තමිල්නාඩු මැතිවරණයෙන් ජනප්‍රිය නළු විජේට විශිෂ්ට ජයක්

දෙමළ සිනමාවේ සුපිරි නළු විජේ මේ වනවිට සිනමාව පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රය ද ජයගෙන තිබේ. ඒ, පසුගිය දා පවත්වන ලද තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 න් ආසන 108 ක්ම දිනා ගැනීමට ඔහුගේ තමිලග වේට්රි කෂාගම් පක්ෂය සමත් විය. මේ අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා බවට පත්වීමට ද ඔහුට හැකි වනු ඇත. (මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඔහු එම ධුරය සඳහා පත්ව තිබුණේ නැත.)

දිගු කලෙක සිටම තමිල්නාඩුවේ බලය හෙබවූයේ ප්‍රධාන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට ය. ඒ ජයලලිතා වැනි නායිකාවන් අයත් වූ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (AIADMK ) පක්ෂය සහ එම්. කරුණානිධි වැනි නායකයන් අයත් වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (DMK) පක්ෂය යි. මෙවර මෙම ප්‍රබල පක්ෂ දෙකම විජේ ගේ අලුත් පක්ෂය ඉදිරියේ පරාජයට පත්ව තිබේ.

දිගු කලෙක සිටම තමිල්නාඩුවේ බලය හෙබවූයේ ප්‍රධාන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට ය. ඒ ජයලලිතා වැනි නායිකාවන් අයත් වූ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (AIADMK ) පක්ෂය සහ එම්. කරුණානිධි වැනි නායකයන් අයත් වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (DMK) පක්ෂය යි. මෙවර මෙම ප්‍රබල පක්ෂ දෙකම විජේ ගේ අලුත් පක්ෂය ඉදිරියේ පරාජයට පත්ව තිබේ.
පසුගිය කාලයේ ප්‍රාන්තයේ ආණ්ඩු බලය හෙබ වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 59 ක් පමණි. කලින් එය ආසන 133 ක් හිමිකරගෙන සිටියේය. විජේ ගේ පක්ෂය තමිල්නාඩු දේශපාලනය තුළ කර ඇති බලපෑම මේ අනුව හොඳින් දැකගත හැකි වේ.

විජේ ගේ දේශපාලන රැළියක්
විජේ ගේ දේශපාලන රැළියක්

විජේ ඔහුගේ තමිලග වේට්රි කෂාගම් පක්ෂය පිහිටුවා තවමත් ගත වී ඇත්තේ වසර දෙකක කාලයක් පමණි. කෙසේ හෝ වේවා, ඔහු මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පසුගිය කාලය තුළ වෙහෙස මහන්සි වූයේ සිනමා රංගනයෙන් පවා සම්පූර්ණයෙන් ඉවත් වෙමිනි.

2024 පෙබරවාරි මාසයේ ඔහු සිය පක්ෂය පිහිටුවද්දී පැවසුවේ සිනමා රංගනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බව යි. ඔහු රඟ පෑ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන “ජන නායගන්” චිත්‍රපටය මෙම සටහන ලියන අවස්ථාව වනවිට ප්‍රදර්ශණය ආරම්භ කර තිබුණේ නැත. එය මැයි 8 වැනි දින සිට තිරගත වනු ඇති බවක් ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

විජේ ලැබූ දේශපාලන ජයග්‍රහණය නිසා ජන නායගන් වෙත යොමුවන අවධානය ද වැඩි වනු ඇති අතර එය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වනු ඇති බවට අනාවැකි පළ වෙයි. පළමු දිනයේම එය ඉන්දියානු රුපියල් කෝටි 100 (ලංකා රුපියල් කෝටි 300) ඉක්මවා ආදායම් උපයනු ඇති බවට ද අනාවැකි පළ වී තිබේ.

පසුගිය කාලයේ කමල් හාසන් වැනි නළුවන් ද තමිල්නාඩුවේ දේශපාලනය තුළ ගමනක් යාමට උත්සාහ කළත් විජේ මෙන් සාර්ථක වීමට හැකි වූයේ නැත. කමල් සහ ඔහුගේ මක්කල් නීදි මයියම් පක්ෂය පළමු වරට තරග කළේ 2021 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයේ දී යි. නමුත් එකදු අසුනක් හෝ දිනා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. කමල් තරග කළ දකුණු කොයිම්බතෝර් ආසනයවත් දිනා ගැනීමට ඔහුට නොහැකි විය. ආසන 108 ක් දිනා ගනිමින් විජේ ගේ පක්ෂය පසුගිය දා ලැබූ ජයග්‍රහණය කැපී පෙනෙන්නේ මෙවැනි පසුබිමක් තුළ යි.

කමල් හාසන්
කමල් හාසන්

මේ වනවිට 51 වැනි වියෙහි පසුවන විජේ සිය මැතිවරණ ව්‍යාපාරය තුළ දී ලංකාවට බලපාන කාරණයක් ගැන ද කතා කළේය. ලංකාවට අයත් කච්චතිවු දූපත නැවත ඉන්දියාවට පවරා ගත යුතු බව ඔහු එහි දී දැඩි ලෙස අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ එම මුහුදු කලාපයේ ධීවර කටයුතු කරන ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා එය අවශ්‍ය බව පවසමිනි. ඉන්දීය ධීවරයන් 800 කට ආසන්න සංඛ්‍යාවක් මෑත කාලයේ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ප්‍රහාරවලට ලක්ව ඇති බවත්, ඇතැමුන් මියගොස් ඇති බවත් පැවසූ විජේ ධීවරයන් ආරක්ෂා කර ගැනීමේ දී කච්චතිවු දූපත ඉන්දියාවට පවරා ගැනීම වැදගත් වන බව සඳහන් කළේය. මීට අදාලව පියවර නොගැනීම ගැන ඔහු මධ්‍යම රජයට මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත රජයට ද චෝදනා කළේය.

ජන නායගන්
ජන නායගන්

දැන් ඔහු තමිල්නාඩුවේ බලයට පත්ව ඇති තත්වය තුළ කච්චතිවු දූපත ගැන කවර පියවරක් ගනීවි ද යන්න කුතුහලය දනවන කාරණයකි. කච්චතිවු ගැන ඔහු කී කතා හුදෙක් ඡන්ද කඩා ගැනීම සඳහා කී ඒවා බව ඇතැමුන්ගේ අදහස විය.

තරුණ පරපුර ඉලක්ක කර විජේ දුන් මැතිවරණ පොරොන්දු ද බෙහෙවින් කැපී පෙනිණි. දිළිඳු ගොවි පවුල්වල තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන වියදම් සම්පූර්ණයෙන් රජය විසින් දරනු ලබන බව එවැනි එක් ආකර්ශණීය පොරොන්දුවකි.

දිළිඳු පවුල්වල තරුණියන් විවාහ වීමේ දී රන් පවුම් සහ සාරි වැනි ඇඳුම් නොමිලේ ලබා දෙන බව ද තවත් පොරොන්දුවක් විය. තව ආකර්ශණීය පොරොන්දුවක් වූයේ කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල්වලට මාසයකට ඉන්දියානු රුපියල් 2,500 ක (ලංකා රුපියල් 8,400 ක පමණ) දීමනාවක් ලබා දෙන බව යි. එමෙන්ම සෑම නිවසකටම වසරකට ගෑස් සිලින්ඩර 6 ක් නොමිලේ ලබා දෙන බවට ද, ඒකක 200 ක් දක්වා විදුලිය නොමිලේ සපයන බවට ද විජේගේ පක්ෂය පොරොන්දු විය.

රජයේ රැකියා ලක්ෂ ගණනක් අලුතෙන් ලබා දෙන බව ද ඔවුහු පැවසූහ. මෙවැනි ආකර්ශණීය පොරොන්දු තවත් රැසක් විජේගේ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුලත් විය. ඔවුන් මේ පොරොන්දු ඉටු කරනු ඇත් ද යන්න කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයකි.

විජේ ගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීම සඳහා අධිකරණය හමුවට යාම ද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය කාලයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් විය. සංගීතා එහි දී චෝදනා කළේ විජේ තවත් ජනප්‍රිය නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වන බව යි. මෙම නිළියගේ නම ඇය සඳහන් කර නොතිබුණත් ඒ ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් බව බොහෝ දෙනාගේ අදහස යි.

විජේ ගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීම සඳහා අධිකරණය හමුවට යාම ද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය කාලයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් විය. සංගීතා එහි දී චෝදනා කළේ විජේ තවත් ජනප්‍රිය නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වන බව යි. මෙම නිළියගේ නම ඇය සඳහන් කර නොතිබුණත් ඒ ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් බව බොහෝ දෙනාගේ අදහස යි.

මෙම දික්කසාද ගැටලුව මැතිවරණයේ දී විජේට බලපෑමක් එල්ල කරනු ඇත් ද යන සැකයක් ද පසුගිය කාලයේ බොහෝ දෙනා තුළ ඇති වී තිබිණි.

රජිනිකාන්ත්, කමල් හාසන්, ධනුෂ්, ඒ.ආර්. රහ්මාන්, රශ්මිකා මන්දනා ඇතුළු කලාකරුවන් රැසක් විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනු දැකගත හැකි විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර