වෙරළ පරිසර පද්ධතියට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් සිදුකර අදාළ සමාගම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇත.
මෙම මස 20 වැනිදාට යෙදී ඇති ‘අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය’ පිළිබඳව දැනුවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව පවත්වනු ලබන ජාතික වැඩසටහන මෙමස 20 වැනිදා පෙරවරු 7.30 සිට පෙරවරු 11.00 දක්වා පානදුර වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව කිලෝමීටර් 100ක වෙරළ කලාපයක් ද පිරිසුදු කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වෙරළ පිරිසුදු කිරීමට සමගාමීව වෙරළ පරිසරයට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් ද සිදුකිරීමට නියමිතයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ අනුව වෙරළ කලාපයේ තිබෙන අපද්‍රව්‍යවල ඇති වෙළෙඳ නාමවලට අදාළ සමාගම්වලට පළමුව අවවාද කර පසුව නීතිමය පියවර ගන්නා බවත් එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර පවසනලදි.