
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික රැල්ල හමුවේ හුදු “සිරිපාදේ ට්‍රිප් එකක්” බවට පත්ව තිබීම බරපතළ සංස්කෘතික ඛේදවාචකයකි.
අද මෙන් රථවාහන හා මාර්ග පද්ධතිය දියුණු නොවී පැවතුණු, මෙරට කෝපි වගාව ව්‍යාප්ත වූ දහනවවන සියවසේ මැද භාගයේ හෙවත් “කෝපි කාලයේ” ගැමියන් පා ගමනින් කළ සිරිපා කරුණාව සම්බන්ධ තොරතුරු අදටත් ශේෂ මාත්රිකව හෝ ජනශ්රැතීන් ඔස්සේ සොයාගත හැකිය. ඒ සම්බන්ධයෙන් කුඩා කල සිට පැවැති අසීමාන්තික උනන්දුව මුල් කොට ගෙන මා විසින් සපයා ගත් තොරතුරු බොහොමයක් ද තිබේ.

එදා ගැමියන් සිරිපා කරුණා කළේ හුදු විනෝදයට නොව, ජීවිතයේ එක් වරක් හෝ කළ යුතු මහා පින්කමක් ලෙසිනි. එය තම ජීවිතවලට සුවිසල් ආධ්‍යාත්මික පාරිශුද්ධ බවක් එක් කළ උතුම් ක්‍රියාවක් සේ ද ඔවුහු සැලකූහ. අද මෙන් තාර දැමූ හෝ කාපට් ඇතිරූ මාර්ග මෙන්ම විදුලි ආලෝකය ද එදා නොතිබුණි. “කෝපි කාලයේ” අතිශය දුෂ්කර වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල් දිගේ සති ගණනාවක් තිස්සේ ඔවුන් පා ගමනින් ඇදුණේ දැඩි හික්මීමකිනි. සිරිපා කරුණාවේ නායකත්වය ගත්තේ “නඩේ ගුරා” නම් වන, එවන් ගමන් සම්බන්ධ අත්දැකීම් බහුල ගුණගරුක වැඩිහිටියෙකි. මුළු නඩයේම කායික මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම නඩේ ගුරාගේ ප්‍රධාන වගකීමක් විය.


එදා ගැමියන් සිරිපා කරුණා කළේ හුදු විනෝදයට නොව, ජීවිතයේ එක් වරක් හෝ කළ යුතු මහා පින්කමක් ලෙසිනි. එය තම ජීවිතවලට සුවිසල් ආධ්‍යාත්මික පාරිශුද්ධ බවක් එක් කළ උතුම් ක්‍රියාවක් සේ ද ඔවුහු සැලකූහ. අද මෙන් තාර දැමූ හෝ කාපට් ඇතිරූ මාර්ග මෙන්ම විදුලි ආලෝකය ද එදා නොතිබුණි. “කෝපි කාලයේ” අතිශය දුෂ්කර වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල් දිගේ සති ගණනාවක් තිස්සේ ඔවුන් පා ගමනින් ඇදුණේ දැඩි හික්මීමකිනි. සිරිපා කරුණාවේ නායකත්වය ගත්තේ “නඩේ ගුරා” නම් වන, එවන් ගමන් සම්බන්ධ අත්දැකීම් බහුල ගුණගරුක වැඩිහිටියෙකි. මුළු නඩයේම කායික මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම නඩේ ගුරාගේ ප්‍රධාන වගකීමක් විය. ප්‍රථම වරට වන්දනාවේ යන “කිරි කෝඩු” සහ “දඬු කෝඩු” වරුන් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ කට වැරදීම් වළක්වා ගනිමින් ගමන මෙහෙයවීම ද ඔහුගේ වගකීමක් විය. ගමනේ විඩාව නිවා ගැනීමට අම්බලම්වල නතර වූ ඔවුහු සීපද සහ තුන් සරණේ කවි ගායනා කළහ. පිටිසර ගම්මැදින් දිවෙන කටුක මාවත්වල පවා ඔවුන්ගේ මුවින් පිටවූයේ දැහැනකට සම වූ භක්තිමත් ස්වරයකි. මෙම සිරිපා කරුණාව සඳහා සති හෝ මාස කිහිපයකට පෙර සිට “පේ වීම” හෙවත් සූදානම් වීමක් ද එකල සිදු විය. ඇතැම් මානව විද්‍යාඥයන් සිරිපා වන්දනාව හා සම්බන්ධ මෙම කරුණාව විස්තර කරනුයේ “හදවත සිසිල් කර ගැනීමක්” ලෙසිනි. වන්දනා නඩය නියමිත චාරිත්‍ර ඉටුකරමින් සීත ගඟුලෙන් ස්නානය කර, පිරුවට ඇඳ මහගිරිදඹ තරණය කිරීම එදා සැබෑවටම “කරුණාවක්” විය.
මෙවන් පුදබිම්වල අප අත්දකින ශබ්ද විකාශන ඝෝෂාව, පොලිතින් අපද්‍රව්‍ය සහ හික්මීමක් නැති කෑකෝ ගැසීම් කිසිවක් නොවූ එදා කෝපි කාලයේ ගැමියන් වනාන්තරයට සහ සිරිපා පතුලට දැක්වූ ඒ නිහඬ භක්තිය වර්තමානයට මහඟු ආදර්ශයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහබුලන්කුලම, උළුක්කුලම නම් දුෂ්කර ගම්මානයේ පිහිටි, වසර 140ක ඓතිහාසික උරුමයක් සහිත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මේ වන විට ප්‍රදේශවාසී බෞද්ධයන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමට කැප වූ පුදබිමකි. වන අලි තර්ජන සහ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ගම්වැසියන් තම ආගමික මධ්‍යස්ථානය රැක ගැනීමට දරන උත්සාහය අගය කළ යුතුය. එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය කුරුවිට සරණසිරි හිමිපාණෝ තම විහාරස්ථානයේ සේවය වඩාත් පුළුල් කරමින්, අතීත සිරිපා කරුණාවේ පාද යාත්‍රාව සිහිපත් කරවන “අනුරාධපුරයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා වන පාද චාරිකාවක්” මෙවර ද සංවිධානය කොට තිබේ. ඒ තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ පිහිටුවා ගත් “දහම් සම්පත පදනම” නම් සංවිධානය මඟිනි.
මෙම මාර්තු 15 වන ඉරුදින අලුයම 4:00 ට අනුරාධපුර මහබුලන්කුලම, උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් පිටත් වන මෙම සිරිපා කරුණා චාරිකාව මෙවර සංවිධානය කෙරෙනුයේ සිව්වන වරට බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා තිස් නමකගෙන් සහ උපාසක උපාසිකාවන් හතළිස් දෙනෙකුගෙන් යුතු, හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගී වන බවත් පූජ්‍ය කුරුවිට සරණසිරි හිමිපාණෝ පවසති. එමෙන්ම ගමන් මාර්ගය දෙපස වෙසෙන්නන්ට එම වන්දනා නඩය සඳහා ආහාර පානාදිය ලබා දිය හැකි බව පවසන උන්වහන්සේ, 0774175031 දුරකථන අංකයට ඇමතුමක් දීමෙන් ඒ සම්බන්ධ වැඩි විස්තර දැනගත හැකි බව ද සඳහන් කරති. එම ශ්‍රී පාද කරුණා පාද චාරිකාවේ යෝජිත ගමන් මාර්ගය හා කාලසටහන මෙසේය:

මාර්තු 15: උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ සිට ගල්ගමුව, මැදගම පිරිවෙන දක්වා.
මාර්තු 16: මැදගම පිරිවෙන සිට අඹන්පොළ උඩංගාව විහාරස්ථානය දක්වා.
මාර්තු 17: අඹන්පොළ උඩංගාව විහාරස්ථානයේ සිට වාරියපොළ විසුද්ධාරාම විහාරස්ථානය දක්වා.
මාර්තු 18: වාරියපොළ විසුද්ධාරාම විහාරස්ථානයේ සිට කුරුණෑගල, වදුරාගල ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානය දක්වා.
මාර්තු 19: වදුරාගල ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ සිට ගලිගමුව දඬුවලගනේ චන්දෝදය පිරිවෙන දක්වා.
මාර්තු 20: ගලිගමුව දඬුවලගනේ චන්දෝදය පිරිවෙන සිට දෙහිඕවිට සුසිලෝදය පිරිවෙන දක්වා.
මාර්තු 21: දෙහිඕවිට සුසිලෝදය පිරිවෙන සිට කුරුවිට හිග්ගස්හේන පෙත්තාවිල බෝධිය දක්වා.
මාර්තු 22: කුරුවිට පෙත්තාවිල බෝධියේ සිට එරත්න පුරාණ විහාරස්ථානය දක්වා.
මාර්තු 23: එරත්න පුරාණ විහාරස්ථානයේ සිට ශ්‍රී පාද පද්මය දක්වා.
එමෙන්ම මෙම වන්දනා චාරිකාවට එක් වීම සඳහා කිසිවකුගෙන් කිසිදු මුදලක් අය නොකරන බව ද පූජ්‍ය කුරුවිට සරණසිරි හිමිපාණෝ විශේෂයෙන් අවධාරණය කළහ.
තිලක් සේනාසිංහ
(තරුව පුවත්පත)