වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර රාශියකට මුහුණ දුන්හ.
ගල්ගමුවේ ජීවත්වන අයෙකු ලෙස මිනිසුන්ගේ දුක් ගැහැට මම දෑසින් දැක තිබුණෙමි. මෙය පිටුදැකිය හැකි ආකාරයක් ගැන නිරන්තර අවධානයෙන් සිටි මට ඔවුන්ගේ ජීවිතවලට පලදායී විය හැකි මඟ පෙන්වීම් සහ උපකාර ලබාදී ඔවුන් නගා සිටවීමේ අරමුණින් කිසියම් සංවිධානයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන්නට විය.
අප මුලින්ම කළේ ගල්ගමුව ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් කොපමණ සිටිනවාද? ඔවුන් දැනට ජීවන වෘත්තීය වශයෙන් කරන්නේ කුමක්ද? ඔවුන්ගේ හැකියාවන් මොනවාද? වැනි කාරණා සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීම ය.
මෙහිදී අනාවරණය වූ කරුණුවලට අනුව සමහරුන්ට කිනම් හෝ දෑතේ කර්මාන්තයක් සම්බන්ධයෙන් මනා වෘත්තීය මට්ටමේ පුහුණුවක් ඇතිමුත් සම්පත් නොමැතිකම හේතුවෙන් එය ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් නොමැතිව අතරමග නතර වී තිබේ.
කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු වශයෙන් කටයුතු කළ මම, එවකට විශ්‍රාම ලබා සිටියෙමි. හමුදාවේ මා සමඟ සිටි තවත් හිතවතුන් කිහිප දෙනෙකු සහ ගල්ගමුව ගමේ තරුණ පිරිසක් ද එකතු කරගෙන 2019 වසරේදී “ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව” නමැති ස්වේච්ඡා සංවිධානය පිහිටුවා ගත්තේ මෙම ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට ඔවුන්ගේ ම දෙපයින් නැගී සිටීම සඳහා මූලික අඩිතාලම දමා දීමේ අදහසිනි.
අප මුලින්ම කළේ ගල්ගමුව ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් කොපමණ සිටිනවාද? ඔවුන් දැනට ජීවන වෘත්තීය වශයෙන් කරන්නේ කුමක්ද? ඔවුන්ගේ හැකියාවන් මොනවාද? වැනි කාරණා සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීම ය.
මෙහිදී අනාවරණය වූ කරුණුවලට අනුව සමහරුන්ට කිනම් හෝ දෑතේ කර්මාන්තයක් සම්බන්ධයෙන් මනා වෘත්තීය මට්ටමේ පුහුණුවක් ඇතිමුත් සම්පත් නොමැතිකම හේතුවෙන් එය ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් නොමැතිව අතරමග නතර වී තිබේ. තවත් සමහර අය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වැනි රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා සහතික පත් ලබාගෙන තිබුණත් එතැනින් එහාට එය ස්වයං රැකියාවක් ලෙස කරගෙන යාමට මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා ඔවුන්ගේ ගමන අතරමග නතර වී තිබේ. තවත් සමහරුන්ට සිදුවී තිබෙන්නේ යමක් නිෂ්පාදනය කිරීමේ හැකියාව උපරිමයෙන් තිබුණත් අලෙවි කර ගත හැකි මාර්ග නිසි ලෙස හඳුනාගෙන නොමැති වීම නිසා සියල්ල අතරමඟ කඩා වැටීමය. මේ අතර තවත් අයට විශේෂ පුහුණුවක් ලබා නොමැති මුත් සහජ හැකියාවන් මගින් නොයෙකුත් කර්මාන්ත සහ විශ්මිත නිර්මාණ කිරීමේ හැකියාවක් ද තිබිණි.
මේ සඳහන් කළේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් පමණි. මෙවැනි තවත් ප්‍රධාන සහ අතුරු ප්‍රශ්න රාශියක් අපට මෙම සමීක්ෂණයේදී හඳුනා ගත හැකි විය. ඔවුන්ට තම ක්ෂේත්‍රය ඔස්සේ බොහෝ දුර යා හැකි බව පෙනුණ මුත් සියල්ලන්ටම තිබූ පොදු ගැටලු වූයේ මුදල් නොමැතිකම සහ භාණ්ඩ අලෙවි කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිකම ය.
එක් ග්‍රාම සේවා වසමකට රජයේ නිලධාරීන් හය දෙනෙක් බැගින් රට පුරා සියලු ග්‍රාම නිලධාරී වසම්වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ නිලධාරීහු යොදවා සිටිති. ඒ එක් එක් ගම්වල අභිවෘද්ධිය වෙනුවෙනි. ගැමියන් බොහෝ දෙනෙක් මේ අය අතරින් දැන හිඳින්නේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පමණි. මේ හැරුණු විට සංවර්ධන සහකාර නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරිවරයෙක් ද සිටියි. එසේම එක් එක් රජයේ දෙපාර්තමේන්තු මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අනුයුක්ත කර ඇති නිලධාරීන් අතර කුඩා කර්මාන්ත නිලධාරී, වනිතා කටයුතු නිලධාරී, අපනයන සංවර්ධන නිලධාරී, ස්වයං රැකියා නිලධාරී, වෘත්තීය පුහුණු නිලධාරී වැනි අය වේ. අපේ රටේ අවාසනාවට ඉහත ද කීවාක් මෙන් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වැනි නිතර ගම්මුන්ට අවශ්‍ය වන නිලධාරීන් තිදෙනා හැරුණු විට සෙසු අය පිළිබඳව ගම්මුන්ගෙන් බහුතරයකට දැනීමක් නැත. ඒවා දැනගැනීමට ඔවුන්ට විධිමත් ක්‍රමයක් ද නොමැත. එහි වරද කාගේදැයි සෙවීමට වඩා මේ අය පිළිබඳ ව ගම්මුන් දැනුවත්ව සිටින්නේ නම්, තමන්ගේ ස්වයං රැකියා වැනි කටයුතු උදෙසා සෑහෙන පිටිවහලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ගල්ගමුවේ ජනතාව ගේ ආර්ථික තත්ත්වය නැංවීම උදෙසා වැඩපිළිවෙළක් දියත් කිරීමේ වුවමනාව මත අප කමිටුවේ සාමාජිකයන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගොස් මෙම අදාළ නිලධාරීන් හමුවී සාකච්ඡා කළෙමු. ඒ අනුව බොහෝ උපදෙස් ලබා ගැනීමට හැකි විය. කිසියම් ස්වයං රැකියාවක නියැලෙන කෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි තම ව්‍යාපාරය ලියාපදිංචි කළ පසු එම ව්‍යාපාරය සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමේදී විදුලි බිලෙන් 50% ක් රජය විසින් දරන බවත්, එම ව්‍යාපාරයේ හිමිකරුට ගෙවන්නට සිදුවන්නේ ඉතිරි 50% බවත් දැනගන්නට ලැබුණේ ද මෙහිදී ය. මෙයද බොහෝ දෙනෙක් නොදන්නා තත්ත්වයකි.
ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා මූලික පිරිවැය දැරීමේ හැකියාවක් මේ ගම්මුන්ට තිබුණේ නැත. රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු මෙන්ම වෙනත් රාජ්‍යායතනවලට සම්බන්ධ මූල්‍යායතන ගණනාවකට ගොස් අදාළ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූව ද සෑහීමකට පත්විය හැකි අන්දමින් පිළිතුරක් අපට ලැබුණේ නැත. ඊළඟට අප කතා කළේ සමූපකාර දෙපාර්තමේන්තුවටයි.
“ඔයගොල්ලන්ගේ වැඩේට ඉතාම හොඳින් ගැළපෙන ආයතනයක් තියෙනවා. ඒකත් අපේ දෙපාර්තමේන්තුවේ ම ලියාපදිංචි එකක්. සභාපතිතුමියගේ දුරකථන අංකය මම දෙන්නම්. එතනින් ඔයාලට ඔය වැඩේට උදව් ලබාගන්න පුළුවන් වෙයි”
එම නිලධාරියාගේ මග පෙන්වීම යටතේ අපට ” දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සමිතිය” පිළිබඳව දැනගන්නට ලැබිණි. එහි සභාපතිතුමිය වන දිස්නා ප්‍රියන්ති බුලත්සිංහල මහත්මිය හඳුනාගැනීමට ලැබීමත් සමඟ අප සිතුවාටත් වඩා මහඟු සේවාවන් රැසක් අපගේ කාර්යය වෙනුවෙන් ඉටුකර ගැනීමට හැකි වුණි. විදේශ ආධාර කිසිවක් නැතිව ස්වෙච්ඡා සංවිධානයක් ලෙස සමූපකාර දෙපාර්තමේන්තුවේ මීට විසි හත් වසරකට පෙර ලියාපදිංචි වී අද වන විට ඉතා ශක්තිමත් ආයතනයක් ලෙස විශාල වශයෙන් කාන්තාවන්ට උදව් උපකාර කරන දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සමිතිය අපගේ ගල්ගමුව ගම් ප්‍රදේශයේ ස්වයං රැකියා ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හිඳින පවුල්වලට මූල්‍ය පහසුකම් ලබාදීමටත්, නිෂ්පාදනය කරන භාණ්ඩ විකුණා ගැනීම සඳහා උපකාර කිරීමටත් එකඟ විය.
මුලින්ම අප කළේ මෙම පවුල්වල කාන්තාවන් වෙනුවෙන් නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම ය. මෙම පාඨමාලා අතර තල් කොළ නිර්මාණ, පන් නිර්මාණ, ජපන් ජබර දඬු වියලා ඒවායින් කෙරෙන නිර්මාණ, රෙදි පින්තාරු, එම්බ්‍රොයිඩර්, පාපිසි කොට්ට උර වැනි දෑ මැසීම, බතික් සහ අත්කම් පාඨමාලා මීට අයත් විය. මේ සියලුම පාඨමාලාවල් පවත්වනු ලැබුවේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව ය. මේ හැරුණුවිට ආහාර වියලා විජලනය කර ගැනීමේ පාඨමාලාවක් ද රජයේ පසු අස්වනු තාක්ෂණික මධ්‍යස්ථානය මගින් මෙම කාන්තාවන් සඳහා පවත්වනු ලැබිණි. මෙය නොමිලේ කරනු ලබන පාඨමාලාවක් නොවූවත් මෙහිදී ඔවුන් කිසිදු මුදලක් අය නොකර සාමාජිකාවන් හැට දෙනෙකුට මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබීම අගය කළ යුත්තකි. මේ සඳහා එම කාන්තාවගේ සැමියාට ද සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී තිබූ අතර අනිකුත් පාඨමාලාවන්වලට ද අදාළ කාන්තාවගේ පවුලේ අයට අයට අවශ්‍ය නම් සහභාගි වීමට ඉඩකඩ සලසා තිබිණි.
ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරක් අයත් ය. ඒ ගල්ගමුව, ගිරිබාව, ඇහැටුවැව සහ පොල්පිතිගමයි. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරට ග්‍රාම නිලධාරී වසම් 84 ක් අයත් වේ. මේ ග්‍රාම නිලධාරී වසම් සියල්ලම ගත්විට දහසක පමණ කාන්තාවෝ පිරිසක් දැන් විවිධ ස්වයං රැකියා මගින් සාර්ථක ලෙස ආදායම් උපයා ගනිමින් සිටිති. මේ සියලු දෙනාම වෙන වෙනම වට්ස්ඇප් සමූහ ඔස්සේ අපේ කමිටුවට සම්බන්ධ ය.
මෙම කාන්තාවන්ගේ නිෂ්පාදන අතර සුවිශේෂ නිෂ්පාදනද බොහොමයකි.
විනාශකාරී ශාකයක් වන ජපන් ජබර දඬු වේලා ඒවායින් කාන්තා අත් බෑග්, පාවහන්, පාසල් පොත් බෑග්, හැඹිලි වැනි දෑ නිෂ්පාදනය කිරීම මේ අතරින් එකකි. මේවා අපනයනය කෙරේ.
එක් තරුණියක් විසින් සුප් කැට වෙනුවට ආහාර රසකාරකයක් ලෙස යොදා ගත හැකි කරි පවුඩර් වර්ගයක් නිෂ්පාදනය කර ඇත. ඔරික් කරි පවුඩර් ලෙසින් හඳුන්වනු ලබන මෙයට කරපිංචා, සේර, ගම්මිරිස්, සුදු ලූනු, ඉඟුරු ඇතුළු තවත් දේශීය ස්වභාවික ද්‍රව්‍ය පමණක් උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කර ඇත. කෑම රස කිරීම සඳහා යොදනු ලබන පිළිකා කාරකයක් ලෙස සැලකෙන MSG වෙනුවට ආදේශකයක් ලෙස මෙය යොදා ගත හැකි අතර, දිය කර සුප් එකක් සේ සකස් කර ගැනීමටද පුළුවන.
බඩ ඉරිඟු උපයෝගී කරගනිමින් ත්‍රිපෝෂවලට සමාන ධාන්‍ය ආහාරයක් ද සකස්කර තිබේ.
ස්වභාවික තුන පහ යොදා ගනිමින් නිපදවා ඇති මස්කරි කුඩු තවත් නිෂ්පාදනයකි.
කටුපිල ශාකය විජලනය කර කටුපිල පිටි, හීන්බෝවිටියා විජලනය කර සාදාගත් හීන් බෝවිටියා පිටි තේ වෙනුවට පානයට ගත හැකි දේශීය ඖෂධීය පාන වර්ගයන් ය.
බොහෝ නිෂ්පාදන මෙම කාන්තාවන් විසින් සකස් කරනු ලබන අතර දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සමිතිය මගින් මේවා මිලදීගෙන රට පුරා කෝප් සිටි සහ අනිකුත් සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය වෙළෙඳසැල් හරහා අලෙවි කිරීම සිදුවේ. අපගේ ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව මගින් මේ සියල්ල නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර බොහෝ පවුල්වලට මේ හරහා ඉතා හොඳ ජීවන තත්ත්වයක් හිමිවී තිබේ.
මෙලෙස බොහෝ නිෂ්පාදන මෙම කාන්තාවන් විසින් සකස් කරනු ලබන අතර දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සමිතිය මගින් මේවා මිලදීගෙන රට පුරා කෝප් සිටි සහ අනිකුත් සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය වෙළෙඳසැල් හරහා අලෙවි කිරීම සිදුවේ. අපගේ ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව මගින් මේ සියල්ල නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර බොහෝ පවුල්වලට මේ හරහා ඉතා හොඳ ජීවන තත්ත්වයක් හිමිවී තිබේ. ඒ උදෙසා උපකාර වීමට හැකි වීම ගැන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස මා තුළ ඇත්තේ අතිශයින් නිහතමානී ආඩම්බරයකි.
කලණ ගුණවර්ධන