ඉන්දුනීසියාවේ දී “ලෙඩ වූ” ශ්‍රී ලන්කන් යානය “ගෙදර” එයි

ඉකුත් 05 වනදා අලුයම 01යි 45ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ඒ – 320 වර්ගයේ ගුවන් යානය අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත යළි පැමිණ තිබේ.එය ගුවන් මගීන් 93 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව ඉන්දුනීසියානු ගුවන් සීමාව තුළ පියාසර කරමින් තිබියදී ඇති වූ හදිසි දෝෂ තත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් වන මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර තිබේ.එහෙත්, එම ගුවන් යානය මෙඩාන් ගුවන් තොටුපොළ තුළ දී අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීම හේතුවෙන් ඉකුත් 06 වනදා පස්වරු 01යි 45ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් පිරිසක්, අවශ්‍ය අමතර කොටස් ද රැගෙන විශේෂ ගුවන් යානයකින් මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් ඇත.ඔවුන් එය අලුත්වැඩියා කිරීමෙන් පසු එය අද උදෑසන 07යි 55ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 303 දරන ගුවන් යානය වශයෙන් මෙඩාන් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

කාලීන පුවත්