ස්වාභාවික විපත්වලින් අප ගලවන්න සතුන්ට පුළුවන්ද?

vinivida

මෑත මාසවල දී, ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියූබ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සතුන් ස්වාභාවික ආපදා පිළිබඳ කල් ඇතිව අනතුරු අඟවන බව පෙන්වන AI මඟින් ජනනය කරන ලද වීඩියෝ දර්ශන බහුලව දක්නට ලැබුණි. සුනාමියකට පෙර අලි ඇතුන් රට අභ්‍යන්තරයට දුවන ආකාරය, ගංවතුරකට පෙර කුරුල්ලන් පියාසර කර යන ආකාරය හෝ සුනඛයින් තද කුණාටුවකට පෙර අහසට බුරන ආකාරය පෙන්වන මෙම දර්ශන මිලියන ගණනකගේ අවධානයට ලක් වූ අතර නිමක් නැති සංවාදයන්ට තුඩු දුනි.

මෙම වීඩියෝ දසුන් බොහොමයක් විනෝදාස්වාදය හෝ දැනුවත් කිරීම සඳහා පරිගණකයෙන් ජනනය කරන ලද නාට්‍යකරණයන් වුවද, ඒවා බොහෝ විට මිනිසුන්ට පෙර සතුන්ට පාරිසරික වෙනස්කම් දැනිය හැකි ආකාරය පිළිබඳ සැබෑ නිරීක්ෂණ සහ විද්‍යාත්මක සත්‍යයන්ගේ ආභාෂය ලබා තිබෙන බව සඳහන් කළ යුතුය.

තද මෝසම් වැසි, ගංවතුර, නායයෑම්, නියඟ සහ වෙරළබඩ සුනාමි වැනි තර්ජනවලට ගොදුරු විය හැකි නිවර්තන දූපතක් වන ශ්‍රී ලංකාවට ද, එවැනි සිදුවීම්වලට පෙර සතුන් අමුතු ලෙස ප්‍රතිචාර දැක්වූ කතාන්දර බොහොමයක් තිබේ. මෙම සංසිද්ධිය තේරුම් ගැනීමට, අප විද්‍යාව සහ අත්දැකීම් යන දෙකම දෙස බැලිය යුතුය. සතුන් සංවේදනය කරන්නේ කුමක්ද, ඔවුන් මෙම හැකියාවන් ලබා ගත්තේ කෙසේද සහ මිනිසුන් එම සංඥාවලට සාපේක්ෂව අඩු සංවේදීතාවක් දක්වන්නේ ඇයි යන්න අපට මෙහිදී සලකා බැලිය හැකිය.

මිනිසුන් පරිණාමය හරහා අහිමි කරගත් හෝ කිසිදා දියුණු නොකළ අතිවිශේෂ සංවේදී හැකියාවන් බොහෝ සතුන්ට තිබේ. ඔවුන් ශබ්දය, කම්පනය, සුවඳ සහ චුම්බක ක්ෂේත්‍ර මත යැපෙමින් තම වටපිටාවට දැඩි ලෙස අනුගත වී තිබේ. උදාහරණයක් ලෙස, අලි ඇතුන්ට පොළොව හරහා කිලෝමීටර් ගණනාවක් ගමන් කරන අධෝරක්ත ශබ්ද (infrasound) ඇසීමට පුළුවන. පක්ෂීන්ට සහ වවුලන්ට කුණාටුවලට පෙර ඇතිවන වායු පීඩනයේ සියුම් වෙනස්කම් හඳුනාගත හැකිය. සුනඛයින්ට සහ බළලුන්ට භූමිකම්පා හෝ නායයෑම්වලට පෙර ඇතිවන ක්ෂුද්‍ර කම්පන (micro-vibrations) හෝ වාතයේ හෝ පසෙහි රසායනික වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්විය හැකිය.

මිනිසුන් පරිණාමය හරහා අහිමි කරගත් හෝ කිසිදා දියුණු නොකළ අතිවිශේෂ සංවේදී හැකියාවන් බොහෝ සතුන්ට තිබේ. ඔවුන් ශබ්දය, කම්පනය, සුවඳ සහ චුම්බක ක්ෂේත්‍ර මත යැපෙමින් තම වටපිටාවට දැඩි ලෙස අනුගත වී තිබේ. උදාහරණයක් ලෙස, අලි ඇතුන්ට පොළොව හරහා කිලෝමීටර් ගණනාවක් ගමන් කරන අධෝරක්ත ශබ්ද (infrasound) ඇසීමට පුළුවන. පක්ෂීන්ට සහ වවුලන්ට කුණාටුවලට පෙර ඇතිවන වායු පීඩනයේ සියුම් වෙනස්කම් හඳුනාගත හැකිය. සුනඛයින්ට සහ බළලුන්ට භූමිකම්පා හෝ නායයෑම්වලට පෙර ඇතිවන ක්ෂුද්‍ර කම්පන (micro-vibrations) හෝ වාතයේ හෝ පසෙහි රසායනික වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්විය හැකිය.

මිනිසුන් මෙන් නොව, සතුන් ස්වභාව ධර්මයට සමීපව ජීවත් වෙයි. ඔවුන් මෙම සංඥා මත යැපෙන්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමට, ආහාර සොයා ගැනීමට හෝ අනතුරක් පිළිබඳ අවබෝධ කරගැනීමටය. වසර දහස් ගණනක් පුරා, ඔවුන් ගේ පරිණාමය මුළුල්ලේම මෙම ඉන්ද්‍රියයන් ශක්තිමත් වී තිබේ. වායු පීඩනය පහත වැටීමක්, පාංශු තෙතමනය වැඩිවීමක් හෝ භූගතව ඇති අමුතු කම්පනයක් වැනි පාරිසරික රටා හදිසියේ වෙනස් වන විට, සතුන් ක්ෂණිකව ප්‍රතික්‍රියා කරයි. අප “බිය” හෝ “අනතුරු ඇඟවීම” ලෙස අර්ථකථනය කරන්නේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආරක්ෂාව ඇති කර ගැනීමට පවතින සහජ බුද්ධියයි (instinct).‍

මිනිසුන් ද සිය පරිණාමයේ මුල් අවධියේ දී ස්වාභාවික සංඥා මත යැපුණත්, නවීන ජීවිතය අපව පරිසරයෙන් ඈත් කර තිබේ. නාගරීකරණය, ශබ්දය සහ තාක්ෂණය අපගේ ස්වාභාවික සංවේදීතාව අඩු කර ඇත. සතුන්ට ස්වාභාවිකවම දැනෙන දේ හඳුනා ගැනීමට අප වායුපීඩනමාන, භූ කම්පනමාන (seismographs) සහ චන්ද්‍රිකා වැනි විද්‍යාත්මක උපකරණ මත විශ්වාසය තබන්නට පුරුදුව සිටින්නෙමු.

මිනිසුන්ට කුඩා පාරිසරික වෙනස්කම් දැනිය හැකි වුවද (උදාහරණයක් ලෙස, වැස්සකට පෙර ආර්ද්‍රතාවය දැනීම), අපගේ පරාසය පටුය. බොහෝ සතුන්ට අධෝරක්ත ශබ්ද (20 Hz ට අඩු) හෝ අතිස්වනික හඬ (20,000 Hz ට වැඩි) ඇසීමට හැකියාව තිබුණත් මිනිසුන් වන අපට ඒ හැකියාව නැත. තවද ඇතැම් ස්වාභාවික සිදුවීම්වලට පෙර ඇතිවන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වෙනස්වීම් හෝ භූ කම්පන අපට හඳුනාගත නොහැකිය. එබැවින් සතුන් සහජයෙන්ම මෙම සංඥාවලට ප්‍රතිචාර දක්වන අතර, මිනිසුන් බොහෝ විට ඒවා දකින්නේ ආපදාවන්ගෙන් පසුවය.

ලොව පුරා, විද්‍යාඥයින් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් ස්වාභාවික ආපදාවලට පෙර සතුන්ගේ හැසිරීම් පිළිබඳ සිත්ගන්නාසුලු උදාහරණ වාර්තා කර තිබේ.

ඉන් එකක් වන්නේ 2004 වසරේ ඇති වූ දරුණු සුනාමි ව්‍යසනයයි. 2004 දෙසැම්බර් 26 වන දින ඉතිහාසයේ දරුණුතම සුනාමිවලින් එකක් ශ්‍රී ලංකාවට සහ ඉන්දීය සාගරය අවට තවත් රටවල් කිහිපයකට බලපෑවේය. දහස් ගණනක් මිනිසුන් මිය ගිය නමුත්, පීඩාවට පත් වෙරළබඩ ප්‍රදේශවල බොහෝ වන සත්තු දිවි ගලවා ගත්හ.

යාල ජාතික වනෝද්‍යානයේ, මුරකරුවන් පසුව වාර්තා කළේ රළ පහරට පැය ගණනකට පෙර අලි ඇතුන්, මුවන් සහ කුඩා සතුන් පවා රට අභ්‍යන්තරයට ගමන් කර ඇති බවයි. සුනාමි රළ මගින් අවට මානව ජනාවාස විනාශ කළ ද, මියගිය අලි ඇතුන් කිසිවෙකු සොයා ගත්තේ නැත. තම දම්වැල් කඩාගෙන ඉහළ බිම් කරා දිව ගිය අලි ඇතුන් පිළිබඳ මේ හා සමාන කථා තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද අසන්නට ලැබුණි. සුනාමිය වෙරළට ළඟා වීමට බොහෝ වේලාවකට පෙර මෙම සතුන් දැඩි භූ කම්පන හෝ දිය යටින් ඇදී ආ භූමිකම්පාවේ අධෝරක්ත ශබ්ද තරංග දැනගත් බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

යාල ජාතික වනෝද්‍යානයේ, මුරකරුවන් පසුව වාර්තා කළේ රළ පහරට පැය ගණනකට පෙර අලි ඇතුන්, මුවන් සහ කුඩා සතුන් පවා රට අභ්‍යන්තරයට ගමන් කර ඇති බවයි. සුනාමි රළ මගින් අවට මානව ජනාවාස විනාශ කළ ද, මියගිය අලි ඇතුන් කිසිවෙකු සොයා ගත්තේ නැත. තම දම්වැල් කඩාගෙන ඉහළ බිම් කරා දිව ගිය අලි ඇතුන් පිළිබඳ මේ හා සමාන කථා තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද අසන්නට ලැබුණි. සුනාමිය වෙරළට ළඟා වීමට බොහෝ වේලාවකට පෙර මෙම සතුන් දැඩි භූ කම්පන හෝ දිය යටින් ඇදී ආ භූමිකම්පාවේ අධෝරක්ත ශබ්ද තරංග දැනගත් බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම ඛේදජනක සිදුවීම තුළින් ඉතා වැදගත් කාරණයක් ඉස්මතු වෙයි. මිනිසුන් තාක්ෂණය මත යැපෙන අතර, ස්වභාවධර්මයේ ජීවීන්ට සහජ බුද්ධිය සහ සංවේදී දැනුවත්භාවය තුළින් අනතුර හඳුනාගත හැකිය. මේ අනුව ස්වාභාවික විපත්වලින් අප ගලවන්නට සතුන්ට හැකියාවක් තිබෙන බව ද ඒ හැකියාවන් අප නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතු බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

පක්ෂීන් ස්වභාවධර්මයේ ඇති සංවේදීම කාලගුණ අනාවැකිකරුවන් අතර වේ. ශ්‍රී ලංකාවේ කුරුළු නිරීක්ෂකයින් දැක ඇත්තේ කොකුන් වැනි කුරුල්ලන් තද වැසි ළං වන විට පහතින් පියාසර කරන බවයි. මෙය මිථ්‍යාවක් නොවේ. එය කෘමි පියාසැරි රටාවලට බලපාන වායු පීඩනයේ සහ ආර්ද්‍රතාවයේ වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමකි.

වෙනත් අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ, කුණාටුව කිලෝමීටර් සිය ගණනක් දුරින් තිබියදී පවා, සංක්‍රමණික පක්ෂීන් කුණාටුවකට දිනකට පෙර තම පියාසර මාර්ග වෙනස් කරන බවයි. ඔවුන් බොහෝ විට දුරස්ථ ගිගුරුම්වලින් අධෝරක්ත ශබ්ද කම්පන හෝ චුම්බක ක්ෂේත්‍රවල සියුම් වෙනස්වීම් හඳුනා ගනී. ශ්‍රී ලංකාවේ තද මෝසම් වැසි හෝ තද සුළංවලට පෙර පක්ෂීන් නිහඬ වීමටද මෙවැනි සංවේදීතාවයක් හේතු විය හැකිය.

ශ්‍රී ලංකාවේ පොකුණු සහ වෙල් යායවල් බොහෝ ගෙම්බන් විශේෂවලට නිවහන වන අතර, වැස්සකට පෙර ඔවුන්ගේ හඬ නැඟීම බොහෝ විට වැඩි වේ. ගොවීන් දිගු කලක් තිස්සේ ගෙම්බන්ගේ හඬ ස්වාභාවික අනාවැකියක් ලෙස භාවිත කර ඇත. නමුත් විද්‍යාඥයන් පවසන්නේ මෙම හැසිරීම වායු පීඩනයට සහ ආර්ද්‍රතාවයට සම්බන්ධ විය හැකි බවයි. ගෙම්බන්ට වාතයේ ඇති ඉතා කුඩා තෙතමන වෙනස්වීම් හඳුනාගත හැකි අතර, වර්ෂාවට පෙර ඔවුන් තුළ ඊට ඇති සූදානම මෙයින් ඇඟවේ.

2009 දී, භූමිකම්පා කලාපයක් අසල සිටි මැඩියන් පිළිබඳ අධ්‍යයනය කළ ඉතාලි විද්‍යාඥයින් සොයා ගත්තේ, ප්‍රධාන භූමිකම්පාවකට දින පහකට පෙර සතුන් තම අභිජනන ස්ථානවලින් අතුරුදහන් වූ බවයි. ශ්‍රී ලංකාවේ නායයෑම් සහ සුළු භූ කම්පන ඇතිවන කඳුකර ප්‍රදේශවලින් ද මීට සමාන සිදුවීම් වාර්තා වී ඇති අතර, මෙවැනි උභයජීවී හැසිරීම්වලට ද එවැනිම වැදගත්කමක් තිබිය හැකිය.

නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තද වැසි සහ බෑවුම් කඩා වැටීමට පෙර සුනඛයින් නොනවත්වා බුරන හෝ ගෙවල් තුළ සිටීමට අකමැති වූ අවස්ථා අසන්නට ලැබී තිබේ. සුනඛයින්ට තියුණු ශ්‍රවණයක් ඇති අතර මිනිසුන්ට නොතේරෙන, පස් චලනය වීම, භූගත ජල ප්‍රවාහය හෝ කම්පනය දැනිය හැකිය. කුණාටු හෝ කම්පනවලට පෙර බළලුන් ද බොහෝ විට නොසන්සුන් වේ.

ජර්මනියේ විද්‍යාත්මක අත්හදා බැලීම් මගින් ගවයන්, බැටළුවන් සහ සුනඛයින් වැනි ගොවිපළ සතුන් භූමිකම්පාවලට පැය 12-20 කට පෙර අසාමාන්‍ය ලෙස නොසන්සුන් වන බව වාර්තා වී ඇත. ඔවුන් පාරිසරික වශයෙන් ඇති වන භෞතික හෝ රසායනික වෙනස්කම් සංවේදනය කරනවා විය හැකිය.

මෙම නිරීක්ෂණ බලගතු වුවද, සත්ත්ව හැසිරීම් විශ්වාසදායක අනතුරු ඇඟවීමේ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට නවීන විද්‍යාව තවමත් උත්සාහ කරයි. සියලුම සතුන් එකම ආකාරයකින් ප්‍රතික්‍රියා නොකරන අතර, ඔවුන්ගේ ප්‍රතිචාර විශේෂය, පරිසරය හෝ තනි පුද්ගල ස්වභාවය මත රඳා පවතී. එසේ වුවද, භූමිකම්පා හෝ ගංවතුර වැනි සිදුවීම්වලට පෙර සතුන් ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන් චලන සංවේදක, GPS උපකරණ සහ පාරිසරික අධීක්ෂණය භාවිතා කරයි.

ජපානයේ සහ චීනයේ ඇතැම් මූලික අනතුරු ඇඟවීමේ පද්ධති පවා ඔවුන්ගේ පුළුල් අධීක්ෂණ ප්‍රවේශයේ කොටසක් ලෙස සත්ත්ව නිරීක්ෂණ දත්ත ඇතුළත් කිරීමට පටන් ගෙන ඇත. එය පුරාණ ප්‍රඥාව සහ නවීන තාක්‍ෂණය පිළිබඳ සිත් ඇදගන්නාසුළු මිශ්‍රණයකි.

ගංවතුර, තද මෝසම්, නායයෑම් සහ වෙරළබඩ උපද්‍රවයන්ට රටේ අවදානම අනුව, ශ්‍රී ලංකාවට සත්ත්ව හැසිරීම් සමීපව ලේඛනගත කිරීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වනාන්තර, ජාතික වනෝද්‍යාන සහ වෙරළබඩ තීරුවලට ආසන්න ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් අසාමාන්‍ය සත්ත්ව චලනයන්, පක්ෂීන්ගේ සංක්‍රමණයන් හෝ අවදානම් කාලගුණ තත්ත්වයන්ට පෙර ශබ්ද රටා වාර්තා කළ හැකිය. එවැනි පුරවැසි විද්‍යාවක් තාක්‍ෂණික අනාවැකිවලට අනුපූරක විය හැකිය.

අන්තර්ජාලය පුරා සංසරණය වන AI මඟින් ජනනය කරන ලද වීඩියෝ දර්ශන මගින් සතුන් ආපදාවන්ගේ අනාවැකිකරුවන් ලෙස ක්‍රියා කරන බවට අතිශයෝක්තියට නංවන නමුත්, ඒවායේ විද්‍යාත්මක පදනමක් තිබෙන බව සඳහන් කළ යුතුව තිබේ. සතුන් පාරිසරික වෙනස්කම්වලට අතිවිශේෂ සංවේදීතාවක් පෙන්නුම් කරයි. එය මිනිසුන්ට පරිණාමය හරහා බොහෝ දුරට අහිමි වූ දෙයකි.

කෘත්‍රිම බුද්ධියෙන් (AI) වඩ වඩාත් ආධිපත්‍යය දරන ලෝකයක, ඇතැම්විට මෙම AI වීඩියෝ දර්ශන සැබෑ සහ අතීත ලෝකයේ වටිනා යමක් අපට මතක් කර දෙයි. ඒ, අපට තවදුරටත් කළ නොහැකි වුවද, ස්වභාවධර්මයටම ආවේණික වූ බුද්ධියක් ඇති බවත්, අපගේ මහපොළොව බෙදා ගන්නා ජීවීන් තවමත් පෘථිවියේ හඬට සවන් දෙන බවත්ය.

සුනාමිය දැනුණු යාල වනෝද්‍යානයේ අලි ඇතුන්ගේ සිට, කුණාටුවකට පෙර පහතින් පියාසර කරන පක්ෂීන් දක්වා, ස්වභාවධර්මය අපගේ අවධානයට ලක්විය යුතු සියුම් අනතුරු ඇඟවීම් ලබා දෙයි.

කෘත්‍රිම බුද්ධියෙන් (AI) වඩ වඩාත් ආධිපත්‍යය දරන ලෝකයක, ඇතැම්විට මෙම AI වීඩියෝ දර්ශන සැබෑ සහ අතීත ලෝකයේ වටිනා යමක් අපට මතක් කර දෙයි. ඒ, අපට තවදුරටත් කළ නොහැකි වුවද, ස්වභාවධර්මයටම ආවේණික වූ බුද්ධියක් ඇති බවත්, අපගේ මහපොළොව බෙදා ගන්නා ජීවීන් තවමත් පෘථිවියේ හඬට සවන් දෙන බවත්ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර