ඉන්දීය සිනමා ගී රැජින ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය සිනමා ගී රැජින ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය සිනමාවේ අද්විතීය පසුබිම් ගායිකාවක වූ ආශා බෝස්ලේ අද (12) දින මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 92 වැනි වියේ පසු වූ ඇය, වියපත් භාවය හේතුවෙන් හටගත් බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව (Multi-organ failure) හේතුවෙන් මිය ගිය බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය ප්‍රතීත් සම්දානි විසින් තහවුරු කර තිබේ. ඊයේ දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් සහ පපුවේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබූ අතර, ඇයගේ මිණිබිරිය වන සනායි බෝස්ලේ ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය මිත්තණිය දැඩි වෙහෙසකර තත්ත්වයෙන් පසුවූ බව ප්‍රකාශ කර තිබුණි.

ඇයගේ අභාවය පිළිබඳව කරුණු දක්වමින් පුත් ආනන්ද් බෝස්ලේ සඳහන් කළේ, මහජන ගෞරවය සඳහා දේහය හෙට (13) පෙරවරු 11.00 ට ලෝවර් පරෙල් හි පිහිටි ‘කාසා ග්‍රෑන්ඩ්’ නිවසේ තැන්පත් කරන බවයි. අනතුරුව අවසන් කටයුතු හෙට සවස 4.00 ට මුම්බායි හි ශිවාජි පාර්ක්හිදී සිදු කිරීමට නියමිතව ඇත.

වයස අවුරුදු 10 දී ‘මජා බාල්’ මරාති චිත්‍රපටයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ආශා බෝස්ලේ මහත්මිය, දශක හතකට අධික කාලයක් පුරා ඉන්දීය සංගීතයේ නොමැකෙන සලකුණක් තැබුවාය. ශාස්ත්‍රීය සංගීතයේ සිට පොප් සහ කැබරේ දක්වා විවිධ ශෛලීන් ඔස්සේ ගීත දහස් ගණනක් ගායනා කළ ඇය, ‘දිල් චීස් ක්‍යා හේ’, ‘ආජා ආජා’ සහ ‘තන්හා තන්හා’ වැනි අමරණීය ගීත රැසක් ලෝකවාසී ප්‍රේක්ෂකයාට දායාද කළාය. සිය දිවියේ අවසන් කාලයේදී පවා අතිශය ක්‍රියාශීලී වූ ඇය, මෑතකදී ඩුබායි හි පැවති ප්‍රසංගයකදී ‘තවුබා තවුබා’ ගීතයට නර්තනයේ යෙදෙමින් දැක්වූ ජීව ගුණය මුළු මහත් ලෝකයේම අවධානයට ලක් විය. ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු සම්භාවනීය පුද්ගලයන් සහ කලාකරුවන් රැසක් මේ වන විටත් සිය ශෝකය පළ කර තිබේ.

කාලීන පුවත්