විගණකාධිපති තනතුරට “පැච් එකක් !”- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන්නේ ය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රජයේ තුන් කොටසේම වගකීම් පැවරෙන ඇත්තන් සිය වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට පෙර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වකීය වගකීම් ඉටුකරන බවට දිවුරුම් හෝ ප්‍රතිඥා දියයුතු වන්නේය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ කාර්යභාරයන් පැවරී ඇති අය ද ඇතුළු සෙසු සියලුම රට වැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස භුක්තිවිඳීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කිරීම යන්න ප්‍රමුඛ යුතුකම් ගණනාවකට ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින්ම සම්බන්ධකර ඇත. ඒ අනුව සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කිරීමට ව්‍යවස්ථාවේම විධිවිධානවලින් බැඳී ඇත්තාහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) ව්‍යවස්ථාව අනුව ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. 43(1) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය. 62(1) ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් තෝරාපත් කරනු ලබන මන්ත්‍රීවරු 225 කින් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය. 111(ඈ) ව්‍යවස්ථාව අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවක් වන්නේ ය.148 ව්‍යවස්ථාව අනුව ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ ය.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ධුරයක් හෝ ආයතනයක් සඳහන් කර “වන්නේය” හෝ “තිබිය යුත්තේ ය” කියා තිබුණොත් එය අනිවාර්යයෙන්ම අවිච්ඡින්නව අඛණ්ඩව පැවතිය යුතුය යන අදහස ඇති බව හද්දා පිටිසර ගමක උපන් මගේ “ගොඩේ මොළයට”පවා තේරුම් යන්නේ ය. දහම් ගැට ගසමින්, නීතිය නවමින් ක්‍රියා කරන කට්ට කෛරාටික වෙට්ට පිත්තල මොළවලට ඒක එහෙම නොවන්නට ද පුළුවන් වුණත් ගමේ බයියන් වන අප සාමාන්‍ය නීතියටත් ගරු කරන නිසා උත්තරීතර නීතියට හොඳටම ගරුකරන්නෝ වෙමු. ඒ අනුව “ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය”, “ජනතාව විසින් තෝරාගත් මන්ත්‍රීවරු 225 කින් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය” ආදී වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථිරසාරව රජයේ ඇති ධුරයන් හා ආයතන ගැන සඳහන් ව්‍යවස්ථාවන් ගෙන් රජයේ අවිච්ඡින්න හා අඛණ්ඩ පැවැත්මට අත්‍යාවශ්‍යයෙන්ම පැවතිය යුතු ධුරයන් හා ආයතන අදහස් වන බව සිතා ගත හැකි ය.

153(1) ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයෙක් වන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දා හත් වැනි සංශෝධනය එන්නට පෙර “මැතිවරණ කොමසාරිස්වරයෙක් වන්නේ ය” යනුවෙන් ද ව්‍යවස්ථාවක් තිබුණි. ඒක මදිවී කොමිසමක් ඕනෑයැයි රාජ්‍ය නොවන සංවිධාන හා දැනුමැත්තන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ ව්‍යවස්ථාව සංශෝධනය වී “මැතිවරණ කොමිෂන් සභාවක් තිබිය යුත්තේ ය” යනුවෙන් 103(1) ව්‍යවස්ථාව පැනවිණි.
එවිට 104(ඉ) ව්‍යවස්ථාවට “මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු සිටිය යුත්තේ ය. ඒ කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව කොමිෂන් සභාව විසින් පත්කළ යුත්තේ ය” යනුවෙන් ඇතුළත් විය. පසුව ඊළඟ සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව යන යෙදුම ඉවත් කරන ලදී. මේ කොහොම වුණත් අදත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(ඉ) ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙක් ද වන්නේ ය.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ධුරයක් හෝ ආයතනයක් සඳහන් කර “වන්නේය” හෝ “තිබිය යුත්තේ ය” කියා තිබුණොත් එය අනිවාර්යයෙන්ම අවිච්ඡින්නව අඛණ්ඩව පැවතිය යුතුය යන අදහස ඇති බව හද්දා පිටිසර ගමක උපන් මගේ “ගොඩේ මොළයට”පවා තේරුම් යන්නේ ය. දහම් ගැට ගසමින්, නීතිය නවමින් ක්‍රියා කරන කට්ට කෛරාටික වෙට්ට පිත්තල මොළවලට ඒක එහෙම නොවන්නට ද පුළුවන් වුණත් ගමේ බයියන් වන අප සාමාන්‍ය නීතියටත් ගරු කරන නිසා උත්තරීතර නීතියට හොඳටම ගරුකරන්නෝ වෙමු. ඒ අනුව “ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය”, “ජනතාව විසින් තෝරාගත් මන්ත්‍රීවරු 225 කින් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය” ආදී වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථිරසාරව රජයේ ඇති ධුරයන් හා ආයතන ගැන සඳහන් ව්‍යවස්ථාවන් ගෙන් රජයේ අවිච්ඡින්න හා අඛණ්ඩ පැවැත්මට අත්‍යාවශ්‍යයෙන්ම පැවතිය යුතු ධුරයන් හා ආයතන අදහස් වන බව සිතා ගත හැකි ය. ඒ අනුව ජනරජයේ ජනාධිපතිවරයෙක් නොමැතිව මොහොතක්වත් නොපැවතීමට ව්‍යවස්ථාවෙන් විධිවිධාන පනවා ඇත. ධුරය දරමින් සිටින ජනාධිපතිවරයා හදිසියේ මියයාමත් සමඟ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වී අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීම වන බව අපි 1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය අවස්ථාවේ අත්දැක ඇත්තෙමු. ධුරය දරන ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේදී නිරායාසයෙන්ම අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ලෙස පත්වනු ද අපි මේ රටේ අත් දැක්කෙමු. ඒ කිසිම අවස්ථාවක හිඩැසක් ඇතිවන්නට අවකාශ නොවීය.

මේ සියල්ල පූර්විකා කළේ ශ්‍රී ලංකා රාජ්‍ය පාලන ව්‍යුහයේ අතිශය වැදගත් ස්ථිර, අඛණ්ඩ, අවිච්ඡින්නව පැවතිය යුතු ධුරයක් වූ විගණකාධිපති ධුරය මේ වන විට හිස් වී ඇති බව පෙන්වා දෙන්නට ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ “විගණකාධිපතිවරයෙක් වන්නේ ය” යනුවෙනි. එහෙත් 2025/11/23 දින මේ ලිපිය ලියන විට ලිවිය යුතුව ඇත්තේ “විගණකාධිපතිවරයෙක් නැත්තේය” යනුවෙන් වීම බෙහෙවින් කණගාටුදායක ය.
මීට පෙර ස්ථිරව පත්කර සිටි විගණකාධිපතිවරයා වයස අවුරුදු හැට සම්පූර්ණ වී විශ්‍රාම යාම නිසා නව විගණකාධිපතිවරයෙකු පත්කිරීමේ අවස්ථාවක් උදා විය. විගණකාධිපතිවරයා පත්කිරීමේ කාර්ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාරව ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහෙත්, ජනාධිපතිවරයා ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව එම පත්වීම කළ යුතු ය. විගණකාධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා සුදුසු යැයි ජනාධිපතිවරයා අදහස් කළ විගණකවරයෙකුගේ නමක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යොමු කළත් ඒ නම ව්‍යවස්ථා සභාවෙන් අනුමත වුණේ නැත. එවිට ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කළ යුතුව තිබුණේ වෙනත් සුදුසු විගණකවරයෙකුගේ නමක් හෝ නම් කීපයක් ව්‍යවස්ථා සභාවට යොමු කිරීම ය. එහෙත් ව්‍යවස්ථානුකූලව කළ යුතු එම කාර්ය නොකර ජනාධිපතිවරයා කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒ වන විට සේවය කරමින් සිටි අතිරේක විගණකාධිපතිවරයාව වැඩ බලන විගණකාධිපති ලෙස මාස හයක කාලයකට පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඉල්ලා සිටීමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි වැඩ බලන විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(4) ව්‍යවස්ථාවේ දැක්වේ.

එහි සඳහන් වන්නේ විගණකාධිපතිවරයාට සිය ධුරයෙහි කාර්ය ඉටු කිරීමට නොහැකි වූ විට විගණකාධිපති වරයා වෙනුවෙන් වැඩ බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව සුදුසුකම් ලත් විගණක වරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට හැක්කේය යනුවෙනි. ඒ අනුව වැඩ බැලීමට අයෙකු පත්කළ හැක්කේ විගණකාධිපති ධුරයට නොව එම ධුරය දරන නිලධාරියා වෙනුවට ය. කොටින්ම පැහැදිලි කළහොත් වැඩ බලන විගණකාධිපතිවරයෙකු පත්කළ හැකිවන්නේ ස්ථිර ධුරය දරණ විගණකාධිපතිවරයා නිවාඩු ගිය විට, විදේශ ගතවූ විට, බලවත් සේ රෝගාතුරව ධුරයේ කටයුතු කළ නොහැකිව සිටින හෝ අධිකරණය මගින් නිකුත් කළ ආඥාවක් ප්‍රකාරව ධුරයේ කටයුතු ඉටු කිරීම වලක්වා ඇති අවස්ථාවක පමණි. එසේ නොමැතිව විගණකාධිපති ධුරය හිස්ව ඇති අවස්ථාවක ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීම හැර වැඩ බලන අයෙකු පත්කර ‘පැච් එකක්’ දැමීමට ඉඩ ප්‍රස්තාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හෝ ව්‍යවස්ථා සභාවට ලබාදී නැත. මේ ව්‍යවස්ථාමය විධිවිධාන නොසලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මාස හයක කාලයක් සඳහා වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස ජාතික විගණන සේවයේ අතිරේක විගණකාධිපතිවරයාව පත් කිරීමට අනුමැතිය ජනාධිපතිවරයාට ලබාදීමෙන් සිය බලය අභිබවා ක්‍රියා කර ඇති බව නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්ථිරව අඛණ්ඩව පැවතිය යුතු තනතුරක් වන විගණකාධිපති තනතුර හිස් වූ වහාම සුදුසු විගණකවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කර එම ධුරයේ පුරප්පාඩු පිරවීමේ වගකීම ව්‍යවස්ථානුකූලව දරණ ජනාධිපතිවරයා එම ව්‍යවස්ථානුකූල කාර්ය ඉටු නොකර වැඩ බලන විගණකාධිපතිවරයෙක් හය මාසයකට පත්කිරීමට අනුමැතිය ඉල්ලීම හා ඒ අනුමැතිය මත පත් කිරීම කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියා කර ඇති බව නිරීක්ෂණය වෙයි. විධායකයට පත්වන සෑම දෙනාම සිය රාජකාරි ආරම්භ කිරීමට පෙර දිවුරුම හෝ ප්‍රතිඥාව දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව තමන් විසින් සිය ධුරයේ කාර්ය හෝ කර්තව්‍ය ඉටුකරන බවට ය. විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පුරවද්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් “පැච් දැමීමට” ක්‍රියා කිරීමෙන් ව්‍යවස්ථා උල්ලංඝන චෝදනාවකට ද ලක් වීමටද ඉඩ තිබේ.

ජනාධිපතිවරයාගේ රාජකාරිවල දී ව්‍යවස්ථානුකූලව හා නීත්‍යානුකූලව එම කටයුතු සිදුවන බවට වගබලා ගැනීමේ වගකීම මුළුමනින්ම පැවරී ඇත්තේ ජනාධිපතිවරයාගේ ලේකම් කාර්ය මණ්ඩලයටයි. ජනාධිපති ලේකම්වරයා ද, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු ද, අතිරේක ලේකම්වරු ද ආදී වශයෙන් විවිධ ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ රාජකාරි කරති. ඔවුනට මහජන මුදලින් වැටුප්, යාන වාහන ආදී පහසුකම් ද සපයති. ජනාධිපතිවරයා විසින් කළ යුතු ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල රාජකාරිවල ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල භාවය ගැන මනාව දැනගෙන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම මගින් ජනාධිපතිවරයා අපහසුතාවට පත්වීම වලක්වා ගැනීම ජනාධිපති ලේකම්වරයාගේ වගකීමයි. මේ සඳහා වන හොඳම උදාහරණය පරිණත හා විශිෂ්ට ගණයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජනාධිපති ලේකම් වරයෙකු ව සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්” නම් ස්වයං ලිඛිත චරිතාපදානයේ දැක්වේ. මේ සිද්ධිය සිය ස්වයං ලිඛිත චරිතාපදානයෙන් උපුටා දැක්වීමට ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමාගේ කාරුණික අනුමැතිය මට ලැබුණු බැවින් එය මෙසේය.

2018 වසර වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්ව සිටියේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ය. ඒ වන විට ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර වූ සබඳතා බොහෝ දුරට පිරිහී තිබුණි. මේ වන විට පැවති පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදුජන පෙරමුණ සැලකිය යුතු ජයක් වාර්තා කර එක්සත් ජාතික පක්ෂය පසුකර දේශපාලන කරළියේ ඉදිරියට යමින් තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ සහයෙන් ජනාධිපති වුවද, එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වූ අර්බුදය නිසා වෙනම දේශපාලන ගමනක් යාමේ අභිලාෂය ශ්‍රීලනිප හිටපු නායකයෙකු වූ ජනාධිපතිවරයාට ද ඇතිවන්නට ඇත. ඔහු සමග සිටි ශ්‍රීලනිප හිතවතුන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියහ. මේ සියල්ල දේශපාලනික කරුණු නිසා ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ඒවාට මැදිහත් වීමට අවශ්‍ය වූයේ නැත. එම වකවානුවේ එක් ඉරිදා දිනක අවස්ථා දෙකකදී ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇමතූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ හා ආචාර්ය ජයන්ත ධනපාල යන දෙදෙනාම ඔහුගෙන් විමසා සිටියේ රජය අස්ථාවර කරමින් රනිල් පලවා හැරීමේ ක්‍රියාදාමය වැලැක්වීමට ඔහු පියවර නොගන්නේ ඇයිද? යන පැනයයි. එම සිද්ධීන් දේශපාලනමය ක්‍රියාවලියක් බවත් එය තමා මැදිහත් විය යුතු පරිපාලනමය ක්‍රියාවලියක් නොවන බවටත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පිළිතුරු සපයා ඇත. එහෙත් එම දෙදෙනාම දැඩිව පවසා ඇත්තේ එම ක්‍රියාවට ඔස්ටින් ප්‍රනාන්දු මහතා මැදිහත් වියයුතු බවකි. ජනාධිපති ලේකම්වරයාට එවිට අවබෝධ වී ඇත්තේ රටේ බුද්ධිමතුන් මෙබඳු අවස්ථාවල ජනාධිපති ලේකම්වරයා මැදිහත් වී ජනාධිපතිතුමාට නිසි උපදෙස් ලබාදීම කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ය. ඒ අනුව ඔහු එවක නීතිපතිවරයාට ද ආරාධනා කර දෙදෙනාම ගොස් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇත. එය ඔහු සටහන්කර ඇත්තේ මෙසේය.

“සැලසුම්කාර දේශපාලන කල්ලියක බලපෑම මත ව්‍යවස්ථා විරෝධීව අගමැතිතුමාව පලවා හැරියොත් සිදු විය හැකි දේශපාලනමය, පරිපාලනමය හා සදාචාරමය ප්‍රතිඵල මම පැහැදිලි කළෙමි. අගමැතිවරයාව තනතුරින් පලවා හැරියොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය එයට එරෙහිව තීන්දුවක් දීමේ නෛතික හැකියාව කෙරෙහි නීතිපතිවරයා ව්‍යවස්ථාව උපුටමින් අවධානය යොමු කළේය.” මේ සාකච්ඡාව අනුව අග්‍රාමාත්‍යවරයා පලවා හැරීමේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව ජනාධිපතිවරයා අතින් සිදුවීම ඒ අවස්ථාවේ වලක්වා ගන්නට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමත් විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව කර ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීන්දුවකින් ධුරය දරමින් සිටියදීම බැට කෑවේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් කමෙන් ඉවත්වූ පසුව ය. රාජ්‍ය සේවයේ සිටි කාලයේ දී තමන්ගේ ප්‍රධානියාව සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ වටිනාකම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හරියටම තේරෙන්නට ඇත්තේ ඔය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු පසු වන්නට ඇත. ඔස්ටින් ප්‍රනාන්දු මහතා මේ සිද්ධිය සිය ග්‍රන්ථයේ සඳහන් කරන ගමන් “අපි රාජපක්ෂ-සිරිසේන සමාගමට හෝ සිරිසේන-වික්‍රමසිංහ සමාගමට පාක්ෂිකව හෝ ද්වේෂාත්මකව ක්‍රියා නොකළෙමු. එය වත්මන් දෙටු රාජ්‍ය නිලධාරීන්ට පාඩමකි” යනුවෙන් ද සටහන් කර මුළු මහත් රාජ්‍ය සේවයටම අගනා ඔවදනක් දී ඇත. වත්මන් ජනාධිපතිවරයා විගණකාධිපති පත්කිරීමේ පඹ ගාලේ පැටලී ඇත්තේ එක විනාඩි පහක දුරකථන ඇමතුමකින් ඔස්ටින් ප්‍රනාන්දු වැනි පරිණත රාජ්‍ය නිලධාරියෙකුගෙන් උපදෙසක් අහන්න දන්නා ලේකම්වරයෙකු එතුමාගේ ලේකම් මණ්ඩලයට පත්කර ගෙන නැති නිසා ය.

ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයාගෙන්ම නමක් යෝජනා වී එන්න ඕනෑයැයි අනිවාර්ය බවක් නැති නිසා, වැඩ බලන්න පත්කිරීමට අනුමැතිය ගැනීමට එවූ නම ස්ථිරව පත්කිරීමට අනුමැතිය දී ජනාධිපතිවරයාට යවන්න ව්‍යවස්ථා සභාවට බාධාවක් ඇති බවක් නොපෙනේ. ව්‍යවස්ථා සභාවත් එහෙම කරන බවක් නොපෙනේ. මේ ගැන මහත් වෙහෙසක් ගෙන උත්තරීතර පාර්ලෙමේන්තුවේ අවධානයට ලක් කළේ නීතීඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පමණි. ඔහුට මහජනතාවගේ ස්තූතිය හිමි විය යුතුව ඇත. රාජ්‍ය මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම පැවරී ඇති පාර්ලිමේන්තුව මේ අන්දමින් විධායකය විසින් විගණකාධිපතිවරයෙක් පත්නොකර “පැච් දැමීම” හා කඹ ඇදීම ගැන තදින් ක්‍රියා කළ යුතුව ඇත. ඒ, විධායකය සිය කාර්ය ඉටුකිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතු නිසා ය.

දැන් අලුතෙන්ම සිදුව ඇත්තේ වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස වැරදි ලෙස පත්කළ නිලධාරියාගේ ඒ වැරදි පත්වීමේ හය මසක කාලය අවසන්වීම ය. ජනාධිපතිවරයා තවත් වරක් “පැච් එක” දමන්න හිතාගෙනදෝ තවත් මාස තුනකට ඔහුගේ වැඩ බලන කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඉල්ලා ඇතත් ව්‍යවස්ථා සභාව ඒ අනුමැතිය ප්‍රතික්ෂේප කළේ වැඩි ඡන්දයෙනි. ජනාධිපතිවරයා වෙනත් සුදුසු විගණකවරයෙකුගේ නමක් හෝ වැරදියට හෝ වැඩ බැලූ පළපුරුදු අතිරේක විගණකාධිපතිගේ නම අනුමැතියට ඉදිරිපත් නොකර “පැච් දාගෙන” කරන්න හදන්නේ තමන්ට අවශ්‍ය විගණකවරයාව විගණකාධිපති ලෙස පත්කිරීමට අනුමැතිය ලබා ගත හැකිවන ලෙස ව්‍යවස්ථා සභාව සැකසෙන තුරු කල්මැරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ දයාසිරි ජයසේකර පෙන්වා දී තිබේ. ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයාගෙන්ම නමක් යෝජනා වී එන්න ඕනෑයැයි අනිවාර්ය බවක් නැති නිසා, වැඩ බලන්න පත්කිරීමට අනුමැතිය ගැනීමට එවූ නම ස්ථිරව පත්කිරීමට අනුමැතිය දී ජනාධිපතිවරයාට යවන්න ව්‍යවස්ථා සභාවට බාධාවක් ඇති බවක් නොපෙනේ. ව්‍යවස්ථා සභාවත් එහෙම කරන බවක් නොපෙනේ. මේ ගැන මහත් වෙහෙසක් ගෙන උත්තරීතර පාර්ලෙමේන්තුවේ අවධානයට ලක් කළේ නීතීඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පමණි. ඔහුට මහජනතාවගේ ස්තූතිය හිමි විය යුතුව ඇත. රාජ්‍ය මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම පැවරී ඇති පාර්ලිමේන්තුව මේ අන්දමින් විධායකය විසින් විගණකාධිපතිවරයෙක් පත්නොකර “පැච් දැමීම” හා කඹ ඇදීම ගැන තදින් ක්‍රියා කළ යුතුව ඇත. ඒ, විධායකය සිය කාර්ය ඉටුකිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතු නිසා ය. මේ නිසා රටේ “විගණකාධිපතිවරයෙක් වන්නේය” යනුවෙන් උත්තරීතර නීතියේ සඳහන්ව තිබුණත් ප්‍රායෝගිකව “විගණකාධිපතිවරයෙක් නැත්තේය” යනුවෙන් කියන්න සිදුව තිබීම ගැන ජනාධිපතිවරයාත්, ව්‍යවස්ථා සභාවත්, පාර්ලිමේන්තුවත් සමස්ත මහජනතාවට සෘජුවම වගකිව යුත්තේය යනුවෙන් මහජනතාව වෙනුවෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර