
මහා සාගරය දෙස බලන විට මිනිසාට පෙනෙන්නේ නිල් පැහැති අසීමිත ජල කඳකි. එහෙත් එම නිල් පැහැති ජල තලයට යටින්, අපට නොපෙනෙන තවත් විශාල ලෝකයක් පවතී. එහි ඇති අතිවිශිෂ්ට පරිසර පද්ධතියක් වන්නේ කොරල් පරයි. සාගරයේ ඉතා සුළු භූමි ප්‍රදේශයක් පමණක් ආවරණය කළද, කොරල් පර ලොව අතිශය සංකීර්ණ හා ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධති අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. එබැවින් ඒවාට ‘සාගරයේ වැසි වනාන්තර’ (Rainforests of the Ocean) යන නාමය ලැබී තිබේ.
“මුහුදේ වැසි වනාන්තර” ලෙස හඳුන්වන ලොව විශාලතම කොරල් පර පද්ධතිය ඕස්ට්‍රේලියාවේ පිහිටි මහා බාධක කොරල් පරය (Great Barrier Reef) ය. අධික ජෛව විවිධත්වය හේතුවෙන් කොරල් පර පොදුවේ මෙම නමින් හඳුන්වනු ලබයි. මීට අමතරව, ලොව පැරණිතම නිවර්තන වැසි වනාන්තරය වන ඩේන්ට්‍රී වැසි වනාන්තරය (Daintree Rainforest) ද මෙම කොරල් පරයට යාබදව ක්වීන්ස්ලන්තයේ පිහිටා තිබීම විශේෂත්වයකි.
එහෙත් අද කොරල් පර නම් සාගර වැසි වනාන්තර මිනිස් ඇසට නොපෙනෙන දැවැන්ත පාරිසරික ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටී. ගෝලීය සාගර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කොරල් පර සුදු පැහැ ගැන්වීම හෙවත් විරංජනය (Coral Bleaching) නැවත නැවතත් සිදුවීම නිසා ලොව කොරල් පර පද්ධතිවලට තමන්ම යථා තත්ත්වයට පත් කර ගැනීමට තිබූ කාලය වේගයෙන් අහිමි වෙමින් පවතී.

කොරල් පර පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ පවතින වැරදි අවබෝධයක් වන්නේ ඒවා ගල් හෝ මුහුදු පතුලේ ඇති නිෂ්ක්‍රීය ව්‍යුහයන් ලෙස සිතීමය. සැබැවින්ම කොරල් යනු කුඩා ජීවීන් වන කොරල් පොලිප්වල විශාල සමුහයන්ගෙන් නිර්මාණය වන සජීවී පරිසර පද්ධතියකි.
බොහෝ කොරල් පොලිප්වල සෛල තුළ Zooxanthellae ලෙස හැඳින්වෙන අන්වීක්ෂීය ඇල්ගී ජීවත් වෙයි. ප්‍රභාසංශ්ලේෂණය මඟින් මෙම ඇල්ගී කොරල්වලට ශක්තිය සපයන අතර, ඒවායේ වර්ණවත් පෙනුමට ද ප්‍රධාන වශයෙන් දායක වේ. එම නිසා කොරල් සහ ඇල්ගී අතර පවතින්නේ එකිනෙකාට ප්‍රතිලාභ ලබාදෙන ඉතා වැදගත් සහජීවී සම්බන්ධතාවකි.
කොරල් විරංජනය හෙවත් සුදු වන්නේ ඇයි?
කොරල් විරංජනය හෙවත් සුදු වන්නේ ඇයි යන්න ද අප දැන සිටිය යුතුම කරුණකි. සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යන විට මෙම සියුම් සම්බන්ධතාව බිඳ වැටෙයි. අධික තාප ආතතිය යටතේ කොරල් තම සෛල තුළ සිටින ඇල්ගී ඉවත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොරල්වල ස්වාභාවික වර්ණය නැති වී ඒවා සුදු පැහැයට හැරෙයි.

නමුත් විරංජනය වූ කොරල් ක්ෂණිකව මිය යන්නේ නැත. තාප ආතතිය ඉක්මනින් පහව ගොස් සාගර උෂ්ණත්වය යථා තත්ත්වයට පත්වුවහොත්, නැවත ඇල්ගී ලබාගෙන කොරල්වලට ප්‍රකෘතිමත් විය හැකිය. එහෙත් විරංජනය දිගු කාලයක් පවතින්නේ නම් හෝ කෙටි කාල පරතරයකින් නැවත නැවත සිදුවන්නේ නම්, කොරල්වල ශක්තිය අඩු වී වර්ධනය, ප්‍රජනනය සහ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව පිරිහෙයි. අවසානයේ ඒවා මිය යා හැකිය.
මෙහි ඇති බරපතළම කරුණ වන්නේ එක් විරංජනයකින් පසු කොරල් ප්‍රකෘතිමත් වීමට පෙර නැවත විරංජනයට ලක්වීමය.
ගෝලීය කොරල් පර නිරීක්ෂණ ජාලය (Global Coral Reef Monitoring Network – GCRMN) විසින් සිදු කර ඇති දීර්ඝකාලීන ඇගයීම් මේ තත්ත්වයේ බරපතළකම පැහැදිලි කරයි. 1980 සිට 2024 දක්වා කාලය ආවරණය කරන එහි පුළුල්තම ගෝලීය ඇගයීමට රටවල්, ප්‍රදේශ සහ ආර්ථික කලාප 123ක කොරල් පර ස්ථාන 36,886ක සිදු කළ සමීක්ෂණ 87,000කට අධික සංඛ්‍යාවක දත්ත ඇතුළත් කර තිබේ. රටවල් හා කලාප 120කට වැඩි සංඛ්‍යාවක හවුල්කරුවන් 600කට වැඩි පිරිසක් එම දත්ත සැපයීමට දායක වී ඇත.
එම දත්ත අනුව 2020–2024 කාලයේ ගෝලීය දෘඪ කොරල් ආවරණය 1980–2009 මූලික කාලසීමාවේ සාමාන්‍යයට සාපේක්ෂව 9.5%කින් පමණ අඩු වී තිබීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි. එය හුදෙක් කොරල් පරයක වර්ණය වෙනස් වීමක් නොවේ. එය සම්පූර්ණ සාගර පරිසර පද්ධතියක ව්‍යුහය දුර්වල වීමකි. ලොව පුරා වාර්තා වූ 1998, 2010, 2014–2017 සහ 2023–2025 වැනි දැවැන්ත කොරල් විරංජන සිදුවීම් මෙම වෙනස වඩාත් පැහැදිලි කරයි.

විශේෂයෙන් 2023 සිට 2025 දක්වා පැවති සිව්වැනි ගෝලීය මහා කොරල් විරංජන සිදුවීම පෙර සිදුවීම්වලට වඩා පුළුල් විය. NOAA Coral Reef Watch දත්ත අනුව 2023 ජනවාරි 1 සිට 2025 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ලෝකයේ කොරල් පර ප්‍රදේශයෙන් ආසන්න වශයෙන් 84.4%ක් කොරල් විරංජනයට හේතු වන තාප ආතතියකට නිරාවරණය වී තිබූ අතර, රටවල් හා ප්‍රදේශ 83කට වැඩි සංඛ්‍යාවක මහා කොරල් විරංජනය නිරීක්ෂණය වී තිබිණි. සංසන්දනාත්මකව බලන විට, 2014–2017 තුන්වැනි ගෝලීය මහා විරංජනයේදී එවැනි තාප ආතතිය ලෝක කොරල් පර ප්‍රදේශයෙන් ආසන්න වශයෙන් 68.2%කට බලපා තිබිණි.

මෙයින් පෙනී යන්නේ මහා කොරල් විරංජනය තවදුරටත් දශක ගණනකට වරක් සිදුවන දුර්ලභ පාරිසරික ආපදාවක් නොවන බවය. එය සාගර උණුසුම් වීමත් සමඟ නැවත නැවත ඇතිවන නිදන්ගත පීඩනයක් බවට පත්වෙමින් තිබේ.
කොරල් පරයකට විරංජනයෙන් පසු ප්‍රකෘතිමත් වීමට කාලය අවශ්‍යය. එහෙත් ගෝලීය උණුසුම ඉහළ යන විට සාගර තාප තරංග වැඩි වන අතර, ඒවා අතර පරතරය අඩු වීම නිසා කොරල් පරවලට තම ශක්තිය නැවත ගොඩනඟා ගැනීමට ලැබෙන අවස්ථාව ද අඩු වෙයි.
තුන්වැනි ගෝලීය මහා විරංජනයෙන් පසුව 2017–2019 අතර කාලයේදී ගෝලීය දෘඪ කොරල් ආවරණයේ සාපේක්ෂව 6%ක පමණ ප්‍රකෘතිමත් වීමක් වාර්තා වීමෙන් කොරල් පරවලට සුදුසු තත්ත්වයන් ලැබුණු විට යළි වර්ධනය විය හැකි බව පෙනේ.
එහෙත් අද ප්‍රශ්නය වන්නේ කොරල් පරවලට එම කාලය නොලැබීමය.
එය මෙසේ සරලව පැහැදිලි කළ හැකිය.
ගෝලීය උණුසුම වැඩි වේ → සාගර උෂ්ණත්වය ඉහළ යයි → තාප තරංග වැඩි වේ → කොරල් විරංජනය වැඩි වේ → කොරල්වලට සුව වීමට ඇති කාලය අඩු වේ → නැවත විරංජනය සිදුවේ → කොරල් මිය යාමේ අවදානම වැඩි වේ.
කොරල් පර යනු මත්ස්‍යයන්, මොලුස්කාවන්, කබොල්ලන් සහ තවත් සාගර ජීවීන් අතිවිශාල සංඛ්‍යාවකට ආහාර, ආරක්ෂිත වාසස්ථාන සහ ප්‍රජනන ස්ථාන සපයන පරිසර පද්ධති වේ. එබැවින් කොරල් පර දුර්වල වීමත් සමඟ ඒවා මත යැපෙන සාගර ජීවීන්ගේ පැවැත්මට ද තර්ජනයක් එල්ල වෙයි.
එහි අවසාන බලපෑම මිනිසා වෙත පැමිණෙන්නේ ආහාර සුරක්ෂිතතාව, ධීවර කර්මාන්තය, රැකියා, ආදායම් සහ සංචාරක කර්මාන්තය හරහාය. GCRMN පෙන්වා දෙන පරිදි, කොරල් පරවලින් ලැබෙන පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ ලොව පුරා බිලියනයකට ආසන්න ජනතාවගේ ජීවිත සමඟ සම්බන්ධ වේ.
කොරල් පරවල තවත් අතිශය වැදගත් කාර්යයක් වන්නේ වෙරළ ආරක්ෂා කිරීමය.
ජීවමාන කොරල් පර මුහුදු රළේ ශක්තිය විශාල වශයෙන් අවම කරන ස්වභාවික බාධක ලෙස ක්‍රියා කරයි. එම නිසා නිවර්තන කලාපයේ දූපත් හා වෙරළබඩ ප්‍රජාවන්ට කුණාටු, රළ පහර සහ වෙරළ ඛාදනය වැනි තර්ජනවලින් ආරක්ෂාව සැපයීමට ඒවා උපකාරී වේ.
කොරල් පර මිය ගොස් ඒවායේ ව්‍යුහය බිඳ වැටෙන විට මෙම ස්වභාවික ආරක්ෂක පවුර ද දුර්වල වෙයි. දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම හා අධික කාලගුණික සිදුවීම් වැඩිවීමත් සමඟ මෙය වෙරළබඩ ප්‍රජාවන්ට තවත් බරපතළ අවදානමක් බවට පත්වේ.

උණුසුම පමණක් නොවේ කොරල් පර විනාශයට එකම හේතුව දේශගුණික විපර්යාස නොවේ. වෙරළාසන්න ප්ලාස්ටික් හා වෙනත් දූෂණය, අපද්‍රව්‍ය හා පෝෂක ද්‍රව්‍ය මුහුදට ගලා යාම, අධික මසුන් ඇල්ලීම, විනාශකාරී ධීවර ක්‍රම, වෙරළ සංවර්ධනය, අවසාදිත තැන්පත් වීම සහ ඇතැම් ස්ථානවල භෞතික ලෙස කොරල් පර විනාශ කිරීම ද ඊට දායක වේ.
එහෙත් මෙම සියලු පීඩන අතරින් වර්තමාන ගෝලීය කොරල් පර අර්බුදයේ මූලික බලවේගය වන්නේ මිනිසා විසින් වායුගෝලයට මුදාහරින හරිතාගාර වායු නිසා ඇතිවන දේශගුණික උණුසුම සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙයි.
එනිසා කොරල් පරයක් අසල ප්ලාස්ටික් බෝතලයක් නොදැමීම අත්‍යවශ්‍ය වුවද, එය පමණක් ලෝක කොරල් පර අර්බුදයට විසඳුමක් නොවේ.
මෙම ගෝලීය අර්බුදය ශ්‍රී ලංකාවට ද අදාළය. ශ්‍රී ලංකාව වටා ඇති ඉන්දියානු සාගරයේ කොරල් පර පද්ධති රටේ සමුද්‍ර ජෛව විවිධත්වයේ වැදගත් කොටසකි. හිකඩුව, ගල්ෆ් ඔෆ් මන්නාර්, පරවි දූපත සහ නැගෙනහිර හා දකුණු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල කොරල් පරිසර පද්ධති විවිධ සාගර ජීවීන්ට වාසස්ථාන සපයයි. ඒවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ධීවර ජීවනෝපාය, වෙරළ ආරක්ෂාව සහ සාගර ජෛව විවිධත්වය සමඟ සෘජුව සම්බන්ධය.
ඒ නිසා ලෝකයේ කොරල් පර මිය යන බව කියන්නේ අපෙන් දුරස්ථ රටක සිදුවන පාරිසරික පුවතක් නොවේ. එය ශ්‍රී ලංකාවේ වෙරළ, ධීවරයා, සංචාරක කර්මාන්තය සහ අනාගත පරම්පරාව සම්බන්ධ ප්‍රශ්නයකි.

කොරල් පරවල කතාව සම්පූර්ණයෙන්ම විනාශයේ කතාවක් නොවේ. කොරල් පරවලට නිසි තත්ත්වයන් ලබා දුන් විට ප්‍රකෘතිමත් වීමට හැකියාව තිබේ. ඇතැම් කොරල් විශේෂ හා ප්‍රදේශ උෂ්ණත්ව වෙනස්වීම්වලට අනෙක් ඒවාට වඩා වැඩි ඔරොත්තු දීමක් ද පෙන්වයි.
ඒ සඳහා දේශීය මට්ටමින් මුහුදු දූෂණය අවම කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය දියුණු කිරීම, විනාශකාරී ධීවර ක්‍රම පාලනය කිරීම, අධික මසුන් ඇල්ලීම වැළැක්වීම, වෙරළ සංවර්ධනය විද්‍යාත්මකව සැලසුම් කිරීම සහ කොරල් පර සංරක්ෂිත ප්‍රදේශ ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.
ඊටත් වඩා වැදගත් වන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචනය වේගයෙන් අඩු කිරීම සහ ගෝලීය උණුසුම සීමා කිරීමය.
කොරල් පරවලට අවශ්‍ය වන්නේ ආශ්චර්යයක් නොවේ. අවශ්‍ය වන්නේ සුව වීමට තරම් කාලයක් පමණි.
අද සාගරය එම කාලය ඔවුන්ගෙන් උදුරා ගනිමින් සිටී.
එක් විරංජනයකින් පසු තවත් විරංජනයක් පැමිණෙන විට, ඊට පෙර සිදු වූ හානිය සුව කර ගැනීමට කොරල්වලට අවස්ථාවක් නොලැබේ. අවසානයේ සුන්දර වර්ණවලින් පිරුණු ජීවමාන කොරල් පරයක්, ජීවීන්ගෙන් හිස් වූ මියගිය සුදු හෝ කැඩී බිඳී ගිය ව්‍යුහයක් බවට පත්විය හැකිය.
එය කොරල් පරයක මරණය පමණක් නොවේ. එය ඒ මත යැපෙන දහස් ගණන් සාගර ජීවීන්ගේ නිවසක් අහිමි වීමකි. ධීවරයකුගේ ජීවනෝපායක් දුර්වල වීමකි. වෙරළක ස්වභාවික ආරක්ෂක පවුරක් අහිමි වීමකි. ආහාර සුරක්ෂිතතාවට එල්ල වන තර්ජනයකි. අවසානයේ මිනිසාගේම අනාගතයට එල්ල වන අනතුරු ඇඟවීමකි.
එබැවින් ‘සාගරයේ වැසි වනාන්තර’ ලෙස හඳුන්වන කොරල් පර වැනසී යාම, මුහුදේ පමණක් සිදුවන පාරිසරික ඛේදවාචකයක් නොව, මිනිස් ශිෂ්ටාචාරය ද සම්බන්ධ වන ගෝලීය අර්බුදයකි. කොරල් පර බේරා ගැනීම යනු සාගරය පමණක් බේරා ගැනීම නොව, සාගරය මත යැපෙන මිනිසාගේ අනාගතය ද බේරා ගැනීමකි.
රීටා ජෙනට් පෙරේරා