිර පන්නයේ සැමරුම්වලට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනේ. ඒ ඒවා අද මෙන් දින වශයෙන් නොව ජන්ම නැකත පදනම්ව තිබීම නිසා ය. ‘තිථිය’ සහ ‘නැකත’ කෙරෙහි අවධානය යොමු කිරීම එහිදී සිදුවූ අතර, පුද්ගලයාගේ ලෞකික සතුටට වඩා, එම පුද්ගලයාගේ ආත්මීය ශක්තිය වර්ධනය කිරීම සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් කෙරෙන ආගමික වතාවත් ප්රමුඛ විය. විශේෂයෙන්ම ‘ආයුෂ්‍ය හෝමය’ නම් වන චාරිත්‍රය මඟින් නිරෝගී සුවය පැතීම ප්‍රධාන විය. බටහිර සංස්කෘතියේ උපන්දින සැමරුම්වලදී ඉටිපන්දම් නිවා දැමුවද, වෛදික සම්ප්රදායේදී ‘දීප ආරාධනා’ මඟින් පහනක් දල්වා ප්‍රඥාව කැඳවීමත්, මව්පියන් වැඳීම හා දානමාන කටයුතුවල නිරත වීමත් දැකිය හැකි ය.

උපන්දින චාරිත්‍රවල ජනප්‍රියතම අංගයක් වන කේක් මත ඉටිපන්දම් දල්වා නිවා දැමීම පුරාණ ග්‍රීක වැසියන් ‘ආටෙමිස්’ (Artemis) දේවතාවිය උදෙසා කළ පූජාවන්ගෙන් පැවත එන්නකි. ඊජිප්තු ශිෂ්ටාචාරයේ පාරාවෝ රජවරුන්ගේ රාජාභිෂේකය ‘දේවත්වය ලැබූ උපත’ ලෙස සැමරීම පළමු උපන් දින සැමරුම් ලෙස ඉතිහාසගත වේ. පසුව රෝමවරුන් මෙය සාමාන්‍ය පිරිමි පුද්ගලයන් දක්වා ව්‍යාප්ත කළ අතර, 19 වන සියවසේ කාර්මික විප්ලවයත් සමඟ සුබ පැතුම් පත් හුවමාරුව ජනප්‍රිය විය. නමුත් අද ද ලොව පුරා සිදු කෙරෙන ඉටිපන්දම් නිවීමට කටින් පිඹීම මඟින් ඛේට බිඳිති (Salivary Droplets) කේක් ගෙඩිය මතට විසිරීම මුල් කොට අද සමහරකු එය අතින් හෝ විදුලි පංකාවක් මඟින් සිදු කරති. අද ලොව පුරා උපන් දින සාදවලදී ගැයෙන “Happy Birthday to You” ගීතය පවා 1893 දී මිල්ඩ්රඩ් සහ පැටී හිල් සහෝදරියන් විසින් නිර්මාණය කළ “Good Morning to All” තනුවෙන් බිහි වූවකි. මෙම ගීතය ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස කටයුතු කළ මේ දෙසොහොයුරියන් එහි කුඩා දරුවන්ට දිනපතා උදේ ගායනා කිරීම පිණිස පුහුණු කළ ගීතයකි.
බටහිර සම්ප්‍රදායට ප්රතිපක්ෂව, පෙරදිග බෞද්ධ චින්තනය තුළ උපන් දිනය යනු උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු ජයග්‍රහණයක් ලෙස කිසිවිටෙකත් නොසැලකුණි. බුදු දහමට අනුව උපත යනු “ජාතිපි දුක්ඛා” හෙවත් දුකකට මුල පිරීමකි. බුදු දහම සර්වාසුබවාදයක් (Pessimism) නොවේ. නමුත් සෑම උපන්දිනයක්ම මරණය කරා යන ගමනේ තවත් එක් වසරක් ගෙවී යාමක් ලෙස අනිත්‍යතාවයෙන් යුතුව දැකීම, සරල චාම් බව කේන්ද්‍රීය වූ පැරණි සිංහල සමාජයේ සිරිත විය. අතීතයේ මෙරට ජනයා උපන් දිනය දා සිදුකළේ පුද්ගල කේන්ද්‍රීය සැමරුම් නොව, බුදු සමයෙන් අනුමත සදාචාරාත්මක ගුණාංග ප්‍රවර්ධනය කිරීමය. කෙසේ වෙතත්, වර්තමාන සමාජ මාධ්‍ය සංස්කෘතිය තුළ සිංහල භාෂාව පවා අතිශය අවිචාරවත් ලෙස හැසිරවීම මෙම තත්ත්වය තවත් දරුණු කර ඇත. “Happy Birthday” යන්න සෘජුව පරිවර්තනය කිරීමට යාමෙන් නිර්මාණය වූ “සුබෝපන්දාවක්” වැනි නිරුක්ති විරෝධී වචන මෙන්ම, සුබ ගමන් ( HappyJourney) වැනි බටහිර පන්නයේ ආශීර්වාදාත්මක සංකල්ප මළවුන් උදෙසා පවා ඈඳා ගැනීම තුළින් පෙනී යන්නේ අප සමාජය තුළ පවත්නා චින්තන පරිහානිය මුල් කොට ගත් අරුත් සුන් අනුකරණවාදයයි.

මේ අතරේ ලෞකිකත්වය ප්‍රහීණ කළ යුතු ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ඇතැම් භික්ෂූන් පවා තම ‘පුද්ගලික සන්නාමයන්’ (Personal Branding) ප්‍රවර්ධනය කර ගැනීමට අධික වියදම් සහිත සංදර්ශන ස්වරූපයේ උපන්දින පැවැත්වීම පැවිදි බවේ මූලික පරමාර්ථයට සේම බෞද්ධ සංස්කෘතික පදනමට කරන බරපතළ හානියකි. උපන් දිනය යනු තමන් මරණය කරා යන ගමනේ තවත් මං සළකුණක් පසු කිරීම නිසා යමකුගේ සිත තුළ උපදින කලකිරීම් සහගත බව උපන්දින සැමරුමකින් දුරු වන බව ඇතැමුන්ගේ මතයයි. “සුබ උපන් දිනයක්” යන ආශිංසනයේ අරුත එය බව ද ඔව්හු කියති. එහෙත් ජීවිතයේ යථාර්ථයට පිටුපා ලබා ගන්නා එවැනි “මෝඩ චූන්” වලින් කාට කිනම් යහපතක් වේ දැයි මට නම් නොවැටහේ. එමෙන්ම උපන්දින සැමරුම් උත්සව මඟින් සමාජ සහසම්බන්ධතා ගොඩනැඟෙන බවට පවතින පොදු මතය ද අර්ධ සත්‍යයකි. එබඳු උපන්දින සැමරුම් මුල් කොට ඇති වන හිත් අමනාපකම්, නොහොඳ නෝක්කාඩු සේම ආර්ථික ගැටලු ද අඩුවක් නොමැති බව මෙරට බහුතර මධ්‍යම පාන්තිකයෝ දනිති.

උපන් දිනය යනු කේක් කැපීමෙන් හෝ රස මසවුළු හා මත් පැන් වැඩිම ප්‍රමාණයක් එක් කර ගැනීමෙන් සාද පැවැත්වීමෙන් තමාගේ ‘මමත්වය’ වර්ධනය කරගත යුතු අවස්ථාවක් නොව, තමා මෙතෙක් පැමිණි ජීවන මඟ පිළිබඳව විචාර පූර්වකව ස්වයං විමර්ශනයක (Self-reflection) යෙදීමට ලැබෙන අවස්ථාවකි. ඒ අනුව උපන්දින සැමරුම් උත්සව සාද මුල් කොට ගත් බාහිර ප්රදර්ශනකාමීත්වයෙන් මිදී තමන් හට සේම තමන් අයත් සමාජයට, සතා සීපාවාට සේම පරිසර පද්ධතීන්හි යහපැවැත්මට මුල් තැන දෙන සදාචාරාත්මක චර්යාවන් තුළින් පමණක් මෙම උපන්දින සැමරුම් මුල් කොට ගත් සමාජ විකෘතිය නිවැරදි කරගත හැකි බව මගේ වැටහීම ය.
1840 වසරේ එංගලන්තයේ ඉතා අඩු මුදලකට ලිපි යැවිය හැකි Penny Black තැපැල් මුද්දර හඳුන්වා දීමෙන් පසු ව්‍යාප්ත වූ උපන් දින සුබ පැතුම වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟ ඩිජිටල් මුහුණුවරක් ගෙන තිබේ. සාරාංශයක් ලෙස, උපන් දිනය යනු කේක් කැපීමෙන් හෝ රස මසවුළු හා මත් පැන් වැඩිම ප්‍රමාණයක් එක් කර ගැනීමෙන් සාද පැවැත්වීමෙන් තමාගේ ‘මමත්වය’ වර්ධනය කරගත යුතු අවස්ථාවක් නොව, තමා මෙතෙක් පැමිණි ජීවන මඟ පිළිබඳව විචාර පූර්වකව ස්වයං විමර්ශනයක (Self-reflection) යෙදීමට ලැබෙන අවස්ථාවකි. ඒ අනුව උපන්දින සැමරුම් උත්සව සාද මුල් කොට ගත් බාහිර ප්රදර්ශනකාමීත්වයෙන් මිදී තමන් හට සේම තමන් අයත් සමාජයට, සතා සීපාවාට සේම පරිසර පද්ධතීන්හි යහපැවැත්මට මුල් තැන දෙන සදාචාරාත්මක චර්යාවන් තුළින් පමණක් මෙම උපන්දින සැමරුම් මුල් කොට ගත් සමාජ විකෘතිය නිවැරදි කරගත හැකි බව මගේ වැටහීම ය.
තිලක් සේනාසිංහ