මවා ගත් බවක් පෙනෙන වේදනාවක වුව වෛද්‍ය විද්‍යාත්මක මූලයක් තිබේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්


නිසි යොමු කිරීමේ හෙවත් “රෙෆරල්” ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මිනිසුන් තමන්ට අවශ්‍ය වූ පරිදි ප්‍රධාන රෝහල් වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එය වෙනස් කළ යුතු බවත් ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබේ. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මිනිසුන් “හන්දියට යන ගමන්, කඩේට යන ගමන්, නැතහොත් පොළට යන ගමන් හිතුණු හිතුණු වෙලාවට රෝහලට ගොස් බෙහෙත් ගන්නා” සංස්කෘතියක් දැනට පවතින බවයි. අප සමාජයේ බොහෝ දෙනෙකු සහේතුකව හෝ අහේතුකව රෝහල් වෙත යොමු වීම මීට පෙර ද විවිධ අවස්ථාවල සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු වූ කරුණකි.

එහෙත් යමෙකු කුමන හේතුවක් මත හෝ වෛද්‍යවරයෙකු හමුවීමට යොමු වීම සම්බන්ධයෙන් ඉතා වැදගත්, මනෝවිද්‍යාත්මකව හා මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විමසා බැලිය යුතු කරුණු ද තිබේ. ජනාධිපතිවරයා කී අන්දමට හන්දියට යන ගමන්, කඩේට යන ගමන්, නැතහොත් පොළට යන ගමන් හෝ යමෙකු වෛද්‍යවරයෙකු හමුවීමට පැමිණෙන්නේ තමන් තුළ පවතින කිසියම් හෝ දුකක්, වේදනාවක්, අපහසුවක්, පීඩාවක් පදනම් කර ගනිමිනි. ඔවුන් එසේ වෛද්‍යවරයෙකු හමුවීමට යොමු කරන ප්‍රධාන හේතුවක් වන්නේ අසාමාන්‍ය හෝ අපහසු සංවේදන, විශේෂයෙන් කායික වේදනාවන් ය. හිසරදය, පිටුපස වේදනාව, බෙල්ලේ කැක්කුම, මාංශපේශි වේදනාව, පපුවේ වේදනාව, උදරයේ අපහසුතාව හෝ සන්ධි වේදනාව වැනි රෝග ලක්ෂණ ඒ අතර ප්‍රධාන වේ. ඇතැම් අවස්ථාවල එවැනි වේදනාවක් ශරීරයේ පවතින රෝගයක්, තුවාලයක් හෝ පටක හානියක් පිළිබඳ වැදගත් සංඥාවක් විය හැකිය.

එහෙත් නවීන වෛද්‍ය විද්‍යාව අද වේදනාව දෙස බලන්නේ පටක හානිය සහ වේදනාවේ තීව්‍රතාව අතර සරල හා සෘජු සම්බන්ධතාවයක් ලෙස නොවේ. විශේෂයෙන් නිදන්ගත වේදනාව තුළ පවතින ජෛව-මානසික-සමාජීය (biopsychosocial) ආකෘතිය ඉතා වැදගත් වේ. වේදනාවේ අත්දැකීම තීරණය වන්නේ ශරීරයේ පවතින තත්ත්වය පමණක් නොව, මානසික තත්ත්වය, අතීත අත්දැකීම්, අපේක්ෂාවන්, නින්ද, හැඟීම්, සමාජීය පරිසරය සහ දෛනික ජීවන තත්ත්වය ඇතුළු සාධක රැසක් එකිනෙක සමඟ ක්‍රියා කිරීමෙනි යන සිද්ධාන්තය පදනම්ව ය. ජාත්‍යන්තර වේදනා අධ්‍යයන සංගමය (IASP) ද වේදනාව ජීව විද්‍යාත්මක සේම, මානසික සහ සමාජීය සාධක මඟින් විවිධ මට්ටමින් බලපෑමට ලක්වන පෞද්ගලික අත්දැකීමක් ලෙස විස්තර කරයි.

ඒ අනුව කිසියම් අයෙකු තමන් තුළ පවතින වේදනාවක් හෝ වෙනත් අපහසු සංවේදනයක් පිළිබඳව පැමිණිලි කිරීම කිසිසේත්ම වෛද්‍යමය වශයෙන් නොසලකා හැරිය යුතු කරුණක් නොවේ. වේදනාව යනු රෝගියා විසින් “මවාගන්නා” දෙයක් ලෙස සරලව බැහැර කිරීම ද වෛද්‍යමය වශයෙන් කිසිසේත් නිවැරදි නොවේ.

අනෙක් අතට, කායික වේදනාව යනු ශරීරයේ පටක හානියක් සිදුවූ බවට මොළයට ලැබෙන සරල “විද්‍යුත් පණිවුඩයක්” පමණක් නොවේ. වේදනාව පිළිබඳ අත්දැකීම නිර්මාණය වීමේදී සංවේදී ස්නායු පද්ධතිය, මොළයේ විවිධ කොටස්, හැඟීම්, අවධානය, මතකය, අපේක්ෂාවන් සහ පුද්ගලයාගේ පරිසරය එකිනෙක සම්බන්ධ වේ. IASP පෙන්වා දෙන්නේ වේදනාව සහ පීඩාකාරීත්වය (nociception) යනු එකම දෙයක් නොවන බවයි. එමෙන්ම සංවේදී ස්නායු ක්‍රියාකාරිත්වය පමණක් පදනම් කරගෙන පුද්ගලයෙකුගේ වේදනාව නිගමනය කළ නොහැකි බවත් IASP පෙන්වා දෙයි.

ඒ නිසා සමහර අවස්ථාවල සැලකිය යුතු පටක හානියක් තිබුණද පුද්ගලයාට දැනෙන වේදනාව සාපේක්ෂව අඩු විය හැකිය. අනෙක් අතට, පටක හානිය සාපේක්ෂව සුළු වුවද වේදනාව ඉතා තීව්‍ර විය හැකිය. තවත් සමහර පුද්ගලයන්ට පැහැදිලිව හඳුනාගත හැකි ව්‍යුහාත්මක රෝගයක් නොමැති වුවද වේදනාව දීර්ඝ කාලයක් පැවතිය හැකිය. විශේෂයෙන් නිදන්ගත වේදනාව බහු-සාධකීය තත්ත්වයක් වන අතර, ජීව විද්‍යාත්මක, මානසික සහ සමාජීය සාධක එහි අත්දැකීමට දායක වේ.

අධික මානසික පීඩනයක් (stress) ඇති වූ විට ශරීරය අනතුරකට සූදානම් වන ආකාරයේ ප්‍රතිචාරයකට පත්විය හැකිය. ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය (autonomic nervous system) සහ ආතති ප්‍රතිචාරයට සම්බන්ධ හෝමෝන පද්ධති ක්‍රියාකාරී වීමත් සමඟ හෘද ස්පන්දනය, මාංශපේශි තදවීම, අවධානය සහ වේදනා සැකසීම වැනි ක්‍රියාවලීන් වෙනස් විය හැකිය. එම වෙනස්කම් ඇතැම් පුද්ගලයන් තුළ වේදනාව ඇතිවීමට හෝ පවතින වේදනාව තීව්‍ර වීමට දායක විය හැකිය.

උදාහරණයක් ලෙස දිගුකාලීන මානසික පීඩනයකින් සිටින පුද්ගලයෙකුගේ ගෙල, උරහිස් සහ පිටුපස මාංශපේශි නිරන්තරයෙන් තද වී තිබිය හැකිය. එවැනි තත්ත්වයක් කාලයත් සමඟ මාංශපේශි වේදනාව හා කැක්කුමට දායක විය හැකිය. “මේ පැත්ත හොල්ලන්නවත් බෑ” – එවැනි බොහෝ දෙනෙක් තම ගෙල හෝ උරහිස් දක්වමින් එසේ කියති. එපමණක් නොව, කනස්සල්ලෙන් සිටින පුද්ගලයෙකු තම ශරීරයේ සිදුවන සුළු සංවේදන පවා ඉතා දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට පටන් ගත හැකිය. එවිට සාමාන්‍යයෙන් එතරම් වැදගත් නොවන සංවේදනයක් පවා බරපතළ රෝග ලක්ෂණයක් ලෙස අර්ථකථනය වීමට ඉඩ තිබේ.

එහෙත් ඒ අනුව “මානසික පීඩනය නිසා ශරීරයේ ජෛව රසායනික සංයුතිය සම්පූර්ණයෙන් වෙනස් වී වේදනාව ඇති වේ” යන සරල නිගමනයකට යා නොහැකිය. එබැවින් එය මානසික පීඩනය ස්නායු පද්ධතිය, හෝමෝන ප්‍රතිචාර, නින්ද, මාංශපේශි ආතතිය, අවධානය සහ වේදනා සැකසීම ඇතුළු විවිධ ක්‍රියාවලීන්ට බලපාන සංකීර්ණ තත්ත්වයක් ලෙස සැලකිය යුතුය.

වේදනාවට මානසික තත්ත්වය බලපානවා සේම, දිගුකාලීන වේදනාව ද මානසික සෞඛ්‍යයට බලපායි. ඒ අනුව මෙම තත්ත්වයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවතී.

වේදනාව සහ විෂාදය (depression) එකිනෙකට සමීපව සම්බන්ධ විය හැකිය. විෂාදය සමඟ ශාරීරික වේදනා සහ වෙනත් කායික රෝග ලක්ෂණ ඇති විය හැකි අතර, දිගුකාලීන වේදනාව නිසා මානසික අවපීඩන ලක්ෂණ තවදුරටත් නරක අතට හැරිය හැකිය. ඇතැම් පුද්ගලයන් තුළ පිටුපස වේදනාව හෝ හිසරදය වැනි කායික රෝග ලක්ෂණ මානසික සෞඛ්‍ය ගැටලු සමඟ සමගාමීව දක්නට ලැබිය හැකිය.

ඒ අනුව මානසික පීඩනය → නින්ද අඩුවීම → ශාරීරික වේදනාව තීව්‍ර වීම → දෛනික ක්‍රියාකාරකම් අඩුවීම → තවත් මානසික පීඩනය → වේදනාව තවදුරටත් තීව්‍ර වීම වැනි චක්‍රයක් නිර්මාණය විය හැකිය. එය නැවතත් නින්ද, ශාරීරික ක්‍රියාකාරකම් සහ මානසික තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කරන චක්‍රයක් බවට පත්විය හැකිය.

මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ “වේදනාව මානසිකයි” යන්නෙන් “රෝගියාට කිසිදු ශාරීරික රෝගයක් නැත” යන්න අදහස් නොකිරීමයි. උදාහරණයක් ලෙස සන්ධි ආතරයිටිස්, ස්නායු හානි, මයිග්‍රේන් හෝ පිටුපස වේදනාව වැනි පැහැදිලි කායික පදනමක් ඇති තත්ත්වයකදී පවා කනස්සල්ල, මානසික අවපීඩනය, ආතතිය, වේදනාව පිළිබඳ බිය සහ වේදනාව පිළිබඳ වේදනා ව්‍යසනකරණය (pain catastrophizing) වැනි සාධක වේදනාවේ අත්දැකීම සහ දෛනික ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැකිය. වේදනා ව්‍යසනකරණය යනු පුද්ගලයෙකුට දැනෙන හෝ දැනෙන්නට ඇතැයි අපේක්ෂා කරන වේදනාවක් පිළිබඳව පුද්ගලයා තුළ ඇති වන අතිශය අහිතකර සහ අතිශයෝක්තියෙන් යුත් මානසික ආකල්පයයි. මෙය වේදනාව දරා ගැනීමට ඇති නොහැකියාව සහ ඉන් මිදීමට ක්‍රමයක් නැතැයි සිතන අසරණභාවය කෙමෙන් ප්‍රවර්ධනය කරන මානසික තත්ත්වයකි.

මෙවැනි තත්ත්වයන් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව, දෛනික කාර්යයන්, සමාජීය සබඳතා සහ ජීවන තත්ත්වයට ද බලපෑම් කළ හැකිය. එබැවින් නිදන්ගත වේදනාව පුද්ගලයාට පමණක් නොව පවුලට, සේවා ස්ථානයට සහ සමස්ත සමාජයට ද ආර්ථික හා සමාජීය බලපෑම් ඇති කළ හැකි සෞඛ්‍ය ගැටලුවකි.

එමෙන්ම හුදු මානසික සාධක මත පදනම්ව කායික රෝග ලක්ෂණ අත්විඳීම සම්බන්ධයෙන් පැරණි වෛද්‍ය පොතපතෙහි දේහීකරණ ආබාධ (somatoform disorders) වැනි යෙදුම් භාවිත වී තිබුණි. නමුත් ඒවා අද සම්පූර්ණයෙන්ම සෘජු වෛද්‍ය වර්ගීකරණයන් ලෙස භාවිත කළ නොහැකිය. නවීන වර්ගීකරණයන්හි රෝග ලක්ෂණ, ඒවා පිළිබඳ පුද්ගලයාගේ අවධානය සහ පීඩාව, ක්‍රියාකාරිත්වයට ඇති බලපෑම වැනි කරුණු වඩාත් සූක්ෂ්ම ලෙස සලකා බලයි. එබැවින් කායික රෝග ලක්ෂණ පැවතීම පමණක් පදනම් කරගෙන ඒවා “මනෝමය” යැයි තීරණය කිරීම සුදුසු නොවේ.

බොහෝ දෙනෙකු තුළ දක්නට ලැබෙන නිදන්ගත මාංශපේශි-අස්ථි වේදනාව පිළිබඳ අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ වේදනාව පිළිබඳ බිය, වේදනාව සම්බන්ධ කනස්සල්ල සහ වේදනාව වැඩිවේ යැයි බියෙන් ක්‍රියාකාරකම් මඟහැරීමේ ප්‍රවණතාව වැනි කරුණු වැඩි වේදනා තීව්‍රතාව සමඟ සම්බන්ධ විය හැකි බවයි. එහෙත් එවැනි සම්බන්ධතා සෑම පුද්ගලයෙකුටම එකම ආකාරයෙන් අදාළ නොවන බැවින් ඒවා ප්‍රවේශමෙන් අර්ථකථනය කළ යුතු ය.

එබැවින් වේදනාව යනු “මනස මුල් කොට ගත් මවාගැනීමක්” ලෙස සරල කළ නොහැකිය. වේදනාව සැකසීමේදී මොළය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බැවින් මානසික තත්ත්වය වේදනාවේ තීව්‍රතාව සහ පුද්ගලයා එය අත්විඳින ආකාරය වෙනස් කළ හැකිය. IASP හි නවීන වේදනා නිර්වචනය ද වේදනාව සංවේදී මෙන්ම චිත්තවේගීය අත්දැකීමක් බව අවධාරණය කරයි.

නිදන්ගත වේදනාව පිළිබඳ සාකච්ඡාවේ නිතර හමුවන තවත් සංකල්පයක් වන්නේ මධ්‍ය සංවේදීතාව (central sensitization) යන්නයි. මෙය සරලව පැහැදිලි කළහොත්, ඇතැම් තත්ත්වයන් යටතේ මධ්‍ය ස්නායු පද්ධතියේ වේදනා සම්බන්ධ සංඥා සැකසීමේ ක්‍රමය වඩාත් සංවේදී විය හැකිය. එවිට සාමාන්‍යයෙන් සාපේක්ෂව සුළු වේදනා උත්තේජනයක් වුවද වඩා තීව්‍ර ලෙස දැනෙන්නට පුළුවන. IASP මධ්‍ය සංවේදීතාව යනු මධ්‍ය ස්නායු පද්ධතියේ nociceptive neurons තම සාමාන්‍ය හෝ අඩු මට්ටමේ උත්තේජනවලට දක්වන ප්‍රතිචාරය වැඩි වීමක් ලෙස නිර්වචනය කරයි. එහෙත් මෙය සෑම නිදන්ගත වේදනාවක්ම පැහැදිලි කරන එකම යාන්ත්‍රණය නොවේ. නිදන්ගත වේදනාවට nociceptive, neuropathic සහ nociplastic ආදී විවිධ වේදනා යාන්ත්‍රණ කිහිපයක් දායක විය හැකි අතර, එකම පුද්ගලයෙකු තුළ පවා යාන්ත්‍රණ කිහිපයක් එකවර පැවතිය හැකිය. Nociceptive, neuropathic සහ nociplastic යනු වෛද්‍ය විද්‍යාවේදී මිනිස් සිරුරට දැනෙන වේදනාව එහි හටගැනීමේ ක්‍රියාවලිය හෝ යාන්ත්‍රණය අනුව ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කෙරෙන ආකාර තුනකි.

නිරන්තරව දැනෙන වේදනාවකදී “මේක කවදාවත් සනීප වෙන ලෙඩක් නෙවෙයි”, “මේක මහ කරුම ලෙඩක්” ආදී වශයෙන් වේදනාව පිළිබඳ අතිශය අසුබවාදී සිතුවිලි ඇති විය හැකිය. එවැනි වේදනා ව්‍යසනකරණ (pain catastrophizing) තත්ත්වයක් වේදනාව සමඟ කටයුතු කිරීමේ හැකියාවට සහ දෛනික ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.

මෙහිදී සමාජයේ පවතින වැරදි අවබෝධයක් නිවැරදි කළ යුතු ය. ශාරීරික පරීක්ෂණයකින් පැහැදිලි පටක හානියක් හමු නොවීම යනු රෝගියාගේ වේදනාව බොරුවක් බව නොවේ. ජෛව-මානසික-සමාජීය ආකෘතියේ මූලික අදහස වන්නේ වේදනාව යනු ජීව විද්‍යාත්මක, මානසික හා සමාජීය සාධක එකිනෙක සමඟ ක්‍රියා කිරීමෙන් බලපෑමට ලක්වන සංකීර්ණ අත්දැකීමක් බවයි. ඒ නිසා රෝගියෙකුට “ඔබේ වේදනාව මනෝමයයි” යැයි පැවසීම වෙනුවට වඩාත් නිවැරදි ප්‍රවේශය වන්නේ “ඔබේ වේදනාවට බලපාන කායික, මානසික සහ සමාජීය සාධක මොනවාද?” යන්න සොයා බැලීමය.

නිදන්ගත, විශේෂයෙන් දිගුකාලීන පිටුපස හෝ කොන්දේ වේදනාවන් සඳහා අවශ්‍යතාව අනුව රෝගයට හේතු වන කායික තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම, සුදුසු ව්‍යායාම හා ශාරීරික පුනරුත්ථාපනය, නින්ද සහ දෛනික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම, මානසික සහ සමාජීය සහාය, සංජානන-චර්යාත්මක ප්‍රතිකාර (Cognitive Behavioral Therapy – CBT) සහ අවශ්‍ය අවස්ථාවල සුදුසු ඖෂධ භාවිතය වැනි ක්‍රම සලකා බැලිය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිදන්ගත ප්‍රාථමික පිටුපස වේදනාව සඳහා පුද්ගල කේන්ද්‍රීය, සමස්ත සහ ජෛව-මානසික-සමාජීය ප්‍රවේශයක් නිර්දේශ කරයි.

නමුත් පපුවේ අලුතින් ඇති වූ තීව්‍ර හෝ පීඩනකාරී වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුතාවක්, සිහි නැතිවීමක්, එක් පැත්තක ශරීර කොටසක හදිසි දුර්වලතාවක් හෝ සංවේදන අඩුවීමක්, හදිසියේ ඇති වූ දැඩි හිසරදයක්, අධික උණ සමඟ ඇතිවන දැඩි වේදනාවක්, රුධිර වහනයක් හෝ වේගයෙන් නරක අතට හැරෙන අසාමාන්‍ය වේදනාවක් තිබේ නම් එය “ආතතිය” හෝ “මානසික තත්ත්වයක්” යැයි සිතා නොසලකා හැරීම අතිශය භයානක විය හැකිය. එවැනි අවස්ථාවල කඩිනම් වෛද්‍ය අවධානයක් අවශ්‍ය වේ.

තමන්ට බරපතළ රෝගයක් ඇති බවට අධික බියක් සහ එම බිය හේතුවෙන් නිරන්තරයෙන් තම ශරීරය පරීක්ෂා කිරීම හෝ වෛද්‍ය උපදෙස් සෙවීම වැනි තත්ත්වයන් ද වෙනම මනෝ සෞඛ්‍ය ගැටලු ලෙස ඇගයිය හැකිය. මෙහිදී පැරණි “Hypochondriasis” හෝ “Hypochondriacal neurosis” යන යෙදුම් භාවිත කිරීම වෙනුවට වර්තමාන වර්ගීකරණයට ගැළපෙන නිවැරදි රෝග විනිශ්චය වෛද්‍යවරයෙකු විසින් සිදු කළ යුතු ය. වැදගත් වන්නේ එවැනි රෝගීන්ගේ කායික පැමිණිලි ද මුලින්ම නිසි වෛද්‍ය ඇගයීමකට ලක් කිරීමයි.

ඒ අනුව නූතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රශ්නය “වේදනාව කායිකද, මානසිකද?” යන්න නොවේ. වඩාත් නිවැරදි ප්‍රශ්නය වන්නේ “කායික, මානසික සහ සමාජීය සාධක එකිනෙක සමඟ ක්‍රියා කරමින් මෙම පුද්ගලයාගේ වේදනා අත්දැකීමට බලපාන්නේ කෙසේද?” යන්නයි.

වේදනාව සම්බන්ධයෙන් නූතන වෛද්‍ය විද්‍යාවෙන් ලැබෙන වැදගත්ම පාඩම වන්නේ වේදනාව “මවාගැනීමක්” නොවන බවත්, එය මිනිස් ශරීරය, මොළය, හැඟීම්, අත්දැකීම් සහ සමාජ පරිසරය අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විය හැකි බවත් ය. කොටින්ම කිවහොත්, මවා ගත් බවක් පෙනෙන වේදනාවක වුව වෛද්‍ය විද්‍යාත්මක මූලයක් තිබේ.

එබැවින් හන්දියට යන ගමන්, කඩේට යන ගමන්, නැතහොත් පොළට යන ගමන් හිතුණු හිතුණු වෙලාවට රෝහලට ගොස් වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන පුද්ගලයෙකුගේ වේදනාව හෝ වෙනත් කායික පැමිණිල්ලක් හුදු “අනවශ්‍ය රෝහල් පැමිණීමක්” ලෙස සරලව බැහැර කිරීම වෙනුවට, එම පුද්ගලයා වෛද්‍ය උපදෙස් සොයන්නේ ඇයිද යන්න, ඔහුගේ හෝ ඇයගේ රෝග ලක්ෂණයට හේතු විය හැකි කායික තත්ත්ව මොනවාද, මානසික සහ සමාජීය සාධක කෙසේ බලපාන්නේද යන්නත් සලකා බැලීම වැදගත්ය.

ඒ සමඟම ජනාධිපතිවරයා කී අන්දමට රෝගීන් නිසි ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වෙත යොමු වීමේ අවස්ථා ශක්තිමත් කිරීම, අවශ්‍ය විට පමණක් විශේෂඥ හා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීම සහ හදිසි රෝග ලක්ෂණ හඳුනා ගැනීම පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීම ද සෞඛ්‍ය පද්ධතියේ වැදගත් වගකීමකි. එහෙත් එය අප අනාගතයේ සැලසුම් කොට ඇති ක්‍රියාවක් වන අතර, එය කඩිනමින් සාර්ථක වනු දැකීම අපගේ ද අපේක්ෂාව ය.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

විනිවිද සායනය