කතරගම බස්නායක නිලමේගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක්

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ආර්.වීම්.ජී.සේනාරත්න මහතා ගේ අත්සනින් 2025 සැප්තැම්බර් 11 දිනයෙන් යුතුව බස්නායක නිළමේ වරයා වෙත දැනුම් දී තිබේ.රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සිදු කර ඇති නීති විරෝධී ක්‍රියා හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ 15 (1) වගන්තිය ප්‍රකාරව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, එම පරීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු, ලිපිලේඛන හා ප්‍රකාශ ලබා ගැනීම සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 20 දක්වා සිදු කරන බවත් එම ලිපිය මගින් දැනුම්දී ඇත.එම පරීක්ෂණ කාර්යය සඳහා එච්.ඒ.යූ. ජයලත් (ප්‍රධාන අභ්‍යන්තර විගණක) සහ ජේ.පි.අරුණ ඉන්දික (සංවර්ධන නිලධාරී) නිලධාරීන් සහභාගී වන බවද එකී ලිපිය මගින් බස්නායක නිලමේවරයා වෙත දැනුම්දී තිබේ.මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් කොට ඇති ප්‍රකාශ උපුටා දක්වන සමාජ මාධ්‍ය වාර්තාකර ඇත්තේ, රුහුණු මහා කතරගම දේවාලයට ලැබෙන ආධාර සම්බන්ධයෙන් ඉතා නිවැරදි පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කොට ඓතිහාසික ජනතා සුභසාධනයක් සිදු කොට ඇති එහි බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීම වැලැක්වීමේ සැලසුමකින් යුතුව මෙම පරීක්ෂණය ආරම්භකර ඇති බවයි.කෙසේ වුවද රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලවරණයට තමන් මෙවර ඉදිරිපත් නොවන බව ඩිශාන් ගුණසේකර මහතා ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්