ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේදී තෙවැනි ස්ථානයට පත් වෙමින් කිරුළු පැළඳීමට ශ්‍රී ලාංකීක විවාහක රූ රැජින වන සබිනා යුසුෆ්ට හැකිව තිබේ.
ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක විවාහක රූප රැජිනියන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ඡායාරූපවලට පෙනී සිටීමට සුදුසුම තරගකාරිය (මිසිස් ෆොටෝජෙනික්) තේරීම සඳහා පැවති තරගයේ ජයග්‍රාහකයා වී ඇත්තේ ද සබීනා යි.
ශ්‍රී ලංකාවේ මෙන්ම ඩෙන්මාර්කයේ ද්විත්ව පුරවැසිභාවය හිමි 25 හැවිරිදි යුසුෆ් 2025 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළු පැළඳි අතර ඇය ව්‍යාපාරික කාන්තාවකි. ශ්‍රී ලාංකික විවාහක රූ රැජින විසින් ලබාගෙන ඇති මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ධෛර්යය, ශක්තිය හා දැක්ම නියෝජනය කරන බවත් රටේ බලාපොරොත්තු ඉහළ නැංවීමක් බව ඇයගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලාංකිකයන් පවසා ඇති බව සමාජ මාධ්‍ය ජාලවල පළකර ඇති සටහන්වල දැක්වේ. ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් නගරයේ පැවැති මෙම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙවර ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳා ඇත්තේ තායිලන්ත විවාහක රූ රැජින වන චනිටා සීඩකෙට් ක්‍රේතෝන් වන අතර පළමු අනු ශූරිය වූයේ ඇමරිකානු විවාහක රූ රැජින වන පේජ් එවින්ග්ය.