
නවසිය හැට හැත්තෑව දශකවල ළමා විය හෝ තරුණ විය ගත කළ අයට 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් දෙදෙනා සඳ මත පා තැබූ අවස්ථාව හොඳින් මතක ඇතුවාට සැකයක් නැත. එය සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක් වූයේ මිනිසුන් සඳ මත ගොඩ බැස්සේ මානව ඉතිහාසයේ පළමු වතාවට වූ බැවිනි. මෙම සිද්ධිය සිදු වූයේ ලංකාවේ වේලාවෙන් 1969 ජුලි 21 වැනි දින උදෑසන 8.26 ට යි.
මෙම අජටාකාශගාමීන් සඳ වෙත ගියේ ඇමරිකාවේ නාසා ආයතනය ක්‍රියාත්මක කළ ඇපලෝ වැඩසටහන යටතේ ය. ඔවුන් ගේ සඳ ගමන හැඳින්වුණේ ඇපලෝ 11 යනුවෙනි.
ඇපලෝ 11 න් පසුවත් තවත් සඳ ගමන් කිහිපයක් සිදු විය. කෙසේ හෝ වේවා මෙම ඇපලෝ වැඩසටහන 1972 වසරේ ඇපලෝ 17 චාරිකාවත් සමග අවසන් විය. එයින් පසු ගෙවී ගිය වසර 54 කට අසන්න කාලය තුළ කිසිදු සඳ ගමනක් සිදු වූයේ නැත.
ඇපලෝ 11 න් පසුවත් තවත් සඳ ගමන් කිහිපයක් සිදු විය. කෙසේ හෝ වේවා මෙම ඇපලෝ වැඩසටහන 1972 වසරේ ඇපලෝ 17 චාරිකාවත් සමග අවසන් විය. එයින් පසු ගෙවී ගිය වසර 54 කට අසන්න කාලය තුළ කිසිදු සඳ ගමනක් සිදු වූයේ නැත.
කෙසේ හෝ වේවා, දශක පහකට ආසන්න කාලයකට පසු නාසා ආයතනය නැවතත් සඳ වෙත අජටාකාශගාමීන් යැවීම සඳහා අලුත් වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන ඔවුන් නම් කර ඇත්තේ ආටෙමිස් (Artemis) යනුවෙනි.
මෙම වැඩසටහන යටතේ ලබන වසරේ නැවතත් අජටාකාශගාමීන් දෙදෙනෙකු සඳ මත පා තැබීමට නියමිතව තිබේ. ඒ චාරිකාව හැඳින්වෙන්නේ ආටෙමිස් 3 යනුවෙනි. නවසිය හැට හැත්තෑව දශකවල සඳ ගමන් සිදු වූ කාලයේ ඉපිද නොසිටි පරම්පරාවල උදවියට මෙම ආටෙමිස් චාරිකාව අපූරු සිදුවීමක් වනු නොඅනුමානය.

මෙම ආටෙමිස් වැඩසටහනට අදාල ඉතා වැදගත් චාරිකාවක් ලබන මාසයේ ද සිදුවීමට නියමිතව ඇත. ඒ ආටෙමිස් 2 නැමැති චාරිකාව යි. අජටාකාශගාමීහු සිව් දෙනෙක් මේ ගමනට සහභාගි වෙති. මෙම චාරිකාව ආටෙමිස් 3 චාරිකාවට කලින් සිදුවන අත්හදා බැලීමේ චාරිකාවකි.
මෙහිදී අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැසීමක් සිදුවන්නේ නැත. නමුත් ඔවුහු පෘථිවියේ සිට කි.මී. ලක්ෂ හතරක් පමණ ඈතින් පිහිටි සඳ ආසන්නයටම සේන්දු වෙමින් සඳ වටා ගමන් කරති. මෙම චාරිකාව දින 10 ක් ගතවන චාරිකාවක් බව ද සඳහන් වේ.
මෙම අජටාකාශගාමීන් සඳ මත ගොඩ නොබැස්සත් ආටෙමිස් 2 චාරිකාව ඉතා විශේෂ චාරිකාවක් බව සඳහන් කළ යුතුය. මන්ද යත් මිනිසුන් රැගත් යානයක් සඳ ආසන්නයට හෝ යන්නේ 1972 වසරෙන් පසු, එනම් වසර 54 කට පසු පළමු වතාවට වන බැවිනි.
අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින ආටෙමිස් 3 චාරිකාවට කලින් කළ යුතු වැදගත් අත්හදා බැලීම් කිහිපයක් මෙහි දී සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අතින් ද මෙම ආටෙමිස් 2 චාරිකාව ඉතා වැදගත් චාරිකාවකි.
දැනට පළවී ඇති වාර්තාවලින් පැවසෙන්නේ මෙම චාරිකාව පෙබරවාරි 6-11 අතර දිනයක දියත් කිරීමට ලොකු ඉඩක් ඇති බව යි.
කලින් ද සඳහන් කළ පරිදි ආටෙමිස් 2 ගමන සඳහා ආජටාකාශගාමීහු සිව් දෙනෙක් සහභාගි වෙති. ඒ, රීඩ් වයිස්මාන්, ක්‍රිස්ටිනා කොක්, වික්ටර් ග්ලෝවර් සහ ජෙරමි හැන්සන් යන සිව් දෙනා යි. මෙම චාරිකාවේ ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ වයිස්මාන් ය. ග්ලෝවර් නියමුවා ලෙස කටයුතු කරයි. කොක් සහ හැන්සන් කටයුතු කරන්නේ මෙහෙයුම් විශේෂඥයන් හැටියට යි.
මොවුන් සිව් දෙනාම අභ්‍යවකාශ ගමන් පිලිබඳ බොහෝ අත්දැකීම් සහිත පළපුරුදු අජටාකාශගාමීන් ය. වයිස්මාන්, කොක් සහ ග්ලෝවර් නාසා ආයතනයට සම්බන්ධ අජටාකාශගාමීන් වන අතර හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සියට සම්බන්ධ කෙනෙකි.
ආටෙමිස් 2 සහ 3 යන සඳ ගමන් දෙකේදී ම අජටාකාශගාමීන් ගමන් කරන යානා හැඳින්වෙන්නේ ඔරායන් යන නමිනි. මෙම යානා පෘථිවියෙන් අභ්‍යවකාශයට විදිනු ලබන්නේ අති ප්‍රබල රොකට්ටුවක් යොදා ගනිමිනි. එය හැඳින්වෙන්නේ Space Launch System යනුවෙනු යි. මෙවැනි රොකට්ටුවක් අවශ්‍ය වන්නේ එසේ නොමැතිව පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මැඩගෙන යා නොහැකි බැවිනි. ටික දුරක් මෙම රොකට්ටුවේ ආධාරයෙන් ගමන් කරන ඔරායන් යානය ඉන්පසු එයින් වෙන්ව සඳ වෙත ගමන් අරඹයි.
ඔරායන් සහ Space Launch System යන කොටස් දෙකේම ක්‍රියාකාරිත්වය අජටාකාශගාමීන් ද සමගම පරීක්ෂාවට ලක් කිරීම ආටෙමිස් 2 චාරිකාවේ එක් අරමුණකි. මෙහි දී යානයට ඔක්සිජන් සහ ජලය ආදිය සපයන පද්ධති, යානයේ උෂ්ණත්වය පවත්වා ගන්නා පද්ධති, සන්නිවේදන පද්ධති ආදියේ ක්‍රියාකාරිත්වයන් පරීක්ෂාවට ලක් කරනු ලැබේ.
එමෙන්ම Space Launch System රොකට්ටුව සහ ඔරායන් යානය අභ්‍යවකාශයේදී එකිනෙකින් වෙන්වීමේ ක්‍රියාවලිය ද මෙම ආටෙමිස් 2 චාරිකාවේ දී පරීක්ෂාවට ලක් කෙරේ.

මේවා එකක් හෝ අභ්‍යවකාශයේ දී ක්‍රියා විරහිත වුවහොත් හෝ වෙනත් යම් දෝෂයකට ලක් වුවහොත් අජටාකාශගාමීන්ගේ ජීවිතවලට ද දැඩි අවදානමක් එල්ල වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ආටෙමිස් 2 යනු ආටෙමිස් වැඩසටහන යටතේ දියත් කෙරෙන දෙවැනි අත් හදාබැලීමේ චාරිකාව බව ද සඳහන් කළ යුතු වේ. මෙයට පෙර ආටෙමිස් 1 යනුවෙන් තවත් චාරිකාවක් දියත් කෙරිණි. ඒ, 2022 වසරේ යි. එහිදී ද විවිධ ක්‍රියාකාරිත්වයන් පරීක්ෂාවට ලක් කෙරිණි. ආටෙමිස් 1 සහ 2 අතර වෙනසක් නම් ආටෙමිස් 1 අජටාකාශගාමින් රහිතව දියත් කෙරුණු චාරිකාවක් වීම යි.
අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින ආටෙමිස් 3 චාරිකාව 2027 වසරේ දියත් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. මෙම චාරිකාවට අජටාකාශගාමීන් තිදෙනෙකු එක්වනු ඇත.
අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින ආටෙමිස් 3 චාරිකාව 2027 වසරේ දියත් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. මෙම චාරිකාවට අජටාකාශගාමීන් තිදෙනෙකු එක්වනු ඇත. නමුත් ඒ අතරින් සඳ මත ගොඩ බසින්නේ දෙදෙනෙකු පමණි.
මෙම සුවිශේෂී චාරිකාවට සහභාගි වන අජටාකාශගාමීන් ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නැත. කෙසේ නමුත් ඉතිහාසයේ පළමු වරට කාන්තාවක සඳ මත පා තැබීම ද ආටෙමිස් 3 චාරිකාවේ දී සිදුවීමට නියමිතව තිබේ.
එම චාරිකාව දින 30 ක දීර්ඝ චාරිකාවක් වනු ඇති බව ද පැවසේ. අජටාකාශගාමීන් දින 6-7 ක පමණ කාලයක් සඳ මත ගත කිරීමට ද නියමිත ය. යාම ඒම සඳහා දින 10-11 ක් පමණ ගතවනු ඇතැයි සඳහන් වේ. දින 7-10 ක් පමණ සඳ වටා ගමන් කරමින් කරන කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇත.
ඇපලෝ වැඩසටහනේ දී අජටාකාශගාමීන් සඳ මත ගත කළ වැඩිම කාලය පැය 75 කි. ඒ ඇපලෝ 17 චාරිකාවෙන් සඳ වෙත ගිය ජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිට් යන දෙදෙනා යි.
නිහාල් පීරිස්