අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස තුනක කාලය තුළ මෙරට විදුලි පද්ධතියට ගිගාවොට් පැය 250ක පමණ විදුලි ධාරිතාවක් අහිමි වනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. පූර්ණ සුදුසුකම් ලත් විදුලි ඉංජිනේරුවරයකු මෙන්ම විෂය භාර හිටපු අමාත්‍යවරයකු ලෙස ඒ මහතා පෙන්වා දෙන්නේ ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) සමාගමේ බලාගාර ආර්ථික දත්ත හා මාසික සංඛ්‍යාලේඛන මගින් මෙම අවදානම පැහැදිලිවම තහවුරු වන බවයි.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු, පසුගිය මාර්තු 9 වැනිදා පිහිටුවන ලද ‘නැෂනල් සිස්ටම් ඔපරේටර්’ (පුද්) සමාගම, මෙරට විදුලි උත්පාදන කාලසටහන්ගත කිරීම සහ අනාගත සම්ප්‍රේෂණ ධාරිතාව සැලසුම් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු රජයට අයත් ආයතනය වේ. එම නිල දත්ත උපුටා දක්වමින් රණවක මහතා අවධාරණය කරන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු පිළිබඳ ගැටලුව තවදුරටත් වසන් කළ නොහැකි බවත්, මේ හේතුවෙන් සිදුවන මහා පරිමාණ මූල්‍යමය පාඩුව අවසානයේ පාරිභෝගිකයා මත පැටවීමේ අවදානමක් පවතින බවත්ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) පවසන්නේ ගල් අඟුරු අර්බුදය හේතුවෙන් සිදුවන කිසිදු අතිරේක පිරිවැයක් විදුලි ගාස්තු සංශෝධනය සඳහා එක් නොකරන බවයි. විදුලි ගාස්තු තීරණය කිරීමේදී ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැයවන ‘සාධාරණ පිරිවැය’ පමණක් සැලකිල්ලට ගන්නා බව එම කොමිසම අවධාරණය කරයි.
පසුගිය ගාස්තු සංශෝධනයේදී මෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත සංශෝධනවලදී ද ගල් අඟුරු ප්‍රශ්නය නිසා ඇතිවන අමතර වියදම් හෝ වෙනත් අසාධාරණ පිරිවැය පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව, මෙම තීරණය උදාවූ අලුත් අවුරුද්දේ මෙරට ලක්ෂ හැත්තෑ එකක් ද ඉක්මවන විදුලි පාරිභෝගිකයන්ට යම් සහනයක් ගෙන දෙන සුබ පණිවිඩයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.